උසස් අධ්‍යාපනය ඊනියා නිදහස් අධ්‍යාපනයෙන් නිදහස් කර ගත යුතු ය. – අජිත් පැරකුම් ජයසිංහ

2015 අගෝස්තු මාසයේ පැවැත්වුණු අ.පො.ස. උසස් පෙළ විභාගයට සිසුන් 255,191ක් පෙනී සිටිය හ.

එයින් 155,447ක් විභාගය සමත් වූ හ.

ඒ අතරින් 20,000කට මඳක් වැඩි සංඛ්‍යාවක් නොමිළේ අධ්‍යාපනය ලබා දීම සඳහා රජයේ විශ්වවිද්‍යාලවලට බඳවා ගනු ඇත. ඉතිරි පිරිස වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙලක් රජයට නැත. රජයේ ප්‍ර‍තිපත්තිය ‘තොපි ඕනැ එකක් කර ගනිල්ලා,’ යන්නයි.

ඉන් පසු විශ්වවිද්‍යාල සිසුන්ගේ ප්‍ර‍ශ්න ගැන අපට මහා හඬක් අසන්නට ලැබේ. ඔවුන්ට ප්‍ර‍ශ්න ඇති බව අපි දනිමු. බරපතල ම ප්‍ර‍ශ්නය වන්නේ රැකියා වෙළඳපොළට මේ උපාධිධාරීන් බොහෝ දෙනෙකුගෙන් වැඩක් නැති වීමයි. ඒ නිසා ඉන් පසු ඔවුන්ට රැකියා දෙන්නට ද සිදු වන්නේ මේ රටේ මහජන මුදලින් ම ය.

එහෙත්, රජයේ විශ්වවිද්‍යාලවලට ප්‍රවේශය නො ලැබෙන 230,000කට වැඩි ඉතිරි පිරිස ගැන මේ සමාජය කතා කරනවා ද? ඔවුන්ගේ හඬ නංවන්නේ කවුරු ද?

නොමිළේ අධ්‍යාපනය නො ලැබෙන වාතාවරණය තුළ සාධාරණ ගාස්තුවකට උසස් අධ්‍යාපනය ලබා ගන්නට ඔවුන්ට අයිතියක් නැද්ද?

ඔවුන්ට අධ්‍යාපනය ලබා ගැනීමට ඇති අවස්ථා පුළුල් වෙනවාට විශ්වවිද්‍යාල සිසුන් විරුද්ධ ඇයි?

“අපි විරුද්ධ නැහැ. උසස් පෙළ සමත් සියලු දෙනා විශ්වවිද්‍යාලවලට බඳවා ගත යුතුයි” කියා නො කියන්න.

මේ අවුරුද්දේ උසස් පෙළ සමත් 155,447 ම විශ්වවිද්‍යාලවලට ගන්නට නම් දැනට තිබෙන විශ්වවිද්‍යාල සංඛ්‍යාව මෙන් හයගුණයකටත් වඩා අවශ්‍ය ය. ඒ නිසා ඒක නො කෙරෙන වෙදකමකි.

උසස් අධ්‍යාපනය සමාගම්කරණය කිරීම පිළිබඳ සමාජයේ බරපතල විසංවාදයක් ඇත. එහෙත්, උසස් අධ්‍යාපනය ලාභ නො ලබන සමාජ ආයතන යටතට පත් වීම පිළිබඳ විරුද්ධ වීමට හේතුවක් නැත.

රජය විශ්වවිද්‍යාල සියල්ල හිමි කරගෙන, ඉතා අකාර්යක්ෂම අයුරින් ඒවා නඩත්තු කරමින්, ජනතාවගෙන් බදු අය කර, සීමිත පිරිසකට පමණක් අධ්‍යාපනය ලබා දීමේ ප්‍රතිපත්තිය ‘නිදහස් අධ්‍යාපනය’ නො වේ.

අධ්‍යාපනය ඔය කියන නිදහස් අධ්‍යාපනයෙන් නිදහස් කරගෙන ජනතාකරණය කළ යුතු ය.

 අජිත් පැරකුම් ජයසිංහගේ w3lanka වෙබ් අඩවියෙනි 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *