ධර්මානුශාසනා අප දන්නා තරමට
මල්වතු පාර්ශවයේ අනුනායක වෙඬරුවේ උපාලි හිමි ගේ ප්‍රකාශයේ ආන්දෝලනය තවමත් සමාජයෙන් මැකී ගොස් නැත. තමන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් උන්වහන්සේ කියා ඇත්තේ; තමා කළ ප්‍රකාශයේ සංක්ෂිප්තය වනුයේ ගෝඨාභය රාජපක්ෂ මහතා හිට්ලර් කෙනෙක් ලෙස හඳුන්වා ඇති බවත් එසේ හෝ රට සංවර්ධනය කරන්න යන්න මතක්කරන බවත්ය.
උන්වහන්සේගේ නිවේදනයේ නැවතත් තැනක මෙසේ සඳහන් වේ; “මෙහිදී විශේෂයෙන් සලකා බැලිය යුත්තේ මෙම ධර්ම දේශනයට අරමුණු කරගත් පිරිසය. බුදුන්වහන්සේ කාලාමයන්ට ගැලපෙනසේ කාලම සූත්‍රය දේශනා කළා සේ ද, කසීභාරද්වාජට ගැලපෙන සේ කසීභාරද්වාජ සූත්‍රය දේශනා කළා සේ ද ගොවියන් පිරිසක් සිටි තැන ඔවුන්ට ගැලපෙන සේත් ළමයින් පිරිසක් සිටින තැනක ඔවුන්ට ගැලපෙන් සේත් කරුණු පැහැදිලි කළ යුතුය. මෙහි දී දේශපාලන නායකයන් පිරිසක් සිටි තැන මා ඔවුන්ට ගැලපෙන දහමක් දේශනා කළා විනා පක්ෂග්රාහි දේශපාලනයක් කතා නොකළ බව ද සඳහන් කළ යුතුය. මිලිටරි පාලනය හමුදා පාලනය හිට්ලර් යන වචන වලින් ඍජු ප්‍රතිපත්ති මත සිට රාජ්‍ය පාලනයක් සිදු කළ යුතුය යන්න පැහැදිලි කළ අතර ඍජු ප්‍රතිපත්ති ඇතිකර ගැනීම යනු දසරාජ ධර්මයන් ගෙන් එක් කරුණකි. එසේම උජුපටිපන්න වීම යනු සඟ ගුණයකි.”
දේශපාලකයන්ට අනුශසනා කිරීම භික්ෂුන්වහන්සේ ගේ කාර්යභාරයක් බව ද වෙඬරුවේ උපාලි හිමි සිය ප්‍රකාශයේ සඳහන් කරති.
දේශපාලකයන්ට පමණක් නොව අනෙකුත් සියලු ජනයාටම අනුශාසනා කිරීම භික්ෂුවගේ කාර්යභාරය බවට විවාදයක් නැත. එහි දී භික්ෂුව ඒ සියල්ලන්ටම අනුශානසා කළ යුත්තේ අර්ථයෙනි ධර්මයෙනි.
වෙඬරුවේ උපාලි හිමි ගෝඨාභය රාජපක්ෂ අරබයා කළ අනුශාසනාව අර්ථයෙන් ධර්මයෙන් කළ එකක්ද යන්න මෙහි දී සිමසා බැලිය යුතුය.
නිදසුනක් වශයෙන් “ගෝඨාභය රාජපක්ෂ මහතා හිට්ලර් කෙනෙක් ලෙස හඳුන්වා ඇති බවත් එසේ හෝ රට සංවර්ධනය කරන්නැයි මතක් කළ බවත් උන්වහන්සේ කියති.
අපට වැටහෙන ආකාරයට උන්වහන්සේ ගෝඨාභය රාජපක්ෂ මහතාට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළේ නම් මුලින්ම කළ යුතුව තිබුණේ හිට්ලර් කෙනකු ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා හඳුන්වා දීමට බල පෑ හේතු කාරණා ඔහුට පැහැදිලි කර දීමය.
ගොඨාභය රාජපක්ෂ මහතා හිට්ලර් කෙනෙක් ලෙස හැඳින්වූයේ නිකම්ම නොවේ. ඔහු; කටුනායක වෙඩිතැබීම, රතුපස්වල වෙඩිතැබීම, මීගමුවේ වෙඩිතැබීම පිටුපස සිටි පුද්ගලයා වීම නිසා ය. ඔහු ජනාධිපතිවරයාට පමණක් දෙවැනිව නැතහොත් ජනාධිපතිවරයා පවා ඉක්මවා යමින් කටයුතු කළ සමයේ මෙරට හමුදාවේ ඇතැම් කොටස් තරුණයන් පැහැරගෙන ගොස් කප්පම් ඉල්ලා ඝාතනය කර මුහුදේ ගිල්ල වූ බැවිනි. සුදු වෑන් රටපුරා යවමින් මිනිසුන් පැහැරගෙන ගිය බැවිනි. මාධ්‍යවේදීන් ඝාතනය කළ බැවිනි. තාජුදීන් ඝාතනය සිදුවූයේ ඔහු බලය හෙබවූ කාලයේ බැවිනි. එකී සිදුවීම් කිසිවක් පිළිබඳ ඔහුට බලයක් පැවති කාලයේ පණ ඇති, නිවැරැදි අවංක පරීක්ෂණයක් සිදු නොවූ බැවිනි. එපමණක් නොව ඔහු බලය භාවිතයේ යොදවමින් සිටි කාලයේ මාධ්‍යවේදිනියකට බැල්ලි කියා බැණ වැදුණු බැවිනි. තවත් අවශ්‍ය නම් වෙඬරුවේ හිමිට ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතන සිද්ධියේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා ගල්කිස්ස උසාවියට පැමිණි ආකාරය ගැන නොදන්නේ නම් සොයාබලා අවබෝධ කරගත හැකිය.
ඒ සියල්ල ගෝඨාභය රාජපක්ෂ මහතාට කියා වටහා දී ඔබ හිට්ලර් වූයේ මෙකී කරුණු හේතුවෙන් ය. ඉදිරියේ දී හෝ එකී වැරදි සිදු නොවන්නට වගබලා ගත යුතුය යනුවෙන් පෙන්වා දුන්නේ නම්, ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ උපන්දින දානයේ දී වචනයේ පරිසමාප්ත ආකාරයෙන් ධර්මානුශාසනාවක් කළ හිමිනමක් වශයෙන් වෙඬරුවේ උපාලි හිමියන් මෙරට ඉතිහාසයේ ලියැවෙන්නට තිබුණි.
අප දන්නා තරමින් මාදුළුවාවේ සෝභිත හිමි ඇතුළු අතේ ඇඟිලි සංඛ්‍යාවකටත් අඩු භික්ෂූන් වහන්සේලා පිරිසක් හැරුණු කොට ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවරුන්ගේ වැරදි විවේචනය කිරීමක් වැරදි පෙන්වාදීමක් මෙතෙක් කැර නැත. ඒ වෙනුවෙන් භික්ෂුන් බහුතරය කර ඇත්තේ දානමාන හෝ වෙනත් වාසි තකා රාජපක්ෂවරුන්ගේ බලයට යටත්ව වැඩ වසන නිසා හෝ මූනිච්ඡාවට ඔවුන්ගේ ගුණ වැයීම පමණි. උපන්දින දානයේදීත් වෙඬරුවේ උපාලි හිමි කී, ‘හිට්ලර් වී හෝ රට හදන්න’ යන කියුම බඩකට පුරා සප්පායම් වී කළ කතාවක් මිස ධර්මානුශාසනාවක් නොවේය කියා යම් අයකුට සිතෙන්නේ නම් එය උපාලි හිමි ගේ අභද්‍ර වචනයේ වරද මිස හුදී ජනයා ගේ වරදක් නොවේ. හිට්ලර් වන්න එපා කියනු වෙනුවට උපාලි හිමි කීවේ එසේ වුවත් කම් නැත කියාය. ඒ අනුව ගත්කල ‘කන්න දෙනව නම්, අපට බොන්න දෙනව නම්, මොන කෙංගෙඩිය ද තව ඕන කියන්නේ?’ යන ගීතයත් හොඳ අනුශාසනාවක් ලෙස ගත හැකි වනු ඇත.
බුදුන් වහන්සේ කාලාමයන්ට කලාම සූත්‍රයත්, කසීභාරද්වාජට කසීභාරද්වාජ සූත්‍රයත් දේශනා කළා සේ තමාත් දේශපාලකයන් සිටි තැනක දේශපාලකයන්ට ගැලපෙන අනුශාසනාවක් කළ බව ද වෙඬරුවේ උපාලි හිමියෝ කියා තිබුණි.
එසේ නම් උන්වහන්සේ රාජපක්ෂවරුන්ට කියා ඇත්තේ පෙරකළ හැටියට ම ඉස්සරහට බලය ලැබුණහොත් එවිටත් කරගෙන යන්නටය කියාය.
උන්වහන්සේ කියන දේශපාලක පිරිස රාජපක්ෂවරුන්ය. බුදුන්වහන්සේ කාලාමයනට ගැලපෙනසේ කාලම සූත්‍රය දේශනා කළ අයුරින් වෙඬරුවේ උපාලි හිමි රාජපක්ෂවරුන්ට ගැලපෙන බණක් කියුවේ නම් උන්වහන්සේ කියනු ඇත්තේ හිට්ලර් වන්නට කියා ද? නැත!
රාජපක්ෂවරුනට ගැලපෙන බණක් කීමට උන්වහන්සේට සිතුණේ නම් උන්වහන්සේ මහින්ද රාජපක්ෂට කියනු ඇත්තේ; මින් ඉදිරියටවත් මත්තල ගුවන්තොටුපල, හම්බන්තොට වරාය, සූරියවැව ක්‍රීඩාංගනය, හම්බන්තොට සම්මන්ත්රණ ශාලව, යාපනේ ජනාධිපති මැදුර වැනි වැඩකට නැති ව්‍යපෘතිවලට ගිනි පොලියට ණය ගන්නට එපා කියාය.
දෙවනුව බැසිල් රාජපක්ෂට කියනු ඇත්තේ මල්වානේ ඉඩම, වැනි අයිතිකරුවන් නැති ඉඩම් ප්‍රශ්න මතුවටත් ඇතිකර ගන්නට එපා කියාය. ඊළගට දිවිනැගුම පණත වැනි පණත් මින්පසු ගෙනෙන්නට එපා කියාය. අග්රවින්ශ්චය කාරයන් ගෙදර යවන්නට කටයුතු කරන්නට එපා කියාය. දිවිනැගුම වැනි පොදු අරමුදල් අයියාගේ ඡන්ද වැඩට යොදාගන්නට එපා කියාය.
නාමල් රාජපක්ෂට ද අවම වශයෙන් දළදා මාලිගාව අසල රේස් පදින්නට එපා කියාවත් අනුශාසනා කරන්නට උන්වහන්සේට සිදුවනු නොඅනුමානය. තවත් අවශ්‍යනම් තාජුදීන් ඝාතනය වුව මතක්කර දෙන්නට උන්වහන්සේට ඉඩ තිබුණි. එවිට ශිරන්ති රාජපක්ෂ මහත්මියට ද සිරිලිය සවියේ වාහනයක් දරුවන්ගේ නොමනා ක්‍රියා සඳහා යොදාගන්නට ඉඩ දීමේ වරද අවබෝධ වන්නට ඉඩ තිබුණු බැවිනි.
එසේ නොකොට ‘හිට්ලර් වුණත් මොකෝ’ කියා අනුශාසනා කොට දැන් පුවත්පත් නිවේදන නිකුත් කරමින් ගිය නුවණ ජනමාධ්‍ය හරහා අදින්නට උත්සාහකරන උක්නහන්සේ දුටු විට ජනතාවට සිහිවන්නේ, කාලාම සූත්‍රය හෝ කසිභාරද්වාජ සූත්‍රය නොව ගලේ පැහැරූ පළලා ගේ කතාවය.
( හිමි නමක විසිනි)
