කිලිනොච්චියේ සිට ලියමි – අජිත් පැරකුම් ජයසිංහ

සටන් විරාම සමයෙන් පසු පළමු වතාවට යාපනයේ හා කිලිනොච්චියේ ඇවිද්දෙමි. මිනිසුන් හමු වුණෙමි. එය යුද සංචරණයක් නො වේ. වන්දනාවක් ද නො වේ. මම කිසිදු තැනක් විශේෂයෙන් බලන්නට නො ගියෙමි. එය නිකම් ගමනකි.
කලින් හමු වූ ඇතැම් මිනිසුන් දැන් හමු විය නො හැක. අප පාගන පොළව මත ඔවුන්ගේ ලේ තැවරී තිබිය හැකි ය.
බොහෝ දේ වෙනස් වී ඇත. අලුත් මං ඉදි වී ඇත. ඒ මත සමතල තාර පලස් ය. වීදි දෙපස සල්පිල් ය. වෙළඳාම සරු ය. සුන්බුන් බිම ඇද දමා අලුත් ගොඩනැගිලි ඉදි වී ඇත. පාර හරහා මුර කපොළු නැත. පලාලි ගුවන් තොටුපළ වටා තවමත් අධි ආරක්ෂක කලාපයකි. එයට යට වී ඇත්තේ ජනතාවගේ ඉඩම් ය. පොලිසියේ ලොකු ලොක්කෝ සිංහලයෝ ය. ඔවුහු තේරෙන හැටියට පැමිණිලි විසඳති. අපට හමු වූ දෙමළ මිතුරෝ හඩන්නට බැරි නිසා සිනාසෙති.
හමුදාව කඳවුරුවල සිටිති. කිලිනොච්චියේ පන්සලක ශබ්ද විකාශනයෙන් පිරිත් පිට වේ. බීතෝවන් එලිසා වෙනුවෙන් රචනා කළ වාදනය රැගෙන චූන් පාන් රථයක් පාරේ යයි. කරණවෑමිහලක මහ හඬින් වේග රිද්ම ගීයක් වාදනය වේ. තරුණයෝ නව රිද්මයට කොණ්ඩය කපති. අල්ලපු කඩයේ ශාරීරික ව්‍යායාම කරමින් තවත් තරුණයන් පිරිසක් ඇඟ හදා ගනිති.
ඒ කාලයේ අප සිංහල යයි දැනගත් විට එදිරිවාදී හෝ සැකමුසු හෝ ඇසින් අප දෙස බැලූ සිංහල නොදත් මිනිසුන් වෙනුවට කෑම කඩයේදී හමු වන්නේ සිංහලෙන් කතා කර, සුහදව සංග්‍රහ කරන දෙමළ මිනිසුන් ය.
කුඹුරුවල අස්වනු නෙළා අවසන් වෙමින් තිබේ. වී පටවා ගත් ලොරි බරට බරේ ඇදී යයි. මිනිස්සු, ගැහැනු, ළමයි ජීවිතය සොයා බයිසිකල් පදිති. තැන තැන පොලිතින් එක් රැස් වෙමින් තිබේ. මිනිසුන්ගේ මුහුණුවල විවිධ කතා ලියැවී ඇත. ඒ මතින් දැල්වෙන්නේ බලාපොරොත්තු ය.
බොහෝ දේ වෙනස් වී ඇත. බොහෝ දේ දකුණේ ජීවිතයට සමාන වෙමින් තිබේ. අපි මාධ්‍ය ගැන කතා කළෙමු. මාධ්‍ය අපරාධ වාර්තා කරන්නේ හැඟීම් ප්‍රකෝප කරන ලෙස බව මිතුරෙක් කීය. ‘උදයන් කියන්නේ දෙමළ ජාතික සන්ධානය කියන එක. වාලම්පුරි ප්‍රචාරය කරන්නේ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ලාගේ දෙමළ ජාතිවාදී අදහස්. ඔය දෙකම වැඩක් නැහැ,’ නිහඬ දෙමළ මිතුරෙක් මා සමග කීවේ ය.
‘මේ ලැබිල තියෙන අවස්ථාව පාවිච්චි කරන්න ඕනැ මිනිසුන් විදියට අපි එකතු වෙන්නයි.’ ඔහු කී වදන් මගේ දෙසවන් පුරා රැව් දෙයි.
රේල් ගේට්ටුව වැසිණි. රතු එළි නිවි නිවී දැල්වෙයි. කිලිනොච්චියේ අබලන් ඒ 9 මහා මාර්ගයට සමාන්තරව දිගු වැලි මගක් දිගේ පයින් ගමන් කරන අතර එය කුමක්දැයි අතීතයේ දිනෙක මම මිතුරකුගෙන් ඇසීමි.
“ඒ තමයි, ඉස්සර රේල් පාර. සටන්කරුවෝ සිල්පර කොටන්වලින් බංකර් හැදුවා.”
මම දුක් වුණෙමි. ඒ අන් කිසිවක් නිසා නොව මම දුම්රියවලට ආදරය කරන නිසා ය.
“දෙමළ ඊලම පුංචි රාජ්‍යයක්. ඒකට මහාමාර්ග විතරක් ඇති. දුම්රිය පාරවල් ඕනැ නැහැ,” මිතුරා කීවේ ය. අප අතර දේශපාලන මතභේදයක් ඇති වූ පසු ඔහු කිසි දිනෙක මා හා කතා කළේ නැත.
යුද්ධය බුර බුරා ඇවිලෙද්දී ඔහු විදේශගත වූයේ ය. පුංචි දෙමළ ඊලම වෙනුවෙන් පළා නො ගොස් සටන් කළ මිනිස්සු ඒ බිමේ ම වැළලී ගිය හ. ඊට වඩා ලොකු ශ්‍රී ලංකාව ඉතිරි විය.
රතු පාට දුම්රියක් වේගයෙන් ධාවනය විය. රතු පාට එළි නිවී ගේට්ටුව ඇරිණි. කහපාට එළියක් නිරතුරුව දැල්වෙයි. එය කොළ පාට එළියක් නො වන්නේ ඇයිදැයි කල්පනා කිරීම වැදගත් ය.

