වී ගොවියන්ට ගෙදර ඉන්න කියමු – සුභාෂ් ජයවර්ධන

පොහොර සහනාධාරය වෙනුවෙන් මේ දිනවල දේශපේ‍්‍රමීන් හා විප්ලවවාදීන් අඛණ්ඩ අරගලයක නිරතව සිටී. වත්මන් ආණ්ඩුව මෙවර අයවැයෙන් පොහොර සහනාධාරය කප්පාදු කර ඇතැයි ද එමඟින් රටේ වී ගොවිතැනත්, වී ගොවියාත් විනාශ කිරීමට කටයුතු කරමින් සිටින බවත් මේවා අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණ බවත් බත් නොකනවුන්ගේ මෝඩ වැඩ බවත් ආදී වශයෙන් බොහෝ දෑ කියමින් සිටී.

පොහොර සහනාධාරය ගොවියන් විසින් දිනා ගත් අයිතිවාසිකමක් බව ද එක් විප්ලවවාදී නායකයකු කියා තිබිණි. පොහොර සහනාධාරය අයිතිවාසිකමක් වීම ගැන වෙනම දේශපාලන විග‍්‍රහයක් කළ යුතුය.

ඒ කොහොම වෙතත් මේ ගැටලූවේ දී සංඛ්‍යා ලේඛන මහ ගොඩක් ද ඇද බා තිබෙනු දකින්නට ලැබිණ. මේ සංකීර්ණ සංඛ්‍යා ලේඛන හරඹ ගැන අපි වැඩි යමක් කතා නොකරමු.

එහෙත් අපට ද කතා කරන්න සිදුව ඇත්තේ මේ සංඛ්‍යා ලේඛනවලින්ම මතු වන සත්‍යය ගැනය. මෙහි පටලැවීම් නැත. සංකීර්ණ ගණිත කර්ම නැත. ඉතා සරලය.
මේ 2015 වසරේ පොහොර සහනාධාරයට වෙන් කළ මුදල රුපියල් බිලියන 37.5කි. (රුපියල් බිලියන 37.5) 37,500,000,000.00 මෙය මෙරට ඇස්තමේන්තු ගත සමස්ත රජයේ වියදමෙන් සියයට 2ක් පමණ වේ.

සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ ගණන් හිලව් අනුව 2014/2015 මහ කන්නයේ දී අපට ලැබුණු මුළු වී අස්වැන්න මෙටි‍්‍රක් ටොන් මිලියන 2.85ක් පමණ වේ. එය ඊට පෙර2014 යල කන්නයේ දී මෙටි‍්‍රක් ටොන් මිලියන 1.1කට ආසන්නය. අවසන් වසරේ පලදාව ලෙස මේ කන්න දෙකෙහි වී අස්වැන්න එකතු කළ විට එය මෙටි‍්‍රක් ටොන් මිලියන3.95ක් ලෙස ගත හැකිය. ගණනයේ පහසුව පිණිස ඊට වැඩි බරක් තබා ටොන් මිලියන 4ක් ලෙස ගමු.

මෙටි‍්‍රක් ටොන් මිලියන 4ක් යනු කිලෝ ග‍්‍රෑම් බිලියන 4 කි.

වී ගොවියා වී විකුණන්නේ කිලෝ ගාණටය. මේ කිලෝ ග‍්‍රෑම් බිලියන 4 විකුණා ගැනීමෙන් පසුව ගොවියන් හට ලැබෙන ලාභය සලකා බැලීම දැන් කළ යුතුය.
සාමාන්‍යයෙන් වී කිලෝවක් නිෂ්පාදනය සඳහා රුපියල් 32 – 35 ක පමණ මුදල් වැය වෙන බව ඒ සම්බන්ධව කළ ගණනය කිරීම්වල දී හෙළිව තිබේ.

රජය විසින් වීවලට සහතික මිලක් ලබා දී එම වී මිලදී ගත්තේ රුපියල් 45 සහ 50 යන මිල ගණන්වලටය.(දැන් එය තවත් රුපියල් 9කින් අඩු වී ඇතත් ඒ නොසලකා හරිමු.) ඒ එක් වී ගොවියකුගෙන් වී කිලෝ 2000 බැගින්ය. ඒ අනුව ගොවියාට එම කිලෝ 2000 විකිණීමෙන් පමණක් එක් කිලෝවකින් සාමාන්‍යයක් ලෙස රුපියල් 15ක පමණ ලාභයක් ලැබිය හැකිය.

එසේ මිල දී ගැනීම සිදු කළත් රජයට මිල දී ගත හැකිව තිබුණේ රටේ සමස්ත වී ඇස්වැන්නෙන් සියයට 10කට අඩු ප‍්‍රමාණයකි. අප සලකා බලන වර්ෂය ඉතිහාසයේ වැඩිම වී අස්වනු ප‍්‍රමාණයක් මිල දී ගත් වසරක් වන නමුත් සැබැවින්ම එම ප‍්‍රමාණය මිලියන 300කට ආසන්නය. එය ද නොසලකා හැර එය සියයට 10ක් ලෙසම ගනිමු. එනම් කිලෝ මිලියන 400කි.

රටේ සමස්ත අස්වැන්න හා සැලකීමේ දී එනම් සියයට 10ක ප‍්‍රමාණය වන වී (මෙටි‍්‍රක් ටොන් මිලියන 0.4) කිලෝ මිලියන 400කට රුපියල් 15 ගණනේ ලැබෙන ලාභය රුපියල් මිලියන 6000කි. එනම් බිලියන 6කි.

ඉතිරි වී තොග පෞද්ගලික අංශය මිල දී ගන්නේ රජයේ මිලට නොවේ. ඇතැම් විට නිෂ්පාදන වියදමටත් අඩුවෙනි. පසුගිය දිනවල රුපියල් 27ට ත් මේ වී මිල දී ගෙන තිබෙන බව වාර්තා විය. එම නිසා එම වී තොගවලින් ලැබෙන ලාභය ගණන්ගත නොහැකි තරම්ය. එහෙත් ඊට බිලියන 10ක විශාල ලාභයක් ලැබිය හැකි යැයි උපකල්පනය කළත් සමස්ත ලාභය බිලියන 16 කි.

දැන් සෙල්ලම තිබෙන්නේ මෙතැනය. මේ ලාභය වී ගොවියාට අත්කර දීම සඳහා රජය පොහොර සහනාධාරයට පමණක් බිලියන 37.5ක් වැය කරයි. මේ විකාරය වත්මන් රජය තේරුම් ගෙන තිබෙනවා විය හැකිය. ‘අපි පොහොර සහනාධාරය කපන්නේ නෑ දිගටම දෙනවා’ ආදී වශයෙන් මුදල් ඇමැතිවරයාගේ ඇතැම් ප‍්‍රකාශ නිසා එසේ නොවිය ද හැකිය. එහෙත් පොහොර සහනාධාර කප්පාදු නොකරව් කියමින් පාර්ලිමේන්තුව, වීදිය දෙවනත් කරන ඊනියා දේශපේ‍්‍රමීන් විප්ලවවාදීන් තවම තෙරුම් ගෙන නැති බවට නම් කැට තැබිය හැකිය.

වී වගාව නොකරන ලෙස මේ ගොවියන්ව ගෙදර තබා රජයට මේ ගොවියා, වී වගාවෙන් ඉපැයූ මුදල, පොහොර සහනාධාරයට වෙන් කළ මුදලින් ගෙව්වත් රජයට බිලියන20කට වැඩි ඉතිරියක්ය. ඒ ඉතුරු මුදලින් අඩු මිලට සහල් අපනයනය කර රටේ සමස්ත පුරවැසියාට අඩු මිලට තුන් වේලටම කන්න බත සපයා දී ඉන් ලාභයක් ඉපැයීමේ හැකියාව ද රජයට තිබේ.

වී වගාව අවශ්‍යමයි කියන පිරිසට ඒ වගාව කරගෙන කැමැති මිලකට ඒ සහල් කර විකුණා ගැනීමේ ඉඩකඩ ලබා දිය යුතු අතර මේ පොළොවේම වැවෙන වී ටිකෙන් බත් කෑ යුතුයි කියන දේශපේ‍්‍රමීන්ට ඒ වැඩි මිල ගෙවා බත් කෑමේ නිදහස ද ලබා දිය යුතුය. වැඩි මිලක් ගෙවා සහල් මිල දී ගැනීමෙන් මේ ගොවියාට ද ඩබල් බෝනස් එකක් ලැබිය හැකිය.
ඉහතින් පෙන්වා දුන් බිලියන 16 හි සුළු ලාභය ගොවියාට අත්පත් කරදීම සඳහා රජය වැය දරන්නේ පොහොරවලට පමණක් නොවේ. වී වගාව ගැන සොයා බලන්නට රට පුරා නිලධාරීන් පනස් දාහකට වැඩි ප‍්‍රමාණයක් යොදවා ඇත. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු ප‍්‍රාදේශීය නිලධාරීන්, කෘෂිකර්ම උපදේශකවරු, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන නිලධාරීන්, ග‍්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් ආදී වශයෙනි. ඔවුන්ට මාස් පතා වැටුප් ගෙවයි.

විශාල ආයතන පද්ධතියක් රජය නඩත්තු කරයි. දේපළ ගොඩනැගිලි යාන වාහන ආදිය වෙයි. වාරි කර්මාන්තය වෙනුවෙන් තවත් අතිවිශාල මුදලක් වැය කරයි. ගොවියා වෙනුවෙන් ගොවි ණය, රක්ෂණ, විශ‍්‍රාම වැටුප් ලබා දීම මෙන්ම ගොවි ණය, බොල් ණය ලෙස කපා හැරීම ද කාලයක දී සිදු වේ.

මීට අමතරව ගොවියන් ගොවියන්ගේ පැත්තෙන් ගත්තොත් පොහොරවලට අමතරව අනෙකුත් කෘෂි රසායන වෙනුවෙන් බිලියන තිහ හතළිහක් පමණ වාර්ෂිකව වැය කරයි. ඒවායේ බර ද රජයේය. රජයේ යනු අවසන් විග‍්‍රහයේ දී රටේ සමස්ත ජනයාගේ කර පිටය.
එමෙන්ම අනෙක් අතුරු කතාව, පොහොර හා කෘෂි රසායන හේතුවෙන් සිදුව තිබෙන සෞඛ්‍ය හා පාරිසරික විනාශය ය.

එම තත්ත්වයන්ට මුහුණ දීම සඳහා රජය වැය කරන මුදල බිලියන ගණනකි. යම් ලෙසකින් මෙරට මේ වන විට ලක්ෂ 5ක් පමණ සිටින වකුගඩු රෝගීන්ගේ ප‍්‍රශ්නයට හේතුව මේ පොහොර හෝ කෘෂි රසායන නම් ඉදිරි වසර පහ හයක කාලය තුළ රජයට ඒ වෙනුවෙන් වැය කරන්නට සිදු වන මුදල පොහොර සහනාධාරය මෙන් කිහිප ගුණයක් වනු ඇත. එය මේ පොහොර සහනාධාරයේම ආදීනව ලෙස ගණන් බැලිය යුතුය.
මේ අනුව ලංකාවේ වී ගොවිතැනින් යැපෙන පවුල් ගණන වන ලක්ෂ 8කගේ පමණ යැපීම සඳහා රුපියල් බිලියන 16ක් සොයා දෙන්න රජය වැය කරන මුදල බිලියන 50ක් වත් වනු ඇත.

රජයට කරන්න වෙන වැඩ නැත්නම් මේ අනර්ථකාරී වියදම් ගැන ප‍්‍රශ්නයක් නැත. රටේ ශ‍්‍රී විභූතිය, සහලින් ස්වයං පෝෂිත බව, ගොවියා රජකමටත් සුදුසුයි කියමින් හෝ ගොවි පුතෙක් රජ කරද්දී ගොවිතැන් ආරක්ෂා කර ගත යුතුයි වැනි කතා කියමින් මේ වී වගාව කර කර සිටිය හැකිය.

එහෙත් ඇත්ත යථාර්ථය එය නොවේ. මේ අලාභ දායක වී වගාව වෙනුවට වෙනත් වැඩි ලාභ ඉපැයිය හැකි වගාවන් මේ රටේ තිබේ. නැත්නම් හඳුන්වා දිය හැකිය. මේ කුඹුරු ඉඩම් ටික, වාරි පද්ධතිය හා මිනිස් ශ‍්‍රමය ඒ වෙනුවෙන් වඩා ඵලදායක ලෙස යොදා ගැනීමේ විශාල ඉඩකඩක් ද තිබේ.

පරණ හණ මිටි කර ගහගෙන තවදුරටත් මේ රට මීට වඩා දියුණු සංවර්ධන යුගයක් කරා ගෙන යා නොහැකිය. මෙහි විශාලම ගැටලූව තිබෙන්නේ රටේ දිළිඳුභාවය හා සම්බන්ධ ප‍්‍රශ්නය සැලකීමේ දී ය.

රටේ දරිද්‍රතාවයෙහි වැඩිම පංගුව හිමි කර ගෙන තිබෙන්නේ මේ කෘෂි කර්මාන්ත ක්ෂේත‍්‍රය කෙන්ද්‍ර කරගෙනය.

2015 නිල දරිද්‍රතා රේඛාවේ අගය, ඒක පුද්ගල මාසික පරිභෝජන වියදම රුපියල් 3956කි. ඒ අනුව දරිද්‍රතාවයෙන් පෙළෙන පුද්ගල සංඛ්‍යාව මිලියන 2 ඉක්මවා ඇත. එමෙන්ම දරිද්‍රතා රේඛාවට ඉහළින් නමුත් ඊට ආසන්නයෙන් රටෙන් අඩක් පමණ එනම් මිලියන 100ක් පමණ සිටී.

දිළිඳු පවුල්වලින් අඩකම ගෘහමූලිකයා කෘෂි කර්මාන්තයෙන් ජීවනෝපාය කරගත් අයවලූන්ය. ඉන් සියයට 20ක් පමණ ඍජුවම වී ගොවිතැනට සම්බන්ධය. ශ‍්‍රී ලංකාවේ ශ‍්‍රම බළකායෙන් 86%ක් කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගෙන තිබෙන බව 2010 ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු වාර්තා කියයි. මින් ද විශාල පිරිසක් වී ගොවිතැනට සම්බන්ධය.

මේ නිසා ලංකාවේ දුප්පත්කම හා දිළිඳුකම පිටු දැකීමේ දී වැඩි අවධානය යොමු කළ යුතු කාණ්ඩය ලෙස මේ කෘෂි කර්මාන්තය හා සම්බන්ධ කාණ්ඩය සැලකීමට සිදුව තිබේ.
වාර්ෂික ඒකපුද්ගල සහල් පරිභෝජනය කිලෝග‍්‍රෑම් 116ක් වන අතර වී ගොවිතැන අද, ඒ සියල්ලන්ගේම කුසගිනි නිවිය හැකි මට්ටමක් අත්කර ගෙන සිටින බව මේ වසරේ ලැබුණු වී අස්වැන්න අනුව උපකල්පනය කරයි. නමුත් මෙරට අඩකගේ පමණ තුන් වේල පිරිමැහෙන්නේ බත්වලින් නොවේ. පාන් සහ පරිප්පුවලිනි. ඒ දුප්පත්කම නිසාය.
මේ තත්ත්ව නියමාකාරයෙන් සලකා බලා වී ගොවිතැන පවත්වාගෙන යාමත් පොහොර සහනාධාරය ලබා දීමත් ගැන රජය සමස්ත ජනතාවගේ සුබ සිද්ධිය තකා නැවත වරක් සිතා බැලිය යුතු අතර පටු දේශපාලන වුවමනාවන් කර පින්නා ගත් කුඩා දේශපාලන කණ්ඩායම්වල පුහු ඝෝෂාවන්ට යට වී තීරණ ගැනීමෙන් වැළැකිය යුතුය.

සුභාෂ් ජයවර්ධන

(අන්තර්ජාලයෙන් ලැබුණු ලිපියකි )

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *