රනිල් සල්ලි යටි මඩිගහන හොරෙක් නෙවෙයි – ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න
අද මේ රට තුල විශාල දේශපාලන ගැටුම් තිබෙන අවස්ථාවක් මේක. මක්නිසා ද යත්, අලුත් ව්‍යවස්ථාවක් හදල දෙමළ ජාතික ප්‍රශ්නයට විසඳුම් සහිතව ප්රජාතන්ත්රවාදී තත්වයක් රටතුල ඇතිකර ගැනීම සඳහා ක්රියාකාරීත්වයක් ගොඩනැගෙමින් තිබෙන වෙලාවක්. මේ ක්‍රියාදාමයට හතුරුවු ජාතිවාදී, ෆැසිස්ට්වාදී කොටස් විශාල මුදල් සම්භාර එකතු කරමින් නොයෙක් උද්ඝෝෂණ කර එම වැඩ පිළිවෙල බිඳ දැමීමට උත්සහ දරණ අවස්ථාවක්. මේ වෙලාවෙම තමයි කොප් වාර්තාව මගින් ඉදිරිපත් කෙරෙන මහබැංකු බැඳුම්කර ප්රශ්නය ඇතිවෙලා තිබෙන්නේ. මේක ජාතිවාදී ෆැසිස්ට්වාදී කොටස්වලට විශාල ගොදුරක් වෙලා තියෙනව. මේක අල්ලන් ආණ්ඩුව පෙරළන්න පුළුවන් කියලත් ඔවුන් හිතනවා.
කෝප් වාර්තාව අනුව අර්ජුන් මහේන්ද්‍රන් සහ අනෙක් අය වැරදිකරුවන් ලෙස දක්වල තිබුණත්, අර්ජුන් මහේන්ද්‍රන් අදහස් දක්වල තියෙන්නෙ තමන්ට තමන්ගේ හාම්පුතා කියපු දේ කලා කියන කතාව. මහබැංකු අධිපති ගෙනාවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඒ ආයතනය තියෙන්නෙ රනිල් වික්‍රමසිංහ යටතේයි. වික්‍රමසිංහ මහත්මයා කියන්නෙ පොඩි බබෙක් නොවෙයි. එයා දේශපාලන පතාක යෝධයෙක්. මේ ප්රජාතන්ත්රවාදී සටන තුළ ඇතිවෙන ක්‍රියාකාරීත්වයට මුහුණදීම සඳහා යමක් අවශ්‍යයි කියා සිතනවා නම් තමයි ඔහු ඒක කරන්නෙ. රනිල් වික්‍රමසිංහ සල්ලි ටිකක් යටිමඩි ගහන් යන හොරෙක් වත්, තක්කඩියෙක්වත් නෙවෙයි, කවුරුත් එහෙම කියන්නෙත් නෑ. කියන අයත් කියන්නෙ එයා අවංකව ඉන්න පුද්ගලයෙක් කියල. එනිසා මේක දේශපාලන කතාන්දරයක්. දැන් මේ වාර්ථාව කියන විදියට මේක උසාවි දාන්නත් බෑ. නීතිපතිට උසාවි යෑම සඳහා පදනමක් වෙන්නෙ නෑ මේ විදියට කරුණු ඉදිරිපත් කිරීම. වැරදිවෙලා තියෙනව, රෙගුලාසි කඩල තියෙනව කියන ඒවා පමණක් අරගෙන, අර්ජුන් මහේන්ද්‍රන්ට විරුද්ධව නඩු කියන්නත් බෑ. මොකද එයා කියනව නම් මගේ පාලකයා අගමැතිතුමා, එයා කියපු දේවල් මම කලේ කියල කියන නිසා. මේ තුළ වැඩ කරන්නේ දේශපාලන උවමනාවන්.
කෝප් කමිටුවට ගෙනාව කියල උසාවියට යාමට නොහැකි නම්, උසාවිවල ක්‍රියාත්මක කිරීමට බැරිනම්, ඒවා තොරතුරු රාශියක් එකතු කිරීමක් පමණක් වෙනවා. අපිටත් පේනවා මේකෙ දේශපාලන ක්රියාකාරීත්වයක් තමා පසුබිමේ තියෙන්නෙ කියලා. ඒ නිසා මේක උසාවිවල, කොමිසන්වල විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. මේක දේශපාලන පදනමට බැහැලා ඒකෙ කෙරෙන්නෙ මොනවද කියල දෙපැත්තෙන්ම සළකළා තමයි තීන්දුවකට බහින්න ඕන. කරන්න පුළුවන් මේකෙ තියෙන දේශපාලන පසුබිම හොයන එක. මට පෙනෙන හැටියට දේශපාලනික වශයෙන් මුදල් ප්‍රමාණයක් ගොණු කරල තියෙනවා. ඒ ගොනු කරපු මුදල් ප්‍රමාණය ඉදිරි කාලයේ එන විශාල ගැටුම් සහිත කාල පරිඡේදයේ දී කොහොමද භාවිතා වෙන්නෙ, මොකටද පාවිච්චි වෙන්නෙ, මොනවද අරමුණු ආදී දේවල් සළකා බැලීමෙන් තමා ඒ ගැන අපිට තීන්දුවකට බහින්න පුළුවන්
අපිට රනිල් වික්‍රමසිංහ මහත්තයා මෙහෙම දෙයක් කලේ මොකටද කියල විස්තර කරන්න පුළුවන්කමක් නෑ. දැනට ඔහු ප්රජාතන්ත්රවාදී විප්ලවකාරී සටනකට උදව් වෙමින් ඉන්න නිසා මේ කටයුත්තත් ඒ දේශපාලනයට යොදාගත්ත කාරණයක් හැටියටයි අපට හිතන්නට තියෙන්නෙ. මේ කළබැගෑනිය තුල අපිට කිසිසේත්ම පුළුවන් කමක් නෑ, මේ විදියට කටයුතු කරන විපක්ෂයේ සංවිධාන වල අයට දේශපාලන වශයෙන් පිළිතුරු නොදී ඉන්න. දැන් මේ මොහොතෙ මහින්ද රාජපක්ෂ කෝටි ගණන් සල්ලි එකතු කරගෙන පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි මාරුකරනව කියල තර්ජනය කරමින් ඉන්නවා. නොයෙක් ආකාරයේ කුමන්ත්‍රණ හෙලිදරව් වෙමින් පවතිනවා. ජාතිවාදය හැමතැනම අවුස්සනවා. ඒවාට මුහුණ දීම සඳහා රනිල් වික්‍රමසිංහ මහත්තයා මොන ක්‍රියාමාර්ග අරන් තියෙනවද කියල අපි දන්නෙ නෑ. රටතුල ඇතිවෙලා තියෙන මේ ප්‍රශ්නෙදි සමහරු කියනවා රනිල් වික්‍රමසිංහ ඉවත්විය යුතුයි කියල. එහෙම කියන අයට අපි කියන්නෙ අස්විය යුතු ප්‍රශ්නයක් තියෙනවානම් පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ගේන්න කියලා.
දැනට ව්‍යවස්ථාව සම්පාදනය වෙමින් පවතිනවා. ඒකෙ වැඩිපුර වැඩ කොටසක් කරන්නේ වාමාංශිකයෝ. අපිට තමයි ජාතිවාදය අවසන් කරල මේ රට සම්භාවනීය රටක් බවට පත් කිරීමේ ප්රජාතන්ත්රවාදී උවමනාව තියෙන්නෙ. අනෙක් අයවත් සහභාගී කරගනිමින් යනවා. ඒක සාර්ථක වෙමින් තිබෙන්නේ. එනිසා සියළු බලවේග එකතු කර ගෙන ව්‍යවස්ථාව වෙනස් කිරීම හා නව ප්රජාතන්ත්රවාදී යුගයක් උදාකිරීම අපේ අවශ්‍යතාවයයි.
