ජොන්ස්ටන්ගේ නඩුවෙන් පසු සනීපද? – සම්පත් අමරසිංහ

ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා සතොස නඩුවෙන් නිදහස් වී තිබේ. තනිවම නොවේ තවත් චූදිතයන් දෙදෙනකුද සමගිනි. ඔහුගේ නිදහස්වීම සම්බන්ධව මහින්ද හිතවතකුවන මගේ මිතුරකු මුහුණු පොත හරහා ප්‍රතිචාර දක්වා තිබුණේ යහපාලන ආණ්ඩුව ජොන්ස්ටන් ප්‍රනාන්දුව පැටලු බොරු නඩුවෙන් ඔහු නිදහස් වී ඇති බව කියමිනි.

ජොන්ස්ටන් සම්බන්ධ නඩුව මෙහෙයවනු ලැබුණේ මූල්‍ය අපරාධ කොට්ඨාශය හෙවත් F.C.I.D. ය විසිනි. F.C.I.D. ය ආරම් කළ මොහොතේ පටන් ඊට ඒකාබද්ධය ඇතුළු පසුගිය ආණ්ඩුවේ දූෂිත පිරිස එල්ල කළ චෝදනාව වූයේ එම අංශය විරුද්ධවාදින්ගෙන් පළිගැනීම සඳහා ගොඩනැගූවක්ය යන්නය.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රිවරයාට එරෙහි නඩු විභාගයේදි එක් සාක්ෂිකාරියක උසාවිය හමුවේ ප්‍රකාශකර සිටියේ එෆ්.සී.අයි.ඩී. නිලාධාරින් තමාට සතොස ගනුදෙනුවට අදාල බිල්පත් වෙනස් කරන්නට බලපෑම් කළ බවය. එම බලපෑම් අනුව තමා බිල්පත් වෙනස් කළ බවද ඇය පවසා තිබුණි. නඩුවට ඉදිරිපත් කෙරුණු බිල්පත් ටිපෙක්ස් තවරා තිබුණේය, වැනි කරුණු ද මුල්පිටපත් නොමැති බව ද කියැවුණු මතයක් තිබේ. වඩාත්ම බරපතළ කරුණ වන්නේ බිල්පත් වෙනස් කරන්නට බලපෑම් කළේය යන ප්‍රකාශයයි. මක්නිසාද යත් එකී ප්‍රකාශය හේතුවෙන් එෆ්.සී.අයි.ඩී. ය ආණ්ඩුවේ විරුද්ධවාදින්ගෙන් පළිගැනීම සඳහා බොරු චෝදනා ඉදිරිපත් කරන්නේය යන ආණ්ඩු විරෝධීන්ගේ මතය තහවුරු කෙරෙන බැවිනි.

ජොන්ස්ටන් ප්‍රනාන්දු වැන්නන් ශුද්ධවන්තයින්‍ නොවන බව බොහෝ අය පිළිගන්නා රහසකි. එහෙත් ජොන්ස්ටන්ලා වටා රැස්ව විටින පිරිස ඔවුන් දූසිත බව පිළිගන්නේ නැත. නැතහොත් දූෂිත බව දන්නවා වුවත් ඒ බව අමතක කර කටයුතු කිරීමට ඔවුහු වැඩි කැමැත්තක් දක්වති. එෆ්.සී.අයි.ඩී යේ මගේ මිතුරකු පසුගිය ආණ්ඩුවේ ප්‍රබලයකුගේ බිරියක සම්බන්ධව කෙරෙන පරීක්ෂණයක තොරතුරක් මා සමග වරක් කියන්නට යෙදුනි. චෝදනාව වන්නේ සැබෑ වටිනාකමට වඩා බෙහෙවින් ඉහළ මිලකට වාහන මිලදී ගැනීමකි. බැලූබැල්මට පවා ඕනෑම කෙනෙකුට එම වාහන මිලදී ගැනීමේදී මුදල් අවභාවිතයක් සිදුව ඇති බව වැටහෙන බව එකී නිලධාරියා කීවේය. හේතුව එකී වාහන සදහා සාමාන්‍ය වෙළෙද පොළ වටිනාකම මෙන් දෙතුන් ගුණයක් මුදල් ගෙවා තිබීමය. වරදක් සිදුකර ඇතත් අදාළ බිරිය උසාවියක් හමුවේ වැරදිකාරියක කිරීම කෙසේවත් කළ නොහැකි බව ඉහත එෆ්.සී.අයි.ඩී. නිලධාරියා කීවේය. හේතුව වශයෙන් ඔහු සදහන් කළේ එකී ඉහළ වටිනාකම් ගෙවා ඇත්තේ කැබිනට් මන්ඩලයේ අනුමැතිය ඇතිව අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ද අනුමැතියට යටත්ව වීම බවයි. එසේ කියමින් ඔහු වැඩිදුරටත් සදහන් කළේ සොරකමක් කර ඇතත් එය කර ඇත්තේ දඬුවම් කළ නොහැකි ආකාරයට ඉතාමත් නීත්‍යනුකූලවය කියාය.

ශ්‍රී ලංකාවේදී සාමාන්‍ය තත්ත්වය යටතේ වුව උසාවි හමුවේ විභාගවන නඩුවලින් බොහොමය අවසන් වන්නේ වැරදිකරුවන් නිදහස් වීමෙන් බව පිලිගත් සත්‍යයකි. එය උසාවියේ දෝශයකටත් වඩා මෙරට පවතින නීති ක්‍රමයේ දුර්වලතා හේතුවෙන් සිදුවන්නකි. එසේ වැරදිකරුවන් නිදහස් වීමට බලපාන තවත් හේතුවක් වන්නේ නඩුපැවරීමේදි පොලීසිය කරන වැරදිය. සාමාන්‍ය කතාබහේදි පවා කියන්නේ ගමක සොරකු පොලිසියේ අත්අඩංගුවට පත්වුවහොත් අසල ගම් සියල්ලේම සිදු වු සොරකම් සියල්ලම ඒ සොරා පිට පටවා උසාවියට ඉදිරිපත් කරනු ලබන බවයි. එවිට එක් නඩුවකට සාක්ෂි තිබෙන නමුත් අනෙකුත් නඩුවලට වැරදිකරු ඔහු බව ඔප්පු කරන්නට සාධක පොලිසියට නැත. අවසන් ප්‍රතිඵලය සොරා නිර්දෝශියකු වීමයි. ඉහත අකාරයෙන් සියලු වරදි එකකු මත පැටවීමෙන් පොලිසිය අපේක්ෂා කරන්නේ එකී සියලු වැරදිවල වරදකරු අත්අඩංගුවට ගත්බව පෙන්වා තමන්ට පැවරෙන වගකීමෙන් නිදහස් වීම බව පැවසේ. අන්තිමට පොලිසියේ රාජකාරියත් අකුරට ඉටුවේ. සොරුත් නිදහසේ සොරකම් කරති.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා වැනි ආණ්ඩු විරෝධී දේශපාලන ප්‍රබලයකුට ඔප්පු කළ නොහැකි නඩුවක් පැවරුවේ මන්ද යන ප්‍රශ්නය ප්‍රසිද්ධියේම විමසිය යුතුය. නඩු පැවරීම සිදුකළ යුතුවන්නේ සියල්ල නිසි ලෙස පරීක්ෂා කිරීමෙන් අනතුරුවය. එසේ නොකරන්නේ නම් එය විශාල කාල නාස්තියකි. දේපළ හා මුදල් නාස්තියකි. මෙරට අධිකරණ පද්ධතියේපවතින ප්‍රධාන දුර්වලතාවක් වන්නේ නඩු කල්යාමය. නඩු කල්යාමේ හේතුව උසාවිවල නඩු ගොඩගැසී තිබිමයි. ඒ අතරට තවත් ඔප්පුකළ නොහැකි නඩු එකතු නොකර ඉන්නට පොලීසියටත් නීතිපති දෙපාර්තමේන්තුවටත් යුතුකමක් සහ වගකීමක් තිබේ. එවැනි නඩු සදහා පෙනීසිටින පොලිස් නිලධාරින්ට, නිතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට, විනිසුරන්ට, උසාවි සේවකයන්ට පඩිනඩි ගෙවිය යුතුය. ඒ සදහා වැය වන්නේ රජයේ මුදල් නොහොත් ජනතාවගේ බදු මුදල්ය. එපමණක් නොව උසාවිවල ලයිට් බිල්, වතුර බිල් ආදියද එම වියදම් වලට එකතුවේ. ඒ බරද පැටවෙන්නේ ජනතාව මතයි.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට විරුද්ධව එල්ල කෙරුණු චෝදනාව සාධාරණ නඩු විභාගයකදී ඔප්පු කළ හැකිද නොහැකිද යන්න එෆ්.සී.අයි.ඩී. යට හෝ නීතිපති දෙපාර්තමේන්තුවට නොවටහුණේද? එසේ නැති නම් එය කරන්නන්වාලේ කළ නඩුපැවරීමක්ද? ඒ ගැන බරපතළ ලෙස කල්පනා කළ යතුය. හේතුව එකී නඩුව හේතුවෙන් මෙරට ප්‍රගතිශීලි ජනතාව තුළ යම් යහපාලන බලාපොරොත්තුවක් තිබුණේනම් ඊට බලගතු පහරක් එල්ල වු බැවිනි.

අනෙක එෆ්.සී.අයි.ඩි. ය යනු දේශපාලන පලිගැනීම් සදහා ගොඩනැගූ ආයතනයක් යන්න එමගින් තහවුරු විය හැකි බැවිනි.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට විරුද්ධ නඩුවේදි කියැවුණු එෆ්.සී.අයි.ඩී. නිලධාරින් බිල්පත් වෙනස් කරන්නට බල කළේය, යන කරුණ ලෙහෙසියෙන් බැහැර කළ යුතු නැත. එක්කෝ එෆ්.සී.අයි.ඩී. නිලධාරින් සිය බලය වැරදි ලෙස භාවිත කර තිබේ. එසේනම් ඔවුන් ගැන වෙනමම පරීක්ෂණයක් පැවැත්විය යුතුය. ඔවුනට නීති මාර්ගයෙන් දඬුවම් කළ යුතුය. එසේ නැතිනම් ඉහත සදහන් කාන්තාව බොරුවක් ප්‍රකාශකර තිබේ. එයද දඬවම් ලැබිය යුතු වරදකි.

කුමක් කෙසේ සිදු වුවත් ජොන්ස්ටන් පුනාන්දු පන්නයේ තවත් නඩු ඇත්නම් එවා උසාවියට ඉදිරිපත් කරනවා වෙනුවට පොලිසියේ හෝ නීතිපති දෙපාර්තමේන්තුවේ පෙට්ටගමකට බහා යතුරු දැමීම යහපත්ය. එවැනි නඩු තවතවත් උසාවිවලට ගෙන ඒමෙන් සිදුවනු ඇත්තේ උසාවියේ වටිනා කාලයත් අහිංසක ජනතාවගේ මුදලුත් නාස්ති වීම පමණක් නිසාය.

සම්පත් අමරසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *