|

රනිල්ට අධිආරක්ෂක ලණුව දුන්නේ ටිරාන් සහ කමල් ද ?

 

සාමාන්‍යයෙන් පාලකයින්ගේ වගකීම් අවධාරණය කොට මතක් කර දෙන්නේ විපක්ෂය යි , නැතහොත් සිවිල් සමාජ ව්‍යාපාර හෝ මහජන ව්‍යාපාර හෝ විසිනුයි. එවැන්නක් රාජ්‍ය නායකයා කරන විට එහි විශේෂත්වයක් පෙන්නුම් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය නිමිත්තෙන් නිකුත් කළ නිවේදනයේ තිබුණේ එබඳු කතාවකි. ළමා සහ වැඩිහිටි දිනය යෙදී තිබු ඔක්තෝබර් පළමුවැනි දා නිකුත් කළ නිවේදනයෙන් ජනාධිපතිතුමා කීවේ ළමයින්ට පෝෂණය සැපයීමත්, වැඩි හිටියන් සෙනෙහසින් රැක බලා ගැනීමත්, රාජ්‍ය නායකයාගේ වගකීම වන බව යි. රාජ්‍ය නායකයා එසේ කී විට විපක්ෂයට කියන්නට දෙයක් ඉතිරි වන්නේ නැත.

ජපානයේ සහ පිලිපීනයේ සිට ජනාධිපතිතුමා මෙරටට පැමිණියේ පසුගිය 30 දා ය. විදෙස් සංචාරයේ දී ජපානයේ, පිලිපීනයේ ,ඉන්දියාවේ සහ සිගප්පුරුවේ රාජ්‍ය නායකයින් හමු වූ ජනාධිපතිතුමා අප රට මුහුණ දී ඇති අරබුදයේ දී එම රටවලින් ලබාගත හැකි සහය පිළිබඳව සාකච්ඡා කළේය.

රනිල් ඉල්ලන් කෑ මඩ

ශ්‍රී ලංකාවට පැමිණි වහා ම ජනාධිපතිතුමාට කරන්නට තිබු හදිසි කටයුත්තක් වුයේ ආණ්ඩුව ඉල්ලන් කෑ මඩකින් ගොඩ යාම යි. එම මඩ පහර නම් කොළඹ නගරයේ අධි ආරක්‍ෂිත කලාප ප්‍රකාශයට පත් කරමින් නිකුත් කොට තිබු ගැසට් පත්‍රය නිසා ඇති වූ විරෝධය යි. එය ශ්‍රේෂ්ඨාකරණය හමුවේ අභියෝගයට ලක්වීම ද ඒ වනවිටත් සිදු ව තිබිණි.

දැන් හෙළිදරව් වී ඇති ආකාරයට, අධි ආරක්‍ෂිත කලාප ප්‍රකාශයට පත් කළ ගැසට් නිවේදනය ජනාධිපතිතුමාගේ අත්සන සඳහා ඒවා ඇත්තේ මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් සහ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කමල් ගුණරත්න මහත්වරුන් විසිනි. එයට නීතිපතිගේ උපදෙස් ලබාගෙන නොතිබූ බව ඒ වනවිට ජනාධිපතිතුමා දැන සිටියේ නැත. ඒ සියල්ල හෙළි වුයේ ආරක්ෂක ඇමති ලෙස ජනාධිපතිතුමා එම ගැසට් නිවේදනය අත්සන් කොට ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව ය.  ගැසට් පත්‍රය අවලංගු කොට තවත් ගැසට් පත්‍රයක් නිකුත් කරන්නට සිදුවුයේ ඒ නිසා ය.

නායකයා කවුද?

ජපානයේ සහ පිලිපීනයේ තමා කළ සංචාරයේ දී ලැබුණු අත්දැකීමක් රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුවේ තම හිතවතුන් සමග ප්‍රකාශ කොට තිබිණි. එම විශේෂ කරුණ නම් ශ්‍රී ලංකාවේ ඇත්තටම සිදුවුයේ කුමක්දැයි දැන ගැනීමට ඔවුන්ට තිබු කුතුහලය යි. ජනාධිපතිතුමාට ජපානයේ දී හමු වූ සිංගප්පුරු අගමැති ලී හයින් ලුයින් මහතා රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඇසුවේ “ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉවත් කිරීමට කළ අරගලයට නායකත්වය දුන්නේ කවුද ? “ යනුවෙනි.

එයට කෙටි පිළිතුරක් නොදුන් රනිල් වික්‍රමසිංහ මහතා අරගලය ආරම්භ වුයේ ස්වයංසිද්ධ ජනතා නැගිටීමක් වශයෙන් බවත්, එය නිර්පාක්ෂික සාමකාමී අරගලයක් වූ බවත්, කී ය. කෙසේ වෙතත්, එම අරගලයට මැයි 9 දා එල්ල වූ ප්‍රහාරයත් සමග එම සටන තුළ ක්‍රියාත්මකව සිටි විවිධ කණ්ඩායම් එය ප්‍රචණ්ඩත්වයට ගෙන ගිය බව මෙන් ම ගෝඨාභය ජනාධිපතිතුමා ඉවත්වීමෙන් පසු සාමකාමී ජනයා අරගලයෙන් ඉවත් වූ ආකාරය ද වික්‍රමසිංහ මහතා පැහැදිලි කළේය.

රටක තිබිය යුතු දේ මෙන් ම නොතිබිය යුතු දේ ද ඇති බව සිංගප්පුරු අගමැතිවරයා එහි දී කී විට වික්‍රමසිංහ මහතා කීවේ ‘ ඒ ගැන මම ලී කුවාන් යු මහතාගේ පොතෙන් කියවා තිබෙනවා “ යනුවෙනි.

පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් එෆ් මාකෝස් මහතාට මෙන් ම , වෙනත් රාජ්‍ය තාන්ත්‍රිකයන්ට ද මෙලෙස ම නිර්පාක්ෂික අරගලය ගැන කියන්නට රනිල් වික්‍රමසිංහ මහතාට සිදුවීය. ඔවුන්ට පිටතින් පෙනී තිබුණු චිත්‍රය නම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉවත් කරන්නට අරගලයක් සිදුවීම සහ ප්‍රතිඵලය ලෙස රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත්වීම යි. වික්‍රමසිංහ මහතා බලයට පත්වීමත් සමග අරගලය අවසන් වීම ද , එම නායකයන්ගේ කුතුහලයට හේතු වුවා විය හැකි ය.

දමිතා සජබට

අරගලයේ කැපී පෙනුණු චරිතයක් බවට පත්ව සිටි රංගන ශිල්පීනී දමිතා අබේරත්න මහත්මිය ද, පසුගිය දිනවල පුවත් මවන්නියක් බවට පත්ව සිටියා ය. ඒ ඇය මැතිවරණ දේශපාලනයට පැමිණෙන බවට ඉඟි පළකිරීමත් සමග ය.

දමිතා අබේරත්න මහත්මිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ගුණ කියන්නට පටන් ගැනීමත් සමග ඇගේ තෝරා ගැනීම පැහැදිලි වන්නට වී ය. ඇය කීවේ සජිත් ප්‍රේමදාස යනු පසුගිය කාලයේ තමන්ගෙන් වැඩියෙන් ම බැනුම් ඇසු නායකයා බව යි. දේශපාලනයේ රික්තයක් ඇති වූ මොහොතේ වගකීම භාරගන්නා ලෙස තමන් ඇතුළු අරගලකරුවන් කළ ඉල්ලීම සජිත් ප්‍රතික්ෂේප කිරීම එම දැඩි විවේචනයට හේතු වී තිබිණි.

කෙසේ වෙතත්, අත් අඩංගුවේ සිටි තමා බලන්නට පැමිණීමත්, නීතිඥ සහය ලබාදීමත් නිසා ඔහු ගුණවත් නායකයකු බවට හඳුනාගත් බවත්, ඔහු රටේ වගකීම් භාර නොගත්තේ හොරුන් සමග ආණ්ඩු කරන්නට නොහැකි නිසා බව ඔහු හා කතා කිරීමෙන් පසු තේරුම් ගත බවත්, දමිතා මාධ්‍යයට ප්‍රකාශ කළේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවකට ද දමිතා අබේරත්න මහත්මිය ගොඩ වී සිටිනු දකින්නට ලැබිණි.

දමිතා සහ ‘සිස්ටම් චේන්ජ්’

අරගලයේ සිටි වෙනත් කණ්ඩායම් දමිතාගේ මෙම ක්‍රියාව විවේචනය කරනු දකින්නට ලැබිණි. ඔවුන්ගේ එක් විවේචනයක් වුයේ නළු නිලියන් වීම, ක්‍රීඩකයන් වීම, දේශපාලනයට සුදුසුකමක් වීම ‘සිස්ටම් චේන්ජ්’ එකක් නොව මෙතෙක් පැවති ක්‍රමය ම වන බව යි.  දේශපාලන දැනුමකින් තොරව පැමිණෙන මෙවැන්නන්ගෙන්  රටට සිදු වූ සෙතක් නැති බව යි.

පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව ලෙස හඳුන්වනු ලබන රාජ්‍ය ව්‍යවසාය කාරක සභාව සහ කෝපා ලෙස හඳුන්වනු ලබන රාජ්‍ය ගිණුම් කාරක සභාව යන කමිටු දෙකට සාමාජිකයින් පත්කිරීම කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පසුගිය සඳුදා සිදුකරනු ලැබීය. එක් එක් පක්ෂයකින් ලබාදුන් නාම යෝජනා අතරින් එම පත්කිරීම් සිදුකරනු ලැබුව ද,  කතානායකවරයා එම නම් නිවේදනය කිරීමත් සමග මතු වුයේ බරපතළ විවාදයකි. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එම කමිටු දෙකේ සභාපති තනතුරු විපක්ෂයට දෙන ලෙස ඉල්ලා සිටියේ කථානායකතුමා ජුනි 7 වැනිදා කළ ප්‍රකාශයක් උපුටා දක්වමිනි. කතානායක තුමාගේ ස්ථාවරය වුයේ තමා කටයුතු කරන්නේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව බව යි. කිරිඇල්ල මහතා ඉල්ලා සිටියේ ස්ථාවර නියෝග අත්හිටුවා එම සභාපති තනතුරු විපක්ෂයට දෙන ලෙස යි.

මෙලෙස තනතුරු බෙදා ගත යුතු බව එවකට අගමැතිව සිටි වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද ප්‍රකාශ කොට තිබිණි. ඒ සර්ව පාක්ෂික ආණ්ඩුවක් සහ මුළු පාර්ලිමේන්තුව ම ආණ්ඩුකරණයට සම්බන්ධ කර ගැනීමේ රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පය අනුව ය. කෙසේ වෙතත්, සර්ව පාක්ෂික ආණ්ඩුවට සම්බන්ධ වීම දිගින් දිගට ම ප්‍රතික්ෂේප කළ සමගි ජන බලවේගය කමිටු සභාපති තනතුරු පමණක් ඉල්ලා සිටියේ ය.

කෝප් කමිටුවේ හිටපු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා මෙවර එම කමිටුවට පත්කර නොතිබීම ද, දැඩි විවේචනයට ලක් වූ කාරණයකි. ඒ මහතා ඇතුළත්වන නිදහස ජාතික සභාවේ මන්ත්‍රීවරුන් දහතුන් දෙනා මේ වනවිට පාර්ලිමේන්තුවේ සිටින්නේ ආණ්ඩු පක්ෂයේ හෝ විපක්ෂයේ හෝ නැති පිරිසක් වශයෙනි. ඔවුන්ට පාර්ලිමේන්තුවේ කතා කිරීමට කාලය වෙන්කර දීමේ ප්‍රශ්නය පසුගිය දා විසඳා ගත්තේ පක්ෂ නායක රැස්වීමේ ඇති කරගත් එකඟත්වයක් අනුව ය. මහාචාර්ය චරිත හේරත් මහතා කෝප් කමිටුවට පත් නොවන්නේ ද ආණ්ඩු පක්ෂයෙන් එම නම ඉදිරිපත් නොකිරීම නිසා ය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අඟහරුවාදා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් ඉල්ලා සිටියේ ආචාර්ය ර්හෂ ද සිල්වා මහතා කමිටුවෙන් ඉල්ලා අස්වන බව සහ ඒ වෙනුවෙන් මහාචාර්ය චරිත හේරත් මහතා පත්කරන ලෙස යි.

රනිල්, පොහොට්ටු ගැටුම

ජනාධිපතිතුමා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර මතභේද ගැන වාර්තා වන්නේ කැබිනට් මණ්ඩලයට එම පක්ෂය යෝජනා කළ උදවිය පත් කිරීමට ජනාධිපතිතුමා උනන්දු නොවීම හේතුවෙනි. සඳුදාට එම පත්වීම් නොකළ හොත් බ්‍රහස්පතින්දා සහ සිකුරාදා විවාදයට ගෙන සම්මත කිරීමට නියමිත 22 සංශෝධනයට ඡන්දය නොදෙන බවට පොදුජන පෙරමුණ තර්ජනයක් කර තිබු බව ද වාර්තා වීය. සඳුදා සවස පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමේ දී මෙම ප්‍රශ්නය ගැන විවාදයක් ඇතිවීය.

එස් බී දිසානායක, සාගර කාරියවසම්, සරත් වීරසේකර ඇතුළු කණ්ඩායමක් ආණ්ඩු පක්ෂ රැස්වීමේ දී ඉල්ලා සිටියේ 22 සංශෝධනය ඉදිරිපත් නොකරන ලෙස යි. එයට ඡන්දය නොදෙන බව ද, එම කණ්ඩායම ප්‍රකශ කොට තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ උත්සාහය 22 ට ඉඩ නොදී ජනාධිපති රනිල් සමග කේවල් කිරීම බව පෙනුනත්, 22 සම්මත නොකළොත් සිදුවන්නේ රනිල්ගේ විධායක බලය වඩාත් තහවුරු වීම බව ද, තේරුම් ගත යුතුව තිබිණි..

කෙසේ වෙතත්, සඳුදා ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේ දී රනිල් වික්‍රමසිංහ මහතා කීවේ බ්‍රහස්පතින්දා තමා පාර්ලිමේන්තුවට රටේ ආර්ථිකය ගැන විශේෂ ප්‍රකාශයක් කරන බව යි.  22 සංශෝධනය සම්බන්ධයෙන් ගන්නා පියවර ගැන රනිල්  කිසිවක් කීවේ නැත.

මේ අතර ආරංචි පැතිර ගියේ ආණ්ඩුව 22 වැනි සංශෝධනයට බරපතළ සංශෝධන ගෙනෙන්නට යන බවට සහ එය ඉදිරිපත් නොකරන්නට ඉඩ ඇති බවට යි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වී නිදහස ජාතික සභාව ලෙස පෙනී සිටින කණ්ඩායමේ මන්ත්‍රීවරයකු වන මහාචාර්ය චන්න ජයසුමන මහතා අනුරාධපුරයේ අඟහරුවාදා පැවති රැස්වීමක දී ප්‍රකාශ කළේ 22 සංශෝධනයට අධිකරණයෙන් දුන් සංශෝධන හැරුණු විට වෙනත් සංශෝධන ගෙන එන්නට හැදුවොත් එය පරාජය කරන බව යි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමෙන්තුවේ දී අඟහරුවාදා ප්‍රශ්න කළේ ආණ්ඩුවේ 22 සංශෝධනය ඉදිරිපත් කරන්නේ ද යනුවෙනි.  ආණ්ඩුව තම සංශෝධනය ඉදිරිපත් නොකරන්නේ නම් විපක්ෂයෙන් ඉදිරිපත් කළ 21 සංශෝධනය ඉදිරිපත් කරන ලෙස ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේය.

22 ගැන කතා

22 වැනි සංශෝධනය පිලිබඳ ප්‍රශ්නය බදාදා පැවති මාධ්‍ය හමු කිහිපයකම ප්‍රධාන කාරණයක් ලෙස ප්‍රකාශ වී ය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා කීවේ මෙය 19 වැනි සංශෝධනය නැවත ගෙන ඒමක් බව යි. එයට සහය දීමට පක්ෂයේ බහුතරය විරුද්ධ බව කී ඒ මහතා වැඩි දුරටත් කීවේ ජනාධිපති ධුරය අහෝසි කරන්නේ නම් නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීමක් සමග එය සිදුවිය යුතු බව යි.

නිදහස ජාතික සභාව වෙනුවෙන් මාධ්‍ය සාකච්ඡාවකට එක් වූ ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා කීවේ 19 සංශෝධනයට විරුද්ධ බව කියන පොදුජන පෙරමුණ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය සම්බන්ධයෙන් ඉල්ලන්නේ 19 සංශෝධනයේ තිබු තත්ත්වය බව යි. වසර හතර හමාරක් යන තුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකි බව තිබුණේ 19 සංශෝධනයේ බවත්, එය 20 සංශෝධනයේ නොතිබූ බවත් කී ඩිලාන් පෙරේරා මහතා කීවේ පොහොට්ටුවේ කණ්ඩායම දැන් ඉල්ලන්නේ 20 සශෝධනයේ තිබු තත්ත්වය නොව 19 සංශෝධනයේ තිබු තත්ත්වය බව යි.

සමගි ජන බලවේගය ද මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් 22 සංශෝධනය ගැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදරිපත් කරන නව සංශෝධන දෙකක් ගැන හෙළි කළේය. අශෝක් අබේසිංහ මන්ත්‍රීවරයා කීවේ වසරේ දෙක හමාරකින් පාර්ලිමේන්තුව විසුරුවීමට ජනාධිපතිට බලය ලැබෙන වගන්තිය සහ ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට පත්වීමට ඉඩ නොලැබෙන වගන්තිය සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ උත්සහ දරන බව යි.සජබ ස්ථාවරය වුයේ එයට ඉඩදිය නොහැකි බව යි.

උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා ද මාධ්‍ය අමතා ප්‍රකාශ කළේ ශ්‍රේෂ්ඨාධිකරණය අනුමත කළ සංශෝධන හැරුණු විට වෙනත් කිසිදු සංශෝධනයකට තමන්ගේ සහය නොලැබෙන බව යි.

විපක්ෂය කරන දේ හොයන්න රනිල්ගෙන් උපදෙස්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාට බදාදා උපදෙස් දුන්නේ 22 වැනි සංශෝධනය ගැන විපක්ෂයේ කණ්ඩායම්වල ස්ථාවරය පැහැදිලි කරගන්නා ලෙස යි. ඔවුන්ගේ අදහස් වරින් වර වෙනස්වන බව නිරීක්ෂණය කිරීම මෙම තීරණයට හේතුව බව ජනාධිපති කාර්යාලය කියයි.

මේ සියල්ලෙන් පෙන්නුම් කළේ නව ආණ්ඩුක්‍රම සංශෝධනය පිලිබඳ පාර්ලිමේන්තු විවාදය උණුසුම් මුහුණුවරක් ගනු ඇති බව යි.

මේ අතර සමගි ජන බලවේගය දිගින් දිගට කළ ඉල්ලීමක් බදාදා ඉටුවිය එයනම් කෝපා කමිටුවේ සභාපති ධුරය එම පක්ෂයට හිමිවීම යි. සමගි ජන බලවේගයේ කබීර් හෂීම් මන්ත්‍රීවරයා කෝප් සභාපති ලෙස පත්වුයේ නිතරගයෙනි. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා කීවේ ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ උපදෙස් මත එම තනතුර සජබ මන්ත්‍රීවරයාට ලබාදුන් බව යි.

අනෙක් වැදගත් කමිටුව වන කෝප් කමිටුවේ සභාපති පත්කර ගැනීම බ්‍රහස්පතින්දාට යෙදී තිබිණි.

මේ අතර බදාදා දිනයේ පාර්ලිමේන්තුවේ සිදු වූ තවත් වැදගත් සිදුවීමක් වුයේ යහපාලන සමයේ තිබු අධීක්ෂණ කාරක සභා ක්‍රමය යලි ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම යි. ඒ අනුව විවිධ අමාත්‍යංශ සඳහා අධීක්ෂණ කාරක සභා 19 ක් පත් කිරීමට නියමිතය. මෙවර එයට එක්කොට ඇති තවත් විධිවිධනයකට අනුව සෑම කමිටුවකටම වයස 18 සහ 35 අතර තරුණයින් පස්දෙනා බැගින් පිටතින් පත්කර ගැනීමට නියමිත ය. මෙය පසුගිය කාලයේ පැවති ජන අරගලයේ ප්‍රතිඵලයකි.

රටේ ආර්ථිකය ගැන ජනාධිපතිතුමා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබීම, මහ බැංකුවේ මාසික ආර්ථික විවරණය සහ ප්‍රතිපත්ති පොලී අනුපාත ගැන තීරණය ප්‍රකාශ කිරීම, මෙන් ම ව්‍යවස්ථා සංශෝධනය ගැන පාර්ලිමේන්තුවේ විවාදය ආදිය නිසා සතියේ අග දින කිහිපය වඩා උණුසුම් වන ලකුණු පෙනෙන්නට තිබිණි.

සී ජේ

දේශපාලන සතිය – අනිද්දා – 09.10.2022

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *