ශ්‍රී ලංකන් පවරා ගන්න හේතුව තාත්තාට ආසන 35 ක් වෙන්කර නොදීමයි – මහාචාර්ය රොහාන් සමරජීව (3වැනි කොටස)

යෝෂිත බලන්නට ගියේ නිල කාර්යයක් නිසා ද නැති ද යන්න අපිට තවමත් පැහැදිළි නැත. හොඳයි ඒක නිළ කාර්යක් යැයි අපි මොහොතකට සිතමු. මාස තුන හතරකට කලින් ඒ ගැන තාත්තා නොදන්නේ නැත. කෙසේ නමුත් අන්තිම මොහොතේ ලංකාවේ සිට ලන්ඩන් යන ගුවන් යානයේ තමන්ට බිස්නස් ක්ලාස් එකේ සීට් 35ක් අවශ්‍ය බව තාත්තා එකපාරට ම ගුවන් සේවයට දැන්වී ය. මිනිස්සු ටිකට් ලබාගෙන කලින් වෙන්කර තිබෙන නිසා එහෙම කරන්නට අමාරු බව ගුවන් සේවය තාත්තාට දැනුම් දුන්නේ ය. එසේ තිබිය දීත් ආසන 5ක් දෙන්නට ද ඔවුහු පොරොන්දු වූහ. ඉතිරි අයට ඉකොනොමී ක්ලාස් එකේ නැති නම් ඊට පසු දවසේ යානයකින් අදාළ ආසන සංඛ්‍යව දිය හැකි බව ද දැණුම් දුන්නේ ය. ඒකට කුපිත වූ තාත්තා නැත්නම් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පීටර් හිල් කියන එමිරේට් ප්‍රධානියාගේ විසා බලපත්‍රය අවලංගු ළේ ය. ඒ සමගම ඔහුට ලංකාවේ වැඩ කිරීමට නොහැකි තත්ත්වයක් උදාවිය. ඊට පස්සේ එමිරෙට්ස් එකට මුදල් ගෙවා ගුවන් සේවයේ ආණ්ඩුවට අයත් නැති කොටස මිල දී ගත්තේ ය. ගත්තාට පසු සිදු වූ විනාශය අර වගුවෙන් පෙනේ.
රාජ්‍ය නායකයෙකුට මේ ආකාරයට වරප්‍රසාද සහිත ගුවන් සේවයක් තිබිය යුතු බවට එතකොට යමෙකුට තර්ක කළ හැක. ඇත්තෙන්ම කියන්නට තිබෙන්නේ එසේ තිබිය යුතු නැති බව ය. බොහෝ විට ගුවන් සේවයක ලාභ ලබාගන්නේ අර බිස්නස් ක්ලාස් එකේ යන මිනිසුන්ගේ මුදලෙනි. විශ්වාසයෙන් යුතුව වෙන් කළ ආසනය ජනාධිපතිතුමාට හා ඔහුගේ බැලයින්ට දීමට සිදුවී ඇති නිසා ආසනය දෙන්නට නොහැකි බව අවසාන මොහොතේ පැවසුවොත්, අර මිනිහා කුමක් කියයි ද? මින් පසු මේ ගුවන් යානාවල නොයන බව ඔහු පවසනවා නොඅනුමාන ය. මම ආණ්ඩුවේ වැඩ කරන කාලයේ ආණ්ඩුවේ ගුවන් සේවයේ යායුතු බවට නීතියක් තිබුණි. එතන දි නොයෙකුත් ප්‍රශ්න මතුවේ. සමහර වෙලාවට ගුවන් යානා ප්‍රමාද වේ. සමහර වෙලාවට ආසන නැත. අපි බලගතු කියා සිතුවාට වෙනත් බලගතු අයට සමහර විට ඒ සීට් ලබාදීම වැනි දේ ඒ අතර ඇත. එතකොට අපිත් එක එක මිනිහාට යාප්පු වෙලා වෙන කවුරු හරි තල්ලු කර ඒ ගුවන් යානයට නැගි අවස්ථා ඇත. මේ කරන අපරාධය කුමක් ද යන්න දැන දැනම මට ද ඒක කරන්නට සිදු වී ඇත. ඒවා කරන්නට ගියහාම තල්ලුවෙන මිනිස්සු ඒ ගුවන් සේවය අතහැර දමා වෙනත් ගුවන් සේවයක යානයකින් කරදරයක් නැතිව සේවය ලබාගැනීම සාමාන්‍ය දෙයකි.
එතෙකොට වෙන්නේ සමාගම පාඩු ලබන්නට පටන් ගැනීම ය. ඒක තමයි ඒකේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ. ජනාධිපති කුපිත වී සිටින තත්ත්වය තුළ 2007 දී මිහින් එක පටන් ගන්නට යන විට අපිට විකල්ප දෙකක් ඇති බව මම යෝජනා කලෙමි. එකක් තමයි ශ්‍රි ලංකන් එක එමිරෙට් එකට සම්පූර්ණයෙන් ම විකිණිම. ඒ මුදලින් ජනාධිපතිතුමාට ම ගුවන් යානයක් ලබාදීමට හැකි බව ද මම පෙන්වා දුනිමි. ඒක එයාගේ ගමන් බිමන් වලට ය. එතකොට 35ක් නොව ඊට වැඩි ගණනක් ද දමාගෙන යන්නට පුළුවන. සමහර රටවල ඒ ආකාරයට ජනාධිපතිවරයාට වෙනම ගුවන් යානාවක් ඇත. ගණන් හදා බැලුවොත් එහෙම තිබෙන විට අර තරම් අලාභයක් වන්නේ නැත. එදා මා එසේ කියන විට ජනාධිපතිට උපහාසයක් කරන බව ඇතැමෙක් කීහ. මේක මා පැවසුවේ උපහාසයට නොවේ. ඒක ලාබයි මේ කළ වින්නැහියට වඩා.
අනික් එක නිශාන්ත වික්‍රමසිංහගේ කාලයේ දී මේකේ සේවකයින් %30ක් වැඩි කළේ ය. එවිට ගුවන් යානයකට සේවකයින් 333ක් සිටිති. මේක සාමාන්‍යයෙන් වාර්තාගත දත්තයකි. එක් ගුවන් යානයකට ලෝකයේ වැඩිම සේවක සංඛ්‍යාවක් සිටින ගුවන් සේවය වන්නේ සිරියන් එයාර් කියන ගුවන් සේවය වේ. එහි එක් ගුවන් යානයකට සේවකයින් 400ක් සිටිති. ඊ ළගට අපේ ප්‍රදේශයේ වැඩියෙන්ම සේවකයින් සිටින්නේ පාකිස්තාන් අන්තර් ජාතික ගුවන් සේවයට ය. ඒක ඉතාමත් දරුණු ලෙස පාඩු ලබන ගුවන් සේවයකි. ඒකේ සේවකයෝ 360ක් පමණ සිටිති. ඊ ළගට සිටින්නේ ශ්‍රි ලංකන් ගුවන් සේවය වේ. දැන් සිංගපුර් එයාර් ලයින් එකෙ යානයකට 200කට ඉහළ නැත. ඒක ඉතා සුපිරි ගුවන් සේවයකි. දරුවන් වඩා ගැනීමට පවා ඒකේ සේවකයින් යොදවා තිබේ. එසේ වූවත් එක් ගුවන් යානයකට එහි සේවකයින් සංඛ්‍යාව 200ක් ඉක්මවන්නේ නැත. යානයකට සේවකයින් 76 ක් පමණ සිටින ලාභ ගුවන් සේවා තිබේ. ඒ වගේ හතර පස් ගුනයක් අපේ ගුවන් සේවයේ සිටිති. එයින් පෙනෙන්නේ අපේ ඇති අකාර්යක්ෂමතාවය වේ.
මෙතන තිබෙන්නේ පාඩු අඩුකරන ව්‍යාපාරක් ලෙස නොව එක එක බේබිලා කිව්ව ගමන් සේවකයින් දමාගත හැකි මොකද්දෝ එකක් ලෙසට ය. බේබි රක්ෂාවක් දෙන්න කිව්වොත් දෙන්නට ඕනේ. ඒක නිකම් පවුලේ බූදලයක, නැතිනම් විනෝද අංශයක් හැටියට පවත්වාගෙන ගියේ ය. එහෙම කරලා නාස්ති කරනවාට වැඩිය පවුලට ගුවන් යානයක් තබා ගන්නා ලෙස මා යෝජනා කළේ ය. එකට දේශපාලනඥයින් විරුද්ධ විය.
එසේ කලහොත් ඒක ජනතාවට පෙනෙන්නට පටන් ගනී. මේක දැන් සාමාන්‍ය ජනතාවට පෙනෙන්නේ නැත. මේක පෙනෙන්නේ අපි වගේ කුඩා පිරිසකට පමණි. මේක වැසුණු සූරා කෑමක් මෙන්ම අයථා භාවිතයකි. දේශපාලනයින්ට වැඩි බරක් ද මේවායේ ගෙන යෑමට පුළුවන. සාමාන්‍යයෙන් අපිට ගෙනයා හැක්කේ කිලෝ ග්‍රෑම් 30කි. එයිට වඩා අවුන්ස භාගයක් තිබුණත් වැඩිපුර ගෙවන්නට සිදු වේ. දේශපාලනඥයින්ට ඕනෑ තරම් බඩුගෙන යා හැක. යෝෂිතගේ කාර් එකේ අමතර කොටස් ලන්ඩන් වල සිට ගෙනාවේ එම ගුවන් යානයක ය. මේ වගේ දෙවල් නිසා තමයි මේක ගරා වැටුණේ. එක පැත්තකින් වියදම් පාලනය කරන්නේ නෑ. අනික් පැත්තෙන් මගින් මේ ගුවන් සේවයෙන් ඉවත් විය. ඉන්දියාවට ඇරෙන්නට මගේ ගමන ශ්‍රී ලංකන් නැතිව හැකි නම් වෙන එකක සූදානම් කරන ලෙස මගේ ට්‍රැවල් ඒජන්ට මා දන්වා තිබේ. මම සාමාන්‍යයෙන් ශ්‍රි ලංකන්වල යන නමුත් මට ඇත්තේ අවිශ්වාසයකි. මක්නිසා ද යත් මා තල්ලුකර වෙන හාල්පාරුවෙකුට මගේ සිට් එක දෙයි ද යන්න මා දන්නේ නැත. ඒ වැනි දේවල් නිසා තමයි අපේ ගුවන් සේවය කඩා වැටුනේ. ඉතාම සුක්ෂම ලෙස ජනතාවට නොපෙනෙන මහජන සෙවයක් හැටියට පවත්වාගෙන යෑම තුළ මේක වවාගෙන කන්නට හැකියාවක් ලැබී තිබුණී. මම කියූ ලෙස පවුලට ගුවන් යානයක් තබා ගත්ත ගමන් මිනිස්සු කෑ ගසති. ඒ ගුවන් යානයට යන වියදම මිනිස්සු ප්‍රශ්න කරති. එවිට ඒයට උත්තර දෙන්නට සිදු වේ. එහෙම වූවත් ඒ වියදම මේ කරන වියදමට වඩා අඩු ය.
මේ ඔක්කොම කරන්නේ ගුවන් තොටුපලේ ඒකාධිකාරි සේවාවන් සියල්ල ශ්‍රි ලංකන් ගුවන් සේවය අත තබාගෙන ය. බැගේජ් හැඞ්ල් කිරීම, වැසිකිලි සුද්ධ කිරීම වැනි දේ කරන්නේ ශ්‍රි ලංකන් ගුවන් සේවයෙනි. ඒ හැම එකෙන්ම විශාල ලාභයක් ලැබේ. ඒ සේවාවන් ගණන් උස්සාගෙන තබාගෙන ඇත. අනික් ගුවන් සේවයන්ට සළකන්නේ දෙවැනි මට්ටමේ ය. උදාහරනයකට අනුව පිටත්වීමේ ශාලාවේ සෘජුවම තිබෙන්නේ ශ්‍රි ලංකන් ගුවන් සේවය වේ. වෙනත් ගුවන් සේවාවලට යන්නට තියෙන්නේ තරමක් ඈතකිනි. පරික්ෂා කරන්නට ඇති මැෂින් සංඛ්‍යාව ද ඒවාට අඩු ය. විෂය හදාරණ අය හැටියට වෙන රටවල නම් මෙය තරගකාරිත්වයට විරුද්ධ කටයුත්තකි. ගුවන් තොටුපලේ සියල්ලන්නට සමානව සැලකිය යුතු ය. මෙය වැඩියෙන්ම ගෙවන්නට සූදානම් අයට දෙන්නේ නැත. මෙහෙම කරලත් මේ ගුවන් සේවයට ලාභ ලබාගන්නට නොහැක.
දැන් අවසාන විග්‍රහය වන්නේ මේකට දැන් මොකද කරන්නේ යන්න ය. මගේ මතය නම් දැන් තියෙන්නේ මේක විකුණා දැමීම ය. ඒ දිනවල දී නම් 60%කට දෙන විට අපිට ඩොලර් මිලියන 80 පමණ ලැබුණි. අද ඒවගේ ගණනකට මේක දෙන්නට නොහැක. දැන් මේක කකුල් කැඩුණු අශ්වයෙකි. දැන් මේක ගන්න විට ජනාධිපතියා අසන ඉල්ලුවොත් මට කුමක් ද වෙන්නේ ද යන්න ඒ අය කල්පනා කරන්නට පුළුවන. ඒ කරුණු මත මේක විකුණා ගන්නත් අමාරු ය.
එජාප ආණ්ඩුවත් සම්පූර්ණයෙන් විකුනන්නට ලැස්ති නැත. ඒ අයගේ මැතිවරණ ප්‍රකාශනයේ මේවා පුද්ගලීකරණය නොකරන බව ද කියා තිබේ. ඒ අය කියන්නේ කොටසක් පුද්ගලික අංශයට දීමට ය. ඒ සමගම කළමණාකාරිත්වය ද දෙන්නට කැමති ය. අපිට අයිති කොටස සිංගපූර්වේ වගේ රජයේ සමාගමකට දෙන්නට සූදානම් ය. ඒක තමයි ඒ අයගේ මැතිවරණ ප්‍රකාශනයේ තිබෙන්නේ. ඒක උපරිම විසඳුම නොවන නමුත් දැන් තිබෙන තත්ත්වයට වඩා එය යහපත් ය. මම නම් කියන්නේ වඩාත් හොඳ වන්නේ මේක විකුණා දැමීම ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *