මාලිමා ආණ්ඩුව පෙරළා ගන්නේ කවුද ? – සී ජේ අමරතුංග
අයවැය විවාදය අතරතුර පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් කීවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාරිකය අනුමත වනු ඇති බව සහ රටේ ආර්ථික අර්බුදයක් දැන් ඇති නොවනු ඇති බව යි. ආර්ථික අර්බුදයකින් ආණ්ඩුව වැටෙන තෙක් වූ විපක්ෂයේ සිහිනය අවසන් බව ඔහු කී ය. කුමන්ත්‍රණ මගින් හෝ ජනතා නැගිටීමකින් හෝ ආණ්ඩුව පෙරළීමට ද ඉඩක් නැති බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.
ජනාධිපතිතුමා මේ ප්‍රකාශය කළේ රටේ පවතින ඇතැම් සැක සංකා තුරන් කිරීමේ උත්සහයක් ලෙස බව පැහැදිලි කරුණකි. ආර්ථික අර්බුදයක අවදානම පැහැදිලි ලෙස ම තිබිණි. අප මීට පෙර පෙන්වා දුන් පරිදි එයට හේතු වුයේ මාලිමාවේ දේශපාලන මතවාදය නොහොත් ආඛ්‍යානය යි. මාලිමා ආණ්ඩුව එම ආඛ්‍යානය පසෙක තබා ඊට ප්‍රතිවිරුද්ධ ආඛ්‍යානය පිළිගෙන අයවැය ඉදිරිපත් කිරීම නිසා රට මේ මොහොතේ ස්ථාවර වූ බව පැහැදිලි කරුණකි.
එබැවින් ආර්ථික අර්බුදයක අවදානම පහ වූ බවට ජනාධිපතිතුමා කියන විට මේ මොහොත සඳහා එය සත්‍යයකි. නමුත් අවදානම තවමත් අවසන් නැත. එයට ප්‍රධාන හේතු කිසිදු බාහිර ක්‍රියාවක් හෝ ක්‍රියා හෝ නොව මාලිමා ආණ්ඩුවේ ම පවතින මතවාදී අවුල් සහගත බව යි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ද ආණ්ඩුවට මෙම අනතුරු ඇඟවීම සිදු කළේය. මෙතෙක් ආ මාවත වෙනස් නොකර ඉදිරියට යෑම ගැන සතුට පළ කළ ඔවුන් කීවේ රටේ අමාරු කාලය අවසන් වී ඇති බව සහ ඉදිරි කාලය වඩා සුබදායී වන බව යි. නමුත් ඒ සමග ම කීවේ කිසිදු ප්‍රතිපත්ති වරදකට ඉඩක් නැති බව යි.
රටේ වඩා අමාරු ප්‍රතිසංස්කරණ පසුගිය වසර දෙකේ සිදුකොට අවසන් නමුත් අනෙක් ප්‍රතිසංස්කරණ නොකඩවා කළ යුතු බව මුල්‍ය අරමුදල අවධාරණය කළේය.
ආණ්ඩුව තේරුම් ගතයුතු කාරණය මෙය යි. මුල්‍ය අරමුදලේ ඉලක්ක අයවැයට ඇතුළත් කිරීම එක් පියවරකි. නමුත් එම ඉලක්ක සපුරා ගැනීම තවත් බරපතළ අභියෝගයකි. එහි දී ආණ්ඩුව මෙතෙක් එතරම් ප්‍රගතියක් පෙන්නුම් කර නැත. ඉදිරියට එය වෙනස් වන බව කතාවලින් කීව ද එබඳු විශ්වාසයක් ගොඩ නගාගෙන නැත.
එමෙන් ම ආණ්ඩුව සැලසුම් කළ යුත්තේ මුල්‍ය අරමුදල දී ඇති ඉලක්ක යන්තම් සපුරා ගැනීමට නොවේ. ඒවා ඉක්මවා ගොස් ආර්ථික ප්‍රගතිය අත්කර ගැනීමට ය. ඒ සඳහා මේ වන විට ආරම්භ කොට තිබෙන ප්‍රතිසංස්කරණ සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වේගවත් කළ යුතුය. කාලය සමග තරඟයක් ද තිබෙන බව ආණ්ඩුව තේරුම් ගත යුතු තවත් කාරණයකි.
නමුත් ආණ්ඩුව කරමින් සිටින්නේ මොනවාද? ආර්ථික ප්‍රතිසංස්කරණ අත්හැර දැමීම යි. නැතහොත් දියාරු කිරීම යි.
මාලිමා ආර්ථික කවුන්සලය 2022 දී පමණ කීවේ වාණිජ ව්‍යාපාර රජයෙන් කළ යුතු නැති බව යි. උපායමාර්ගික වැදගත්කමක් ඇති ආයතන තබාගන්නා බව පසුව කී ය. දැන් සියලු ආයතනවල පෞද්ගලිකකරණය නවතා දමා ඇත. ඊට අමතර වශයෙන් මෙවර අයවැයෙන් රුපියල් බිලියන 20 ක් ශ්‍රී ලන්කන් එයාර් ණය ගෙවන්නට ලබා දී තිබේ. මේ විනාශ කරන්නේ බදු ගෙවන ජනයාගේ මුදල් ය.
මාලිමා ආණ්ඩුව මෙසේ කරන්නේ තවත් වැරදි ආඛ්‍යානයක් නිසා ය. ඔවුන්ට අනුව රජයේ ආයතනවල ප්රශ්නය වන්නේ කළමනාකරණය ය. දුෂණයෙන් තොරව මේවා කළමනාකරණය කිරීමෙන් ඉහළ ප්රතිලාභ ලැබිය හැකි බව ඔවුහු සිතති. මේ ආඛ්‍යානය ද වැරදි ය . විනාශකාරී ය.
පෞද්ගලික ව්‍යාපාරිකයින් ව්‍යාපාර කරන්නේ තමන්ගේ මුදලිනි. තමන්ගේ මුදල් හොරකම් කරන්නට ඔවුනට වුවමනාවක් තිබිය නොහැකි ය. වැරදි තීරණ ගත්තොත් පාඩුව තමන්ට ය. එබැවින් ඔවුන්ට තීරණ ගැනීමේ වැඩි නිදහසක් ඇත.
රජය සම්බන්ධයෙන් ප්රශ්නය වෙනස් ය. රාජ්‍ය ආයතන වියදම් කරන්නේ අනුන්ගේ – එනම් ජනතවගේ මුදල් ය. ඒවා ගැන තීරණ ගැනීමේ දී නිලධාරීන්ට නීති රීති රාශියකට යටත්වීමට සිදුවෙයි. අනෙක් අතට ඔවුන් කරන හෝ නොකරන දේ සඳහා ප්රතිලාභ හෝ විපාක හෝ ඔවුනට ඍජු ලෙස ලැබෙන්නේ නැත. රජයේ ආයතනවලට කාර්යක්ෂම ලෙස ව්‍යාපාර කිරීම දුෂ්කර වන්නේ මේ නිසා ය.
රජයේ බැරිකම මාලිමා ආණ්ඩුව ද ඔප්පු කොට ඇත. සහල් ආනයනයට ආණ්ඩුවේ ටෙන්ඩර හතරක් පිට පිර ප්‍රතික්ෂේප විය. ආණ්ඩුව බේරා ගත්තේ වහා ම සහල් ගෙන්වා වෙළෙඳපොළට දැමු පෞද්ගලික ව්‍යවසායකයන් විසිනි.
වී මිල දී ගන්නට ගිය රජය දිගට ම අසාර්ථක ය. ගොවීන්ට තර්ජන කරමින් නොතිබූ ප්‍රශ්නයක් හදාගෙන ය. පෞද්ගලික වෙළෙඳුන් සමග ආණ්ඩුවට හැරෙන්නට බැරි ය. ආණ්ඩුව බැරි දේ කරන්නට ගොස් කෘෂි ආර්ථිකය ද විනාශ කරමින් සිටියි. ප්‍රතිවිපාක එන විට සියල්ල සිදු වී හමාර විය හැකි ය.
රටට අවශ්‍ය වඩා කාර්යක්ෂම ආර්ථිකයකි. එය ගොඩ නැගීමට ආර්ථික ප්‍රතිසංස්කරණ අවශ්‍ය ය. රජය සියල්ල බදා ගැනීමට යාමෙන් කාර්යක්ෂම ආර්ථිකයක් ගොඩ නැගිය නොහැකි ය.
මේ විවාදය දිගු එකකි. සියල්ල ගැන කතා නොකර අපි එක් උදාහරණය ගනිමු. ජාතික පසු සම්පත් සංවර්ධන මණ්ඩලය ඉන්දියාවේ අමුල් සමුපකාර ව්‍යාපාරය සමග එක් ව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට තිබු කිරි නිෂ්පාදන ව්‍යාපෘතිය නවතා දමා ඇත. එහි දී රජයේ ඉලක්කය වුයේ දිනකට කිරි ලීටර් 30ක් ලබාගත හැකි කිරි දෙනුන් ලක්ෂ විස්සක් දක්වා යාම ය.
සමහරු කල්පනා කරන්නේ ගමේ ගොවියන්ට එළදෙනුන් ලබා දී කිරි නිෂ්පාදනය නංවන්නට ය. එය ඉතා අකාර්යක්ෂම නිෂ්පාදනයකි. සමීක්ෂණ වාර්තා අනුව වියලි කලාපයේ කිරි එළදෙනෙකුගෙන් දිනකට ලැබෙන්නේ කිරි ලීටර් 1 – 1.5 ප්රමාණයකි. පහතරට තෙත් කලාපයේ ලීටර් 2-3 පමණකි, උඩරට දී ලීටර් 6 කි. මෙය වෙනස් කළ හැක්කේ තාක්ෂණය යොදාගත් කිරි ගොවිපළ මගිනි. ශ්‍රී ලංකා මහ බැංකුව 2010 දී නිකුත් කළ උපදෙස් මාලාවක දැක්වෙන්නේ මෙරට කිරි එළදෙනෙකුගෙන් ලැබෙන කිරි ප්‍රමාණය ලීටර් 10 සිට 30 දක්වා වැඩි කළ හැකි බව යි. මාධ්‍ය වර්තාවක සඳහන් වුයේ මේ වන විට අබේවෙල ගොවිපලේ කිරි එළදෙනෙකුගෙන් දිනකට කිරි ලීටර් 40 ක් පමණ ලබාගන්නා බව යි. එම ඵලදාව ලැබීමට එය දියුණු කර්මාන්තයක් ලෙස කළ යුතු ය.
මේ සඳහා ප්රාග්ධනය අවශ්‍ය ය. තාක්ෂණය සහ දැනුම (know how) අවශ්‍ය ය. ව්‍යවසායකත්වය අවශ්‍ය ය. එමෙන් ම වෙළෙඳපොළ අවශ්‍ය ය. කිරි නිෂ්පාදන චීස් ,බටර් වැනි අගය එකතු කළ නිෂ්පාදන ලෙස ජාත්‍යන්තර වෙළෙඳපොළට ඉදිරිපත් කළ යුතු ය. ඒ සඳහා සන්නාම ගොඩ නගා ගත යුතුය.
අමුල් ව්‍යාපෘතිය සැලසුම් කොට තිබුණේ මෙම ඉලක්කයට යාමට ආරම්භයක් වශයෙනි. ආණ්ඩුව දැන් එය නවතා දමා ඇත්තේ විකල්පයක් ද නොමැතිව ය. තිබෙන්නේ ඒක අපි ම කරනවා යන අදහස පමණකි. ආණ්ඩුව එය කරන්නට ගියත් අලුතින් සැලසුම් කරන්නට කාලය ගතවනු ඇත. මුදල් සහ සම්පත් සොයාගත යුතුය.
ආණ්ඩුව නවතා ඇති එක් ව්‍යාපෘතියක් ගැන මේ කතා කළේ උදාහරණයක් වශයෙනි. තවත් උදාහරණ ඇත. සමහර ව්‍යාපෘතිවලට කුමක් වේද කියා කිසිවකු දන්නේ නැත.
සී ජේ අමරතුංග
