මේ වෙනකොට අපේ රෝහල් පද්ධතිය ඇතුලේ බරපතල නොසන්සුන්තාවයක් නිර්මාණය වෙලා තියනවා.ඒ නොසන්සුන්තාවය රෝගීන්ගේ පැත්තෙන් වගේම සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පැත්තෙනෙත් වාර්තා වෙනවා.රෝගීන්ගේ පැත්තෙන් දිගටම දුක්ගැනවිල්ලක් තිබුණ.ඒක මේ ආණ්ඩුවේ කාලයට විතරක් සීමාවුන එකක් නෙවෙයි.හැබැයි රෝහල් පද්ධතිය ඇතුලේ තිබුණ ඖෂධ හිඟය උග්‍රම තැනට එන්නේ මාලිමා ආණ්ඩුව යටතේ.
ඒ වගේම රෝහල් පද්ධතිය ඇතුලේ නිතර නිතර සිද්ධවුන වැඩවර්ජන ගැනත් රෝගීන්ගේ ලොකු කනස්සල්ලක් තිබුණා.දැන් රෝහල් වෙලාගෙන තිබුණ වැඩවර්ජන සංස්කෘතියේ ලොකු වෙනසක් වෙලා තියනවා.රෝහල්වල විතරක් නෙවෙයි රටේ හැම ක්ෂේත්රයම පොදුදේ සහ එකමදේ බවට පත්වෙලා තිබුණ වැඩවර්ජන රැල්ල මාලිමාව බලයට ඒමත් එක්ක ගොඩක් දුරට අඩුවෙලා ගියා.ඒ මාලිමා ආණ්ඩුවේ විශේෂ හොඳක් හින්දා නෙවෙයි.
ආණ්ඩු බලය ගැනීම වෙනුවෙන් සියලු අංශ අකර්මන්‍ය කරලා කඩාකප්පල් කිරීමේ ප්රතිපත්තියක ජවිපෙ වෘත්තී සමිති මාෆියාව හිටිය හින්දයි.දැන් ජවිපෙ ප්රමුඛ මාලිමාව බලයේ ඉන්න හින්දා ඒ කරදරය නං නෑ.හැබැයි බෙහෙත් හිඟය එන්න එන්නම උග්රවෙනවා.දැනට හිඟ ඖෂධ වර්ග 56ක ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රමාදය හින්දා තව මාස ගණනක් මේ හිඟය තියෙයි.වෛද්‍ය සැපයුම් දෙපාර්තමේන්තුවේ 2025 පෙබරවාරි වාර්තාවලට අනුව අත්‍යවශ්‍ය ඖෂධ 333ක තොග දැනට නැති බව කියනවා.
පිළිකා,දියවැඩියාව,අපස්මාරය,මානසික රෝග සහ නිදන්ගත හා බරපතළ රෝග සඳහා අත්‍යවශ්‍ය ඖෂධ රජයේ වගේම පෞද්ගලික රෝහල්වලත් හිඟයි.මේ තත්වයට පැහැදිලිවම ආණ්ඩුව වගකියන්න ඕනි.මේ තත්වය ඇතිවෙන්න සෞඛ්‍ය ඇමතිවරයාගේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අකාර්යක්ෂමතාව බලපාල තියනවා.ඒ වගේම සෞඛ්‍ය කාර්යමණ්ඩල අතර නිර්මාණය වෙලා තියන නොසන්සුන්තාවත් බරපතල එකක්. විශේෂයෙන්ම වෛද්‍යවරුන් අතර නිර්මාණය වෙලා තියන අපේක්ෂාභංගත්වය ඉතාමත්ම බරපතලයි.
මේ තත්වය මුලිකව නිර්මාණයවෙලා තියෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායූ ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න අත්අඩංගුවට ගැනීමෙන් පස්සේ.දැනටත් මහේෂි රක්ෂිත බන්ධනාගාර ගතවයි ඉන්නේ.මහේෂිට අදාල නඩුව අධිකරණය හමුවේ විභාගවෙමින් තියනවා.වෛද්‍යවරයෙක් සම්බන්ධව අධිකරණයක් හමුවේ විභාග වෙන පලවෙනි නඩුව මගේෂිගේ නඩුව නෙවෙයි.මීට කලින් ඕනි තරම් එහෙම නඩු විභාග කරලා දඬුවම් නියමවෙලා වගේම නිදොස් කොට නිදහස් කරලත් තියනවා.
ඒකට හොඳම උදාහරණය තමයි වෛද්‍ය ෂාෆිගේ නඩුව.පසුගිය දවසක ඔයාලත් දකින්න ඇති මහේෂිට එරෙහිව පැමිණිලි සීයක් විතර ඇවිත් තියන බව අල්ලස් කොමිසම පැත්තෙන් කියලා තිබුණා.මහේෂිට එහෙම නම් ෂාෆිට පැමිණිලි කීයක් වැටෙන්න ඇද්ද?ඇත්තටම රටම ෂාෆිට එරෙහිව පැමිණිලි කළා.හැබැයි අධිකරණය වෛද්‍ය ෂාෆිට යුක්තිය ඉෂ්ඨ කරමින් ෂාෆි නිදොස්කොට නිදහස් කළා.ඒක නිසා පුද්ගලයෙක්ගේ වැරදි හෝ නිවැරදිභාවය තීරණය වෙන්නේ පැමිණිලිවලින් නං නෙවෙයි.
ඇත්තටම අල්ලස් කොමිසම කරන්න ඕනි මහේෂි වරඳක් කරලා තියනවා නං ඒ කරුණු අධිකරණයට වාර්තා කරන එකයි.එහෙම නැතිව දැනටත් වෛද්‍යවරුන් තුල නිර්මාණය වෙලා තියන අපේක්ෂාභංගත්වය වර්ධනය කරන එක නෙවෙයි.වෛද්‍යවරු සම්බන්ධව ජනතාව තුල තියන විශ්වාසය බිඳවට්ටන එකත් නෙවෙයි.අල්ලස් කොමිසම ඒ පැත්තෙන් ලොකු වරදක් කරලා තියනවා.මහේෂි අත්අඩංගුවට ගැනීමේ පටන් ඒ වරඳ සිද්ධවෙලා තියනවා.
ඇත්තටම ඒ ක්‍රියාවලිය ඇතුලේ කිසිම මානුෂික බවක් පේන්නේ නෑ.ඒ අත්අඩංගුවට ගැනීමේ ස්වභාවයෙන් මහේෂි සමාජය ඉදිරියේ වැරදිකරුවෙලා කරලා ඉවරයි.ඒ වගේම වෛද්‍යවරියක් විදිහට මහේෂිගේ පසු අධීක්ෂණය යටතේ හිටපු රෝගීන් සම්බන්ධව කිසිම තැකීමක් අල්ලස් කොමිසම පැත්තෙන් කරලා නෑ.ඇත්තටම අල්ලස් කොමිසම කරන්න තිබුණේ මහේෂිගෙන් ඉක්මන් දිනයක් ගන්න එකයි.එතකොට මහේෂි අල්ලස් කොමිසමට දිනය දෙන්නේ එයාගේ පසු අධික්ෂණය යටතේ ඉන්න රෝගීන් ගැනත් සලකලයි.
ඒ වගේම ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ පරිපාලනයට මහේෂි වෙනුවෙන් විකල්පයක් සුදානම් කරන්න ඉඩ තිබුණා.රටේ රාළ මේ කියන්නේ මහේෂිගේ පැත්තෙන් බලලා නෙවෙයි.ඇත්තටම මේ කතා කරන්නේ රෝගීන්ගේ පැත්ත ගැන හිතලා සහ අපේ රටේ වෛද්‍යවරයා තුල නිර්මාණය කරලා තියන අපේක්ෂාභංගත්වය ගැන හිතලා.එහෙම නැතිව මහේෂි ගොඩදාන්න නෙවෙයි.
නිකං හිතන්නකෝ එකපාරට Operation එකක් කරලා එලියට ඇවිත් ward round යන Doctor කෙනෙක් උස්සගෙන ගියහම රෝගීන් පත්වෙන අසරණකම කොච්චරද කියලා.ඒ හරහා සෞඛ්‍ය කාර්යමණ්ඩලයට දෙන පණිවිඩය මොකද්ද කියලා.සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට විතරක් නෙවෙයි සමස්ථ රාජ්‍ය සේවයම අල්ලස් කොමිසමට බය කරලා නිර්වින්දනය කරලා තියෙන්නේ.රටේ රාළ අහන්නේ ඇයි අපේ රටේ රාජ්‍ය සේවකයෝ ඒ තැනට දාන්නේ.
අපි යටත් වෙන්න ඕනි මේ රටේ නීතියට.නීතියෙන් යුක්ති ඉෂ්ඨ කරගන්න යන ක්‍රියාවලියත් සාධාරණ එකක් වෙන්න ඕනි.එහෙම නැතිව මරුසිරා අල්ලන්න පැන්නා වගේ රටේ වගකීම් සහගත පුද්ගලයෝ ඇඳගෙන යන එක වැරදියි.ඇත්තටම ඉස්සෙල්ලාම අල්ලස් කොමිසමට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කියාදෙන්න ඕනි අධිකරණයකින් වැරදිකාරයෙක් කරන තුරු ඕනිම කෙනෙක් නිවැරදිකාරයෙක් කියන කතාව.නැත්තං ඒකත් හරියට අර බන්ධනාගාර බිත්තියේ ” සිරකරුවෝද මනුස්සයෝය ” කියලා ගහලා තියන වාක්‍යය වගේ වෙනවා.
එළියේ එහෙම ගහලා තිබ්බට ඇතුලේ සිරකරුවන්ට සළකන විදිහට අපි ඇස් දෙකෙන් දැකලා තියනවා.ඒක නිසා විශේෂයෙන් වෛද්‍යවරුන් තුල නිර්මාණය වෙලා තියන සහ පොදුවේ රාජ්‍ය සේවකයා තුල නිර්මාණය වෙලා තියන මේ අපේක්ෂාභංගත්වයට උත්තරයක් ආණ්ඩුව මැදිහත්වෙලා හදන්න ඕනි.නැත්තං පෙරලා අසාධාරණය වෙන්නේ සාමාන්‍ය මිනිසුන්ට.අද වෛද්‍යවරු රෝහලේ නැති බෙහෙත් පිටින් ගේන්න නිර්දේශ කරන්නේ නෑ. එයාලා කියන්නේ පිටින් බෙහෙත් ගේන්න ලියලා දීලා අපට හිරේ යන්න බෑ කියලා.
වෛද්‍යවරුන් එයාගේ බේරීම ගැන හිතන එකේ සාධාරණයක් තියනවා,හැබැයි අර රෝගියාට ජීවත් වෙන්න තියන අයිතියට එතකොට මොකද වෙන්නේ.ඒක නිසයි රටේ රාළ කියන්නේ රට පාලනය කරන්න ඕනි ආණ්ඩුව විසින්.ඒකට ක්‍රමවේදයක් තියනවා.ඒ ක්‍රමවේදයේ තියන අඩුපාඩු හදන්න ඕනි.එහෙම නැතිව රටේ පාලනය අල්ලස් කොමිසමට හරි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හරි දීලා හරියන්නේ නෑ.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට රටේ රාළ.
(රාජ්‍ය සේවා කවුළුවෙන් ඔබ්බට)