මහර වෙඩි පහරින් මියගිය කොවිඩ් රෝගීන් ආදාහනයට එරෙහිව පෙත්සමක් ; අපරාධයේ සාක්ෂි රකින්න ඉල්ලති

මහර බන්ධනාගාරයේ සිදු වූ වෙඩි තැබීමෙන් මියගිය කොවිඩ් රෝගීන් 9 දෙන ඇතුළු එකොලොස් දෙනාගෙන් කිසිවකුගේ සිරුරු ආදාහනය නොකරන ලෙසත් , මෙම මිනිස් ඝාතන පිලිබඳ අනාගත පරීක්ෂණ සඳහා එම සිරුර සුරක්ෂිතව තැබීමට නියෝග කරන ලෙසත් ඉල්ලා පෙත්සමක් වත්තල මහේස්ත්‍රාත්වරයා වෙත අද ඉදිරිපත් කොට තිබේ.
පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ කොවිඩ් මරණ ආදාහනය කිරීමේ නීතියට අනුව මෙම සිරුරු ආදාහනය කළ හොත් මෙම මිනිස් ඝාතන පිලිබඳ අපරාධ පරීක්ෂණයක් කිරීමේ කටයුතුවලට බලපෑමක් එල්ල වන බව යි . එය අපරාධයක සාක්ෂි විනාෂ කිරීමක් විය හැකි බව පෙත්සමෙන් පෙන්වා දී තිබේ.
සිරකරු අයිතවාසිකම් රැකගැනීමේ සංවිධානයේ සභාපති නීතිඥ සේනක පෙරේරා සහ නීතිඥ නාමල් රාජපක්ෂ මහත්වරුන් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කොට තිබේ.
සාමාන්‍ය නීතිය අනුව අපරාධයක් පිලිබඳ සැකයක් ඇති කිසිදු දේහයක් ආදාහනය කිරීමට අවසර දෙනු නොලැබේ . ඒ අවශ්‍ය වුවහොත් නැවත පරීක්ෂණයක් සඳහා සිරුර ගොඩ ගැනීම සඳහා අවස්ථාව තබා ගැනීමට ය.
මෙම තත්ත්වය වෙනස් වන්නේ හදිසි නීති තත්ත්වයක් යටතේ සිරුරු විනාශ කිරීමට ආරක්ෂක අංශවලට බලය පවරා ඇති විට පමණකි.
