වෙළෙඳපොළ ගැන මිත්‍යා – භාණ්ඩ සඟවා මිල වැඩි කරන බවට ප්‍රකාශය බොරුවකි – සී ජේ අමරතුංග
ආර්ථික සංවර්ධනයේ දී ඉතා වැදගත් කාර්යයක් ඉටු කරන වෙළෙඳපොළට එරෙහි මිත්‍යා මත රාශියක් සමාජ ගතව ඇත. ඒවා රටේ සංවර්ධනය උපාය මාර්ග තීරණය කිරීමට බලපෑම් කරයි. එබඳු මිත්‍යා මත පදනම්ව රටක සංවර්ධන ක්‍රියාවලිය සාර්ථක කරගත නොහැකි ය. අත්වන්නේ විනාශයකි. එය මෙරටේත් ලෝකයේත් අත්දැකීම යි.
භාණ්ඩ සඟවා ව්‍යාජ හිගයක් මවා පසුව වැඩි මිලට විකුණන බවට වන අදහස එබඳු මිථ්‍යාවකි. එම මිත්‍යාව විශ්වාස කිරීම නිසා දැනටමත් අප හිරිහැර විඳ ඇත.
මෑත කාලයේ මෙම චෝදනාව එල්ල වුයේ මහා පරිමාණ සහල් මෝල් හිමියන් වෙතට ය. රටේ සහල් හිග වුයේත්, මිල ඉහළ ගියේත් මොවුන් පසුව වැඩි මිලට විකිණීමට සහල් සඟවා තබාගෙන සිටින නිසා බවට චෝදනා එල්ල වී ය.
දැන් එම චෝදනා බොරු වී ඇත. සහල් සඟවා නැති බවත්, රටේ ඇත්ත සහල් හිගයක් ඇති බවත් වෙළෙඳ ඇමති කී ය. පාරිභෝගික සේවා අධිකාරිය කීවේ ද එම කතාව ම ය.
එලෙස සත්‍යය හෙළි වී ඇතත් මිත්‍යාව දුරු වී නැත. සහල් සඟවන බව තවමත් විශ්වාස කරමින් අනාගතයේ එසේ නොවන්නට කියා සැලසුම් ගැන කතා කරති. ඒ සඳහා මහජන මුදල් සහ සම්පත් නාස්ති කරන්නට කැස කවති. මේ මිත්‍යාව ගැන කතා කරන්නට සිදුවන්නේ ඒ නිසා ය.
මුලින් කීවේ විශාල සහල් අතිරික්තයක් රටේ ඇති බව යි. එය ටොන් ලක්ෂ හත අටක් බව ප්‍රකාශ වී ය.
තේරුම් ගත යුතු ප්රශ්නය වන්නේ එබඳු අතිරික්තයක් ඇත්නම් සහල් සඟවා මිල වැඩි කොට විකිණීමේ හැකියාවක් නැති බව යි. සැඟවූ තොග වෙළෙඳපොළට එන මොහොතේ මිල තවත් පහළ යන බව තේරුම් ගැනීමට විශාල ඥානයක් තිබිය යුතු නැත.
සහල් සැඟවූ විට පාරිභෝගිකයා ආදේශක වෙත වැඩියෙන් යොමු වීම, සහ රජය සහල් ආනයනය කිරීම වැනි දේ සිදුවෙයි. එවිට සැඟවූ සහල්වල ප්‍රයෝජනයක් නැත. මේ කන්නයේ අස්වනු ලැබෙන විට එයින් ඇතිවන්නේ පාඩුවක් පමණකි.
භාණ්ඩ මිල වැඩි වන්නේ හිගයක් ඇති වූ විට ය. එබඳු අවස්ථාවක මිල ඉහළ යාම සාමාන්‍ය තත්ත්වය යි. එවිට එම මිල ලබානොදී මිල පාලනයකට ආණ්ඩුව කටයුතු කළහොත්, අතරමැදියා මෙන් ම නිෂ්පාදකයා ද භාණ්ඩ සඟවා එහි ඉහළ මිල ලබා ගැනීමට උත්සාහ දරනු ඇත.
ඒ අනුව භාණ්ඩ සැඟවීම තරගකාරී වෙළෙඳපොළක ලක්ෂණයක් නොව වෙළෙඳපොළ පාලනයට රාජ්‍ය මැදිහත්වීමේ ප්රතිඵලයකි.
රජය මැදිහත් විය යුත්තේ වෙළෙඳපොළ වඩා තරගකාරී කිරීමට ය. සුළු සහ මධ්‍ය පරිමාණ මෝල් හිමියන් සඳහා ඔඩපන ණය ක්‍රමය 2023 දී හඳුන්වා දෙන ලද්දේ ඒ සඳහා ය. වී මිල දී ගැනීමට ඔවුන් ද ඉදිරිපත් වූ විට වී මිල පහළ වැටීම වැළකෙයි. මෙම රජය ද එලෙස එම ණය ක්‍රමය ක්‍රියාත්මක කරන බව නිවේදනය කොට ඇත. මෝල් හිමියකුට මිලියන 50 ක උපරිම ණය මුදලක් ලබාදෙන්නේ සියයට 7 ක පොලියකට ය. එය වී මිල පවත්වාගැනීමේ සාර්ථක ක්රමයකි.
වී තොග වෙළෙඳපොළ වෙත ඉදිරිපත් වන්නේ කන්න අවසානයේ දී ය. වසරේ අවස්ථා දෙකක දී ය. මෝල් හිමියන්ට චෝදනා කරන්නේ එම වී මිලට ගෙන ගබඩා කොට පසුව වැඩි මිලට විකුණන බවට ය. චෝදනාව ඉදිරිපත් කරන්නේ එය අපරාධයක් ලෙස සලකමින් ය.
නමුත් වෙළෙඳපොළට වී තොග ලැබෙන විට විශාල ලෙස මිල දී ගන්නට මෝල් හිමියන් ඉදිරිපත් නොවුණොත් මිල තවත් පහළ යනවා නොවේද? වසර පුරා සහල් සැපයුම ස්ථාවර ලෙස පවත්වගෙන යන්නේ එම ආකාරයෙනි. ඇත්ත වශයෙන් ම එය සමාජයීය අවශ්‍යතාවක් ඉටු කිරීමකි.
මෙම කරුණු තේරුම් නොගෙන මිත්‍යා විශ්වාස මත පිහිටා ආර්ථික සංවර්ධන උපාය මාර්ග ක්‍රියාත්මක කිරීමෙන් රටේ සංවර්ධනය සිදුවන්නේ නැත. සිදුවන්නේ සම්පත් විනාශයකි. එමෙන් ම නිෂ්පාදනය ද බිඳ වැටෙන්නට ඉඩ ඇත.
රට යලිත් විනාශයකට ගොදුරු වීම වැළකීම සඳහා මෙබඳු මිත්‍යා මත පරාජය කළ යුතුව ඇත.
මෙම මිත්‍යා කරපින්නාගත් කිසිවකුට රටේ ආර්ථික පුනරුදයක් ඇතිකළ නොහැකි ය.
