කුණු ආවේ නිකන් නොවේ – අනුර සූරිය බණ්ඩාර
බ්‍රිතාන්‍යයෙන් කොළඹට පැමිණි කුණු තොගය පිළිබඳ ප්‍රශ්නයට මේ වන විට සති තුනකට ආසන්න කාලයක් ගත වී තිබේ. ඒ සම්බන්ධයෙන් කුණු ගෙන්වීමට සම්බන්ධ සමාගම ද රේගුව ද පරිසර බලධාරින් ද මුදල් අමාත්‍යාංශය ද විවිධ මත ප්‍රකාශ කරනු ලැබුවද කුණු ගෙන්වීමේ සිද්ධියට වගකිව යුතු පාර්ශ්වයන් මේ වන තුරුත් නියත වශයෙන් රටට හෙළිකර හෝ එසේ කුණු ගෙන්වු තැනැතැතන්ට විරුද්ධව ගනු ලබන නීතිමය ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන් පැහැදිලිතාවක් හෝ ඇත්තේ නැත.
කුණු ගෙන්වීමේ පුවත හරහා මෙරට ජනතාවට අවබෝධ වන පැහැදිලි සත්‍ය වන්නේ ශ්‍රී ලංකාව යනු ඕනෑම අයකුට ඕනෑම දෙයක් කරන්නට හැකි තරමට දියාරු පරිපාලනයකින් යුතු රටක් බවයි. විදේශිකයන් පවා මත්ද්‍රව්‍ය ජවාරම් පොළක් වශයෙන් මෙරට භාවිතයට ගනිති. කේරළ ගංජා හෙවත් කේ.ජී. මෙරටට පැමිණෙන්නේ මුහුදේ පාවෙමිනි. තහනම් බීඩි කොළ සම්බන්ධයෙන් ද තත්ත්වය එසේම ය.
ගම්මිරිස් ප්‍රතිඅපනයනය මුවාවෙන් සිදු කෙරුණු ජවාරම හේතුවෙන් මෙරට ගම්මිරිස් වෙළෙන්දා නැත්තටම නැතිවෙන තත්ත්වයට පත් වී තිබේ. එම හේතුව නිසා අසහනයට සහ අසාධාරණයට පත්ව සිටින්නේ අසරණ ගම්මිරිස් ගොවියා සහ සුළුපරිමාණ ගම්මිරිස් වෙළෙන්දාය. මෙරට තේ වලට අත්ව ඇති ඉරණමත් ගම්මිරිස්වලට අත්ව ඇති ඉරණමට දෙවෙනි නැත. තේ කර්මාන්තය කඩා වැටෙමින් තිබිය දී වතු කම්කරුවන්ට දිනකට රුපියල් දහසක වැටුපක් ගෙවීමට වතු සමාගම් සූදානම් නැත. දැන් ඒ බරටත් කරගහන්නට යන්නේ ආණ්ඩුවය. ඒ සඳහා ආණ්ඩුව යොදාගැනීමට සූදානම් වන්නේ තේ කර්මාන්තයේ උන්නතිය සඳහා තේ පර්යේෂණ වෙනුවෙන් වෙන් කෙරුණු අරමුදලක් බවද පැවසේ. තේ කර්මාන්තයේ මතු දියුණුව සදහා වෙන් කෙරුණු අරමුදලක් වතු කම්කරුවන්ට එදිනෙදා වැටුප් ගෙවීමට යොදා ගැනීම එදා වේල තීරණයකි. ඉන් තේ කර්මාන්තයට තවදුරටත් සිදුවනු ඇත්තේ හානියකි. මේ වනාහි කළ යුතු දෙය කළ යුතු මොහොතේ ඉටු නොකිරීම හේතුවෙන පැන නගින අතුරු ප්රතිඵලයි.
කුණු ද අඩු ප්‍රමිතියෙන් යුතු ගම්මිරිස් ද මෙරටට ගෙන්වීම සඳහා ජාවාරම්කාරයන් උපයෝගි කරගෙන ඇත්තේ 2013 වර්ෂයේ නිකුත් වූ ගැසට් පත්රයකි. 2013 ජුලි 12 දා එම ගැසට්ටුවට අත්සන් තබා ඇත්තේ හිටපු මුදල් ඇමති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය.
ගම්මිරිස් ටොන් 28,000ක් වියට්නාමයෙන් ගෙන්වා මෙරට ගම්මිරිස් සමග කලවම් කොට ඉන්දියාවට අපනයනය කිරීමට යොදාගෙන ඇත්තේ ද ඉහත ගැසට් නිවේදනයයි. එම ගනුදෙනුව නිසා මෙරටට ඩොලර් මිලියන 09ක් හෙවත් රුපියල් බිලියන 1.5ක් අහිමි වී ඇතැයි කියැවේ. හේතුව ඉහත කී ගැසට්ටුව යටතේ ප්‍රති අපනයනයට මුවා වී මෙරටට ගෙන්වනු ලබන සියල්ල ආනයන බදුවලින් නිදහස් කර තීබීමය. දැනට ආන්දෝලනයට ලක් වී ඇති කුණු කන්ටේනර් සිය ගණන මෙරටට ගෙන්වා ඇත්තේ ද මහින්ද රාජපක්ෂ මහතා 2013 ජුලි 12 දින අත්සන් කළ ගැසට් නිවේදනය යටතේය. ඒ අනුව එම කුණු කන්ටේනර් මෙරටට ගෙන්වා අත්තේ අවම වශයෙන් රටට බද්දක් පවා ගෙවීමෙන් තොරවය. ඉහත ආකාරයට ගත් කළ කුණු කන්ටේනර් මෙරටට ගෙන්වීම සම්බන්ධව මෙන්ම මෙරටට ලැබිය යුතු බදු මුදල් අහිමි කිරීම ප්‍රති අපනයනය මුවාවෙන් කුණු සහ දැන් දැන් කියවෙන ආකාරයට රෝහල් අපද්‍රව්‍ය පවා මෙරටට ගෙන්වා පරිසර හානි සිදුකිරීමේ ප්‍රධාන වගඋත්තර කරුවා වන්නේ රාජපක්ෂ පාලනයය. විශේෂයෙන් අදාළ ගැසට් නිවේදනයට අත්සන් කළ එකල මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මහතාය.
එසේ තිබිය දී පසුගිය දිනෙක මහින්දවාදී මන්ත්‍රිවරයකු මහින්ද රාජපක්ෂ අත්සන් කළ ගැසට්ටුවකින් කුණු ගෙනාවා නම් ඒවා 2013 නොගෙනවිත් 2017 – 2018 වර්ෂවල ගෙනැවිත් ඇත්තේ මන්දැයි ප්‍රශ්න කරනු පෙනිණ. එහිදී මතු කළ හැකි කරුණු දෙකකි. එකක් 2013 සිටම මෙරටට කුණු ගෙන්වා නැතැයි යන්නත් 2019 දී ඒවා හසුවීම නිසා කිය නොහැකි බවයි. කොතෙක් කලක් කවර ප්‍රමාණයකින් කවර රටවලින් කුණු මෙරටට ගෙන්වා ඇතිද යන්න පිළිබඳ වගකීමක් වත්මන් ආණ්ඩුවට ඇත්තේ ඒ නිසාය.
ආණ්ඩුව එම වගකීම ඉටුකරන්නට සූදානම් බවක් පෙනෙන්නට නැත. අවම වශයෙන් 2013 පසුව පසුව මේ දක්වාම ගැසට් නිවේදනය අවභාවිත වුයේද යන්න පිළිබඳ සොයා බැලීමක් කරන බවට ප්‍රකාශයක් හෝ ආණ්ඩුව පාර්ශවයෙන් කෙරී නැත.
කුණු ප්රශ්නය නිර්මාණය වී ඇත්තේ රාජපක්ෂ යුගයේ බවට ගැටලුවක් නැත. එහෙත් බන්දුල ගුණවර්ධන වැන්නන් තවමත් කියන්නට උත්සාහ කරන්නේ කුණු කන්ටේනර් මෙරටට ගෙන්වා ඇත්තේ සිංගප්පුරු වෙළඳ ගිවිසුම යටතේ කියාය. ඔවුන්ගේ එම බොරු ප්‍රචාර වලට ආණ්ඩුව පාර්ශවයෙන්ද පැහැදිලි පිළිතුරක් මෙතෙක් ලබා දී නැත.
රාජපක්ෂ රෙජිමයේ අනෙකුත් ප්‍රශ්න සම්බන්ධයෙන් මෙන්ම කුණු කන්ටේනර් ප්‍රශනයෙන් ද මඟහැරීමට ද වත්මන් ආණ්ඩුවට අවසර ඇත්තේ නැත. මේ ආණ්ඩුව බලයට පත්වූයේ රාජපක්ෂ රෙජිමය විසින් කරමින් සිටි වැරදි නිවැරදි කරන බවට ජනතාවට පොරොන්දුවක් ලබා දෙමිනි. එහෙත් බලයට පත් වී වසර හතරක් ගත වී තම පාලන කාලයේ අවසන් මාස කීපයට ආසන්නව තිබියදීත් රාජපක්ෂ ආණ්ඩුව නිකුත් කළ ගැසට් පත්‍රය නිවැරදි කරන්නට වත්මන් ආණ්ඩුව කටයුතු කර නැත. මෙකී තත්ත්වය විශේෂයෙන්ම බරපතළ වන්නේ ගම්මිරිස් ප්‍රතිඅපනයනය සහ එම කටයුත්ත හේතුවෙන් මෙරට ගම්මිරිස්වලට එතෙර රටවල ඇති කීර්ති නාමයට සිදුවන හානිය මේ ආණ්ඩුව යටතේත් සිදුවෙමින් පවතින බවට කරුණු කියැවෙන නිසාය. අනෙක් අතින් ප්‍රතිඅපනයනය මුවාවෙන් කෙරෙන ගම්මිරිස් ජාවාරම හේතුවෙන් මෙරට ගම්මිරිස් ගොවියාට බඩේ පාර වැදී ඇති බැවිනි.
රාජපක්ෂ ආණ්ඩුව විසින් නිකුත් කළ ගැසට් නිවේදනය වත්මන් ආණ්ඩුව යටතේත් ක්‍රියත්මක වීම සම්බන්ධයෙන් වගකීම පැවරෙන්නේ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ වත්මන් මුදල් ඇමති මංගල සමරවීර මහතාටය. මේ මොහොත වන තුරු පවා මුදල් ආමාත්‍යාංශය විසින් අදාළ ගැසට් නිවේදනය අවලංගු කරන්නට කටයුතු කර නැත. එපමණක් නොව අඩුම තරමින් එම ගැසට් පත්‍රය අවලංගු කරන බවට ප්‍රකාශයක්වත් මෙතෙක් සිදුකර නැත. ගැසට් පත්‍රය අවලංගු නොකරන්නේ නම් වෙනත් රටවල කුණු කූඩයක් බවට මෙරට පතවීම වලක්වනු නොහැකි වනු ඇත.
පරිසර අධිකාරිය පවසන ආකාරයට ඔවුන්ට ලැබුණු තොරතුරු අනුව කටුනායක අපනයන සංවර්ධන කළාපයේ විවෘත භූමියක ඇති එම කසළ තොගය ඔවුන්ගේ පරීක්ෂාවට ලක් වී ඇත. වර්ග අඩි 50,000ක් තුළ එම කුණු ගොඩ ගසා ඇති බව පරිසර අධිකාරිය පවසයි. රේගුව පවසන ආකාරයට එම සමාගම එංගලන්තයෙන් ආනයනය කළ තවත් කුණු කන්ටේනර් වරාය තුළ ද මාස 15ක් තිස්සේ තිබේ.
රටට කුණු ගෙන්වීම සම්බන්ධව අදාළ අංශ මෙතෙක් නිසි පරිදි ක්‍රියාත්මක වී නොමැති බව සිද්ධි දාමය පුරාම දක්නට ලැබෙන කාරණයයි. නිදසුනක් වශයෙන් මෙරටට ගෙන්වනු ලබන කුණු නිසි ලෙස ප්‍රතිසැකසුමක් හෝ ප්‍රතිචක්‍රීකරණය වන්නේද යන්න සොයා බලන්නට අදාළ වගකිවයුතු අංශ කටයුතු කර නොමැති බව පැහැදිලිය. අවම වශයෙන් එසේ ගෙන්වන කුණු අවුවට වැස්සට නිරාවරණය නොවී ගබඩාකර තිබේද යන්න හෝ පරිසර බලධාරින් පරීක්ෂා කර නැත. රටට ගෙන්වන කුණු නියමිත ආකාරයට රටින් පිටවනු ලැබේද යන්න ගැනත් සොයාබැලීමක් කර නැත.
රටින් කුණු ගෙන්වන සමාගම් වලට හෝ එම සමාගම කොන්දේසි අනුව ක්‍රියා කරන්නේද යන්න සොයාබැලීමක් ආයෝජන මණ්ඩලය ද සිදු කර නැත.
කුණු පිළිසැකසීමට ප්‍රතිචක්‍රිය කරනයට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ආදිය තිබේද යන්න ආණ්ඩුව මගින් සොයාබලා ඇති බවක් ද පෙනෙන්නෙට නැත. ඒ නුව 2013 ජුලි 12 දා මහින්ද රාජපක්ෂ මහතා කර ඇත්තේ ගැසට් නිවේදනයකට අත්සන් කිරීම නොව රට විනාශ කර හෝ තම මගඩිය තර කර ගැනීමට ජවාරම්කාරයන්ට බලපතුයක් ලබා දීමකි. ඔවුනට එම කටයුත්ත කරන්නට අවසර ලබා දී ඇත්තේ අවම වශයෙන් රටට බදු ගෙවීමකින් පවා තොරවය.
අදාළ ජවාරමේ කොනක හේලීස් ෆ්‍රී සෝන් සමාගම ද සිටින බව හෙළීවී ඇත. එම සමාගම සමග එක්ව කුණු ජාවාරමට සම්බන්ධ වී සිටි අනෙක් සමාගම්දෙකෙහි හිමිකාරිත්වය සහ හේලීස් සමාගමේ හිමිකාරිත්වය අතර කිට්ටු පවුල් සබදතාද පවතින බව කියැවේ.
හේලීස් ෆ්‍රී සෝන් යනු හේලිස් සමාගමට අයත් සමාගමකි. හේලිස් සමාගමේ ප්‍රධාන කොටස් හිමිකරු ධම්මික පෙරේරා මහතා ද මහින්ද මහතාගේ ආණ්ඩුව විසින් 2011 වසරේ ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් වරයා විසින් පත්කර ගනු ලැබිණි. ධමමික පෙරේරා මහතා ව්‍යාපාර ක්ෂේත්‍රෙයේ ඉහළට නැගුණේ ද රාපක්ෂ පාලන සමය තුළ දී ය.
සියලු කාරණා අනුව මෙරට ආර්ථිකය සැකසී ඇත්තේ ව්‍යාපාර මුහුණුවරින් පෙනී සිටින ජවාරම්කාර පැලැන්තියක මඬිය තර කරනු පිණිස බවයි. ඔවුන් ධනපති පන්තිය බවට පත් වී ඇත්තේ බදු වංචා ආනයන අපනයන වංචා ආදිය මගින් මිස රටටත් පොදු ජනතාවටත් වාසි දායක ආකාරයෙන් නිෂ්පාදන හෝ සේවා අලෙවි කිරීමෙන් නොවේ. මෙම තත්ත්වය තවදුරටත් පැවතිය හොත් මේ රට ඉන්දියානු සාගරයේ කුමක් බවට පත්වනු ඇති දැයි අනුමාන කිරීම පවා අපහසුය.
අනුර සූරිය බණ්ඩාර
