ජාතික සංහිඳියාවක් පිළිබඳ පිළිවෙතක් හා වැඩපිළිවෙලක් වහා අවශ්‍යය.- ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු

ජාතික සංහිඳියාවක අවශ්‍යතාව පිළිබඳව වර්තමානයේ මෙරට සමාජය තුළ දැඩි අවධානයක් යොමුව ඇති බව බැලූබැල්මට දැකිය හැකිය. එසේම රට මුහුණ පා තිබෙන සමාජ, ආර්ථික මෙන්ම දේශපාලන අභියෝගයන් පිළිබඳව ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශන නිකුත් කරන සෑම නායකයෙකුගේම අභියෝග ලැයිස්තුවල  ”ජාතික සංහිඳියාව” අනිවාර්යයෙන්ම ප‍්‍රමුඛ තැනක් හිමි කොට ගනී. එපමණක් නොව රටේ පැවති තිස් වසරකට වඩා දිගු බිහිසුණු අභ්‍යන්තර යුද්ධය අවසන් කළ රජය බිඳ වැටීමේ ප‍්‍රධාන සාධකයක් වූයේ ද එම රජයට මෙරටටට අත්‍යවශ්‍යව තිබූ ජාතික සංහිඳියාව යළි පිහිටු වීමට නොහැකි වීම බව ද නොදන්නා කිසිවෙක් නොමැත.

පැවති පාලනය මෙරට ජනයාගෙන් බහුතරය විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබ දැන් වසරක් ගත වී ඇත. නිශ්චිත සීමා යටතේ වුව ද පසු ගිය සිව් මසක සිට සමහර තීරණාත්මක දේශපාලන තීරණ ගැනීමේ හැකියාවක් ඇති රජයක් ද බිහි වී ඇත. පෙර නොවූ විරූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන අවකාශයක් ද විවෘතව ඇත. එසේ වුව ද මෙරට සමාජයේ බහුතරය විසින් අපේක්ෂා කරන ලද ජාතික සංහිඳියාවක් මෑත අනාගතයේ දී බිහි කළ හැකි බවට අපට ස්ථිරවම කිව හැකි ද ? දැනට විද්‍යමාන සංඥාවන් විසින් පෙන්වනු ලබන ආකාරයෙන් නම් එබඳු අපේක්ෂාවක් ඇති කොට ගැනීමේ ලකුණු තවම පහළ වී නොමැත යනු මේ ලේකඛයාගේ අදහසයි. එම නිගමනය සාවද්‍යයි කිසිවෙකුහට සප‍්‍රමාණික ලෙස ඒත්තු ගැන් විය හැකි නම් එය ඔහුට මහත් සතුටක් වනු ඇත.

ශ‍්‍රී ලංකාව යටත්විජිතයක්ව පැවති අවධියේ රටේ සියලූ ජනවර්ගයන් එක්ව දේශපාලන නිදහස ලබා ගැනීම සඳහා ව්‍යාපාරයක් ගෙන ගිය නමුදු, එරම සමගිය බිඳවැටීම නිදහස ලැබීමට පෙර සිටම ඇරඹී තිබුණු බව පැහැදිලිය. සෝල්බරි ව්‍යවස්ථාවට ”සුලූ ජාතීන්ගේ” අයිතිවාසිකම් රැුකීම සඳහා වූ 29 වන වගන්තිය ඇතුළත් කිරීමට සිදු වූයේ එබැවිණි. මෙරට ජාතීන් අතර පවත්නා සම්බන්ධතාව එක්තරා ආකාරයකින් දේශපාලනයේ නියුක්ත, විශේෂයෙන්ම දේශීය ධනපතිපංතිය විසින් නිපදවන ලද්දකි. ජාතිය කුමක් වුව ද එය ඔවුන්ට බලයට පැමිණීමේ හා බලයේ රැුඳී  සිටීමේ මෙවලමක් විය. ආරම්භක අවධියේ ජාතික සමගිය හා ජාතීන් අතර සමානාත්මතාව සඳහා දැඩි අරගලයක යෙදී සිටි මෙරට වාමාංශික ව්‍යාපාරය ද කල්යාමේ දී අවස්ථාවාදය නිසා ජාතිවාදී පීලිපැනීම්වලට ගොදුරු වීම මෙරට දේශපාලනයේ යථාර්ථය බවට පත් විය. ඒ වන විට අභ්‍යන්තර යුද්ධයක් බවට පත් පැවති ජාතීන් අතර අරගලය 2009 වර්ෂයේ දී යුදමය වශයෙන් මර්දනය කරනු ලැබ ඇත.. එසේ වුව ද ඉන් පසුව ද ජාතීන් අතර අසමගිය තවමත් පවතී. එපමණක් නොව වරින්වර එය අරගලකාරී තත්වයන් කරා වර්ධනය වීමේ හැකියාව අවසන් වී නොමැත. 2014 වර්ෂයේ අලූත්ගම සිද්ධිය උදාහරණයක් විය.

වර්තමානයේ ජාතික සංහිඳියාවක් බිහි කොට ගැනීම යනු පැවති අසමගිතාව හා සටන්කාමී පරිසරය දුරු කොට යළි සමගිසන්ධානයක් බිහි කොට ගැනීමකි. එබැවින් අද අවශ්‍යව ඇත්තේ යළි සමගි වීමක් හෙවත් ”ප‍්‍රතිසන්ධානයකි.” ජාතීන් අතර පමණක් නොව, පුද්ගලයන් අතර හෝ පවුල් අතර වුව ගැටුම්කාරී තත්වයන් ඇති වූ විට නැවත සමගි වීම සඳහා අත්‍යවශ්‍ය සාධකය වන්නේ ඇති කොට ගත් අවුල් සමනය කොට ගෙන සාමකාමී පරිසරයක් බිහි කොට ගැනීමය. එබඳු තත්වයක් යටතේ පුද්ගලයන් තමන් අතින් සිදු වූ වැරදි පිළිගැනීම, සමාව ඉල්ලීම, සමාව දීම වැනි මුලික අවශ්‍යතා ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. එසේම අදාළ පුද්ගලයන් මෙන්ම සිද්ධීන් පිළිබඳ සත්‍යය සෙවීම ඉතා පරිසම්සමින් සිදු කළ යුතුය. පවත්නා නෛතික තත්වයන්ට එරෙහි වැරදි කිසිවකු විසින් කරනු ලැබ ඇත්නම් වැරදිකරුවන් පිළිබඳව කවර පියවර ගත යුතු වේදැයි දෙපාර්ශ්වයම පළි ගැනීමේ චේතනාවෙන් තොරව සොයා බැලිය යුතුය. මක් නිසාද යත් නෛතික පදනමකින් තොරව සාමකාමී සමාජයක් පවත්වා ගත නොහැකි බැවිනි. අදාළ පාර්ශ්වයන්ට එකිනෙකා කෙරෙහි සැකයක්, අවිශ්වාසයක් ඇති නොවන අන්දමින් මේ කටයුත්ත සිදු කොට ගත හැකි විය යුතුය. මෙය හුදු සිහිනයක් පමණක් නොවන බව ලෝක ඉතිහාසය විසින් ද ඔප්පු කොට ඇති බැවින් ඒ පිළිබඳ පුනපුනා කීම අනවශ්‍යය.

දෙපිරිසක් සතුරු පක්ෂවල සිටිමින් සටනක යෙදී සිටි විට බොහෝ සාවද්‍ය පමණක් නොව අමානුෂික වූද සිදුවීම් වැළැක් විය නොහැකිය. එබඳ අවස්ථාවක දී සිදු වන ජීවිතහානි, ධනහානි මෙන්ම මානුෂිකත්වයට හානිකර ස්ත‍්‍රී ¥ෂණ වැනි හානි සඳහා විපතකට පත්වූවන්ට සාධාරණ වන්දි ලැබිය යුතුය. වන්දියේ ස්වරූපය කෙබඳු විය යුතුද යන්න අදාළ පාර්ශ්න්‍යන් විසින්ම තීරණය කරනු ලැබිය යුතුය. මක් නිසාද යත් ලැබෙන වන්දියටත් වඩා ඇති කොට ගත යුතු සාමය වටිනා බැවිනි. මෙබඳු සොයා බැලීම් කළ යුත්තේ හා අවශ්‍ය පියවර ගත යුත්තේ විදේශ බලවේගවල නිරීක්ෂණය යටතේ ද ඒ කෙබඳු බලවේගවල සහභාගීත්වයෙන්ද වැනි ප‍්‍රශ්න ප‍්‍රධාන ප‍්‍රශ්න කොට ගත යුතු නැත. හැම පාර්ශ්වයකටම විස්වාසය තැබිය හැකි බාහිර බලවේගයක නිරීක්ෂණය ප‍්‍රතික්ෂේප කිරීමේ සාදාරණ හේතුවක් මෙම ලේඛකයා නම් නොදකී.

අද ජාතික ප‍්‍රතිසන්ධානයක් සඳහා අවශ්‍ය මානසික මෙන්ම ප‍්‍රජාතාන්ත‍්‍රික දේශපාලන පරිසරය ද රට තුළ බිහි වී ඇත. අපට දකුණු අප‍්‍රිකාවේ ”උබුන්ටු” දර්ශනය වැනි සංහිඳියා දර්ශනයක් නැතැයි යන ප‍්‍රකාශනයේ කිසියම් සත්‍යයක් ඇතත් එය සම්පූර්ණ සත්‍ය ද නොවන බව කිව යුතුය. මෙරට බහුතර ජනයා සමානාත්මතාව මෙන්ම අවෛරීභාවය ද පෙරදැරි කොට ගත් දර්ශනයකින් සන්නද්ධය. එසේ වුව ද සමහර ඓතිහාසික හා දේශපාලන වුවමනාවන් විසින් එය යටපත් කරනු ලැබ ඇත. එය යළි සොයා ගත යුතුය. එය වහා අපගේ සංහිඳියා දර්ශනය කොට ගත යුතුය.

වර්තමාන රජය යටතේ තරම්  ජාතික සංහිඳියාව අරමුණු කොට ගෙන පිහිටුවනු ලැබ ඇති ආයතන සංඛ්‍යාවක් මින් පෙර නොවූ විරූ බව කිව යුතුය. නම් වශයෙන් දක්වන්නේ නම්:
1. ජනාධිපති ධුරය ජාතික සංහිඳියාව මෙහෙයවන ප‍්‍රධාන ආයතනය සේ කටයුතු කරයි.
2. ජාතික සංවාදයක් සඳහා වූ අමාත්‍යංශයක් කැබිනට් ඇමතිවරයෙකු යටතේ ක‍්‍රයාත්මක වේ.
3. ජාතික සංහිඳියාව සඳහා වූ රාජ්‍ය අමාත්‍යංශයක් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු යටතේ   ක‍්‍රියාත්මකය.
4. නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපනය සඳහා වූ අමාත්‍යංශයක් වෙනම පිහිටුවනු ලැබ ඇත.
5. රජය විසින් නව ව්‍යවස්ථාවක් සම්පාදය සඳහා කටයුතු යොදනු ලැබ ඇති අතර ඒ මගින් හඳුන්වා දෙනු ලබන නව ව්‍යවස්ථාව ජාතික සංහිඳියාවක පදනම වනු ඇත.
5. වර්තමානයේ ක‍්‍ර‍්‍රියාත්මක අධිකරණ, අධ්‍යාපන හා යෞවන කටයුතු පිළිබඳ අමාත්‍යංශ විසින් ජාතික සංහිඳියාවක් සඳහා දීර්ඝකාලීන මෙන්ම කෙටිකාලීන පියවර රාශියක් ගැනීමේ හැකියාව ඇත.
6. හිටපු ජනාධිපතිතුමියගේ නායකත්වය යටතේ පිහිටුවනු ලැබජාතික සංහිඳියාව සඳහා වූ බලවත් ආයතනයක් ක‍්‍රියාත්මක වෙමින් පවතී.
අපගේ නිරීක්ෂණය වන්නේ මෙම සියලූ ආයතන ආවරණය කරන ක‍්‍රියාත්මක වැඩපිළිවෙළක් හා එම ආයතනයන්හි කටයුතු සම්බන්ධීකරණය කරණ යාන්ත‍්‍රණයක් මෙතෙක් සැලසුම් වී නොමැති බවය. එබන්දක් පැවතියේ නම් ජාතික සංහිඳියාව පිළිබඳ රජයේ ප‍්‍රකාශිත අරමුණ සැබවින්ම ක‍්‍රියාත්මක වන බවට ජනතාවට ඒත්තු යා හැකිව තිබිණි.
එබැවින් ජාතික සංහි\ියාව සඳහා වූ ක‍්‍රියාකාරී පිළිවෙතක් සකස් කොට, මූල්‍ය කටයුතු ද ඇතුළත් සම්බන්ධීකරණ ක‍්‍රියාවලියක් වහා අරඹා ක‍්‍රියාවට නගන ලෙස අපි මහත් වුවමනාවෙන් මෙම රජයෙන් ඉල්ලා සිටිමු.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *