මිනිස්සුන්ට ඇත්ත කියාපල්ලා කියා හදවත හඬ නගා කියනවා – නව පරපුරේ රංගන ශිල්පි ජගත් මනුවර්ණ

Jagath Manuwarna“ජනවාරි 08වෙනිදාට කලින් තීරණය කරන්නට සිදුවුණා මීට පෙර දේශපාලන වේදිකාවලට ගොඩ වී නැති ස්වාධීන කලාකරුවන් වූ අපිට තීරණාත්මක මොහොතේ මැදිහත් වෙන්නට අවශ්‍ය බව. එදා ඔබ සමග අප කළ මාර පරාජයෙන් පසු මේ වේදිකාවෙන් බැසගොස් සුපුරුදු ලෙස කලා කටයුතු වල නියැලී අපිට ඉන්නට පුළුවන් වේ යැයි අපි සිතුවා. නමුත් හිටපු ජනාධිපති රාජපක්ෂ ඇතුලූ සන්ධානයේ බලලෝභය සහ බල තණ්හාව ඊට වඩා විශාල වුණා. ඒ බල තණ්හාව මහින්ද රාජපක්ෂ මහතාගේ බල ලෝභය අපිට නැවතත් බලකර සිටියා වේදිකාවට ගොඩවෙලා මිනිසුන්ට ඇත්ත කියා දීපල්ලා කියලා. ඒ හේතුව මත නැවත වතාවක් අපිට දේශපාලන වේදිකාවලට නගින්ට සිද්ධවෙලා තිබෙනවා.” යැයි නව පරපුරේ රංගන ශිල්පී ජගත් මනුවර්ණ අනුරාධපුරයේ පැවති ” පුරවැසි බලය ” රැස්වීමේදී ප්‍රකාශ කළේය .

එම රැස්වීමේදී මනුවර්ණ මහතා වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය .

එළඹෙන 17 වෙනිදාට නැවත වතාවක්, දෙවැනි වතාවටත් රාජපක්ෂ පරාජය කර ගෙදර යවන්න කියලා අපිට ආරාධනාව ඔහුගෙන් ලැබී ඇත. ඒ නිසා නැවතත් මේ වේදිකාවට අපි නැග්ගා. හිටපු අතිගරු ජනාධිපති රාජපක්ෂ මහත්තයාට වැරදුණු තැන මම කියන්නම්. එතුමා කිසිම දවසක මිනිසුන් විශ්වාස කළේ නෑ. එතුමා විශ්වාස කළා ඒ වෙනුවට දෙවියන් ව, භූතයන්ව, යක්කුන් සහ පෙරේතයින් ව. එතුමාගේ අතේ තිබෙන ජීවන් කළ ගුරුකම් බෝලය ඔබ දැකලා ඇති බවට සැකයක් නෑ.

ජනතාව නොවෙයි ඔහු ආරක්ෂා කරන්නේ ඒ ගුරුකම් බෝලේ යැයි එතුමා විශ්වාස කළා. එයින් ලැබෙන දේවාශිර්වාදය, ඔහු කරන අපරාධ වළලන්නට, එහෙමත් නැත්නම් ඔහු කරන පාදඩ ක්‍රියාවන් හංගන්නට උදව් කරනු ඇතැයි ඔහු විශ්වාස කළා. එහෙත් ඒක එහෙම නොවුනි. ජනතාව ඊට වැඩිය ප්‍රභලයි කියන එක ජනවාරි අට වෙනිදා මේරටේ ජනතාව ඔහුට පෙන්වා දී තිබෙනවා. එදා ඔහුට සිද්ධ වුණා අර ගුරුකම් බොලේ අකුලාගෙන මැදමූලනට නැවත යන්නට. හැබැයි එහෙම ගොස් එහි නතර වූයේ නෑ. අර විශ්වාසය අතහැරියේ ද නෑ. ඒ ගුරුකම් බෝලේ පෙන්න පෙන්නා නැවත වරක් එනවා ඔබේ දෙපා මුල දනින් වැටිලා, මට නැවත බලය ලබා දෙන්න කියලා ආයාචනා කරන්නට. අපි මේකට සිංහළෙන් කියන්නේ ලැජ්ජා නැතිකම කියලා.

තව එක වැරදුණු තැනක් මම කියන්නම්. අපි විශ්වාස කළා ප්‍රජාතන්ත්‍රවාය. අපි වගේ පුරවැසි කණ්ඩායම් සහ අනිකුත් දේශපාලන පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කළා. ඔහු විශ්වාස කළා දෙවියන් ව. එහෙම නැත්නම් ඒ අත්භූත බලවේග. අපි විශ්වාස කළා බුද්ධිමතුන් සහ උගතුන් ව. ඔහු විශ්වාස කළා කට්ටඩින්ව, තක්කඩින්ව, වන්දි භට්ටයින්ව සහ කේවට්ටයින්ව. මැතිවරණ තියන දවස තීරණය කළේ කට්ටඩියෙක්. රාජපක්ෂගේ පිටිපස්සේ සුමනදාස කියලා කට්ටඩියෙක් සිටි බව ඔබ දන්නවා. ඔහු තමයි තීරණය කළේ කවද්ද මැතිවරණය තියන්නේ කියලා

රටේ ජනාධිපතිවරයා එළියට බහින්න ඕන වෙලාව නියම කළේ ඒ කට්ටඩියා යි. ඔහු තමයි තීරණය කළේ රාජපක්ෂ වටේ සිටිය යුතු පිරිස කවු ද කියලා. මැතිවරණයට නාම යෝජනා දෙන්න ඕනේ කොහේ බලාගෙන ද කියලා තිරණය කලේ ද ඒ කට්ටඩියාම ය. හැබැයි අපි විශ්වාස කළා ඒ මොහොත. එයාට ද වැරදුනේ අපිට ද වැරදුනේ. මිනිස්සු විශ්වාස කළ අපි ජයග්‍රහණය ජනවාරි 8 වෙනිදා ජයග්‍රහණය කලෙමු . තවමත් ඒක එයාට තේරෙන්නේ නෑ. තවමත් ඒ මිත්‍යාවේ ගිලෙමින්, ඒ මිත්‍යාව විශ්වාස කරමින්, ආයෙම සැරයක් බලය ඉල්ලන්න ඔබ ඉදිරියට එනවා. අපි මේකට කියනවා ලැජ්ජා නැතිකම කියලා.

ඔබට මතකයි මේ අයි.ටී. එන් .නාලිකාව, ගුවන්විදුලි සංස්ථාව, මොනතරම් දේශපාලනී කරණය වෙලා තිබුණා ද කියන එක, සහ මොනතරම් ඔහුගේ දේශාපාලන ව්‍යපෘති සඳහා පාවිච්චි කළාද කියන එක. ඔබට මතක නම් අයි. ටී. එන්. එකේ, රාත්‍රි ප්‍රවෘත්ති විකාශනයෙන් පස්සේ වැඩ සටහනක් ගියා ආණ්ඩුව කරන අපරාධ ශෝධනය කරන. නැත්නම් ඒකට ක්‍රයිම් ලෝන්ඩරින් ප්‍රොග්‍රෑම් එක කියලා කියන්නට ද පුළුවන්. ඔවුන් කළ අපරාධ සියල්ල ශෝධනය කළේ ඒ වැඩ සටහනින් ය. ඔබට මතක නම් ගාමිණි වියන්ගොඩ, නිමල්කා ප්‍රනාන්දු , පාක්‍යසෝත්ති සරවණ මුත්තු වගේ සමාජ ක්‍රියාධරයින් ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගැසුවේ ය. ඒ තරමට ඒ මාධ්‍ය ආයතන අසරණ කර තිබුණා විතරක් නොව ඒ මාධ්‍ය ආයතන වල ඒවාට සූදානම් වූ වන්දිභට්ටයෝ ටිකකුත් සිටියහ.

අද ඒ තත්ත්වය නැත. ඔබට මතක නම් ඒ කාලේ ගුවන්විදුලි සංස්ථාවේ උදේ ළමයින් පාසැල් යන වෙලාවට එනවා වැඩසටහනක්. හඞ්සන් සමරසිංහ කියලා භාෂාවෙන් කටහෝදන තක්කඩියෙක් ඒකේ හිටියා. උදේට කෑ ගහනවා මිනිසුන්ට අහන්න බැරි තරම් කුණු හරුපයෙන්. ඔහු එය කළේ රාජපක්ෂ ජනාධිපතිගේ වරප්‍රසාද ඇතිව ය. ප්‍රසිද්ධියේ රජයේ මාධ්‍ය භාවිතා කරමින් මිනිසුන් එල්ලා මරන්න ඕනේ කියලා ප්‍රසිද්ධියේ ඔහු කිවේ ය. ඔහුට ඒ බලය ලැබුණේ කොහෙන් ද? ඒ අදූරදර්ශි නායකයාගේ බලයයි ඔහු බිය නැතිව එසේ පාචිචිචි කළේ. අද හඞ්සන් නමැති වන්දිභට්ටයා ආ ගිය තැනක් හොයා ගන්නට නැත. ඒ ආකාරයට සියලූම මාධ්‍යය, පෞද්ගලික ඒවාට පවා රාජපක්ෂ තර්ජනය කර තිබුණා. මට ගහන්නේ නැතිව වෙන ඕනේම කෙනෙකුට ගහපල්ලා කියලා ඔහු කිව්වා ඒවාට. මාධ්‍ය සිල්ල ඔහු නතුකරගෙන ඔහුගේ දේුශපාලන ගමන සඳහා පමණක් භාවිතා කරමින් සියල්ල මර්ධනය කරමින් ඔහු පවත්වාගෙන ගියේ ය. ඔහුට එරෙහිව කථා කළ සියළුම මාධ්‍යවේදින් ඔහු මර්ධනය කළා.

ප්‍රගීත් එක්නැලිගොඩව අතුරුදන් කරලා කිව්වා ප්‍රංශයේ ගොස් ජීවත් වෙනවා කියලා. අදටත් ඔහුගේ බිරිඳයි දරුවනුයි අඬා වැළපෙනවා. තමාගේ සැමියා ඉල්ලා ඒ බිරිඳ අඬා වැළපෙනවා, දරුවෝ තමන්ගේ තාත්තා ඉල්ලා අඬා වැළපෙනවා. වෙච්ච දෙයක් නෑ. අතුරුදන් කරලා ප්‍රංශයේ ජීවත් වෙනවා කිව්වේ ය. එවකට හිටපු නීතිපතිවරයා ගිහිල්ලා ජිනීවා වල තමන්ගේ ප්‍රකාශන ලබාදෙමින් කියනවා ඔහු දේශපාලන රැකවරණ පතා පිට රටට පැණලා ගියා කියලා. අද ඒ සියළු තොරතුරු හෙළිවෙමින් පවතිනවා. ඔහුව පැහැරගෙන ගිහිල්ලා කියලා අද එළිවෙලා තිබෙනවා. හරිම හොඳයි මාවවත් පැහැරගෙන ගොස් ප්‍රංශයේ ගිහින් දාන්න කෝ. මිනිස්සු පැහැරගෙන ගොස් ප්‍රංශයට ගෙනගොස් දාන ආණ්ඩුවක් ඒ කාලයේ තිබිලා තියෙන්නේ. අද ඒ සියළු තොරතුරු හෙළිවෙමින් පවතිනවා.

පෝද්දල ජයන්තගේ කකුල් කැඩුවා. ඔහු පිට රට ජීවත් වෙනකොට දැනෙන සීතල සමඟ කඩපු කකුල් වලට දා තිබෙන යකඩ පතුරු සීතල කාලයට රිදුම් දෙනවා, ඇදුම් කනවා. ඒ වෙලාවට නැවතත් ඒ භීතිය ඔහුව වෙලා ගන්නවා කියලා අදටත් කියනවා. ලසන්ත වික්‍රමතුංග. මහපාරේ මැරුවේ. තාමත් අපරාධකරුවන්ට දඬවම් කරගන්නට බැරිවුණා. ඒවා යට ගැහුවා . වසීම් තාජුඩීන් මරලා ඒක හදිසි අනතුරක් ලෙස හුවා දැක්වූවා. ඔහු විපරීත ආශාවන්ගෙන් පෙළුන කෙනෙක්, ඔහු ඔහුටම පහර දීගෙන, ඔහු ඔහුටම ඇනගෙන, තුවාල කරගෙන, තමන්ගේ වාහනය ගෙනගොස් හප්පගෙන, මැරුණ බව කියා තිබුණා. අද අධිකරණ වාර්තා, වෛද්‍ය වාර්තා සහ රස පරික්ෂක වාර්තාවල පරස්පරයන් මතුවෙලා තිබෙනවා.

වෛද්‍ය වාර්තාවේ කියනවා කාබන් මොනොක්සයිඞ් විෂවෙලා මැරුණා කියලා. නමුත් රස පරික්ෂක වාරිතාවේ එහෙම එකක් නැහැ කියනවා. ඒවා බොරු කියන එක ඔප්පු වෙලා තිබෙනවා. තව ටික දවසකින් ඔහුව මැරුණේ කොහොමද කියන එක එලියට එනු ඇත. එදාට බලාගන්න පුළුවන් රාජපක්ෂ රෙජීමයේ තවත් කෙරුවාවක්. ඔවුන් මිනිසුන්ගේ සිවිල් ජීවිත වලට මොනවාද කළේ කියලා එදාට දැනගන්න පුලූවන්. මිනිස්සු අපෙන් අහනවා දේශපාලන වේදිකා වල සිට කථා කරන විට ඔබලාගේ ගෞරවයට හානියක් වෙයි නේද කියලා. ටෙලි නාට්‍යක. වේදිකා නාට්‍යයක රඟපාගෙන ඉන්නකෝ කියලා ඔවුන් අපිට කියනවා.

මම අහන්නේ ජනවාරි 08වෙනිදාට කලින් කලාකරුවෙක් ලෙස නොව සිවිල් පුරවැසියෙක් ලෙසවත් පෞර්ශවයක් සහිතව කෙලින් සිටගන්න පුළුවන් කම ලැබිලා තිබුනා ද? නෑ අපේ කශේරුකාව අයින් කරලා දලා, අපේ හෘදසාක්ෂිය ගොළු කරලා මේ රටේ සරණාගතයෝ බවට පත්කරලයි තිබුණේ. අපිට පෞර්ශවයක් තිබුණේ නැහැ ඒ කාළේ සිවිල් මිනිසුන් ලෙස. අපිට නැතිවෙන්නට පෞර්ශවයක් ඉතුරු කරලා තිබුණේ නැ. අවසානයේ එතුමා අපිව එතෙන්ට තල්ලූ කරලා තිබුණා. ඒ අනතුර තවමත් නැතිවෙලා නැහැ. ඒකයි අපිට මේ සටන කරන්නට සිදුවෙලා තිබෙන්නේ. ඒ පාදඩ අදූරදර්ශී පාලනය, ඒවාගේ ගොදුරු බවට පත් වූ සිවිල් සමාජය, රාජපක්ෂට ගැලපෙන උත්තරය දුන්නා සේම, මේ මස 17 වෙනිදාට නැවත වතාවක් ඔහු ඉල්ලන පරාජය ඔහුට අප ලබා දිය යුතු ය.

යුද්ධයක් කර, මම රට බේරා ගත්තා වැනි පම්පෝරි ගහනවා තමයි. යුද්ධය කරන විට කිව්වේ යුද්ධයට වියදම් කරන විට සංවර්ධනයට මුදල් නෑ කියලා. යුද්ධය ඉවර වූ පසු ඒ සල්ලි වලට සිදුවූයේ කුමක් ද? රේන්දයි, ලීස්තරයි, මෝස්තරයි, සංවර්ධනය විදියට දකිනවා නම් ඔව් ඒක සංවර්ධනය තමයි. පාරවල් හැදුවා මිනිසුන්ට පෙනෙන්නට. කිලෝ මිටර් 10 හැදුුවොත් කිලෝ මිටර් 9ක සල්ලි ගසා කෑවා. ගොඩ නැගිල්ලක් හදන විට ගඩොක් කැට 10ක් යන විට ගඩොල් කැට 9ක් ගසා කෑවා. ඇවිදින මංතීරු හැදුවා. මීටර් 100ක් හදන විට මීටර් 90ක සල්ලි ගසා කෑවා. ඒකට ද සංවර්ධනය කියලා කියන්නේ. නැව් එන්නැති වරායවල්. ගුවන් යානා එන්නැති ගුවන් තොටුපලවල්. නාට්‍යයක් පෙන්නන්න බැරි නාට්‍ය ශාලා, කාට ද මේවා හැදුවේ. මේ වකුගඩු රෝගින්ට, ඒ අය වෙනුවෙන් මේ සල්ලි වියදම් කරන්න තිබුණා. මිනිසුන් ගැන එතරම් සිතන නායකයෙකු නම් කරන්නට තිබුණේ එවැනි වැඩ. මොහු එහෙම ඔළුවක් තිබූ පුද්ගලයෙකු නොවේ. අර වගේ කේවට්ටයෝ ටිකයි, වන්දි බට්ටයෝ ටිකකුයි වටකරගෙන තමන්ට ඕන ඕන විදියට පිස්සු කෙලපු නායකයෙක් අපිට හිටියේ. අපි ඒක ජනවාරි 8 වෙනස් කළා. මේ 17 වෙනිදාට ඔහු නැවත නොඑන්නට පරාජය කර ගෙදර යවන්නට සිදු වී තිබෙනවා. එසේ නොකළොත්, කලින් තිබූ අනතුරට අපිට මුහුණ දෙන්නට සිදුවෙනවා නො අනුමානයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *