|

රනිල්ගේ කොළඹ කවය සහ ප්‍රේමදාස (අල)වංගුව – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

linkedin sharing button
pinterest sharing button
messenger sharing button
ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2024 මැයි 09 වෙනිදා ”මම කිසිම කොන්දේසියක් නැතිව රට භාර ගත්තා.මගේ පක්ෂයට එදා තිබුණේ එක් මන්ත්‍රී ධුරයක් පමණයි.”  යනුවෙන් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයේදී කඩා වැටුණ රටේ වගකීම භාර නොගත් පාර්ලිමේන්තුවේ පිංගුත්තරයන් ගැන කීවේ නැත.

එජාපයට හිටියේ එක් මන්ත්‍රී කෙනෙක් පමණයි කී සැනින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස භූමි තෙල් ඉහිරුණ ගැරඬියෙකු සේ තම සිරුරටම පැටලී සිටි හැටි ආකාරය බලා සිටියහ.

 

ආර්ථීකය කඩා වැටී ඉන්ධන හිඟ වී, පාසල් වැසී ආහාර හිඟ වී රට අපායක් වූ අවදියේ රටේ විපක්ෂ නායකයා ජනාධිපතිකම කෙසේ වෙතත් සුදුස්සෙකු තෝරා ගන්නා තෙක් හෝ මැයි 9 වෙනිදා අගමැති තනතුර භාර ගත යුතු වුවද, සජිත් හැසිරුණේ දෙවන ලෝක යුද්ධ අවදානම හමුවේ බුදු අම්මෝ මට බෑ කියා අගමැතිකම දමාගිය නෙවිල් චෙම්බ්ලේන් වාගේය.

ජූලියේ පාර්ලිමේන්තුව නව ජනාධිපති වරයෙක් තෝරා ගැනීමට රැස්වූ දිනයේ අග්‍රාමාත්‍ය රනිල්ට නිතරගයෙන් පත් කර අරගලයේ ජනාධිපති ලෙස ප්‍රකාශ කිරීමේ අවස්ථාව සජිත් අහිමි කර ගත්තේය. …

 

ප්‍රේමදාස ඝාතනය නිසා රට අස්ථාවර වීම වැළැක්වීමට විපක්ෂ නායිකා බණ්ඩාරනායක මැතිනිය අගමැති විජේතුංගගේ නම ජනාධිපති තනතුරට යෝජනා කරමින් ඉතිහාසයේ ගෞරවයට පාත්‍ර වූවද ප්‍රේමදාසලා ලංකා දේශපාලනයෙහි සාර්ථක නො වුණේ ප්‍රේමදාසගේ හදිසි මරණය අසා හෝ රටේ මිනිස්සු අනේ අපොයි නො කීවේ වැදූ ගෙහි දෝෂ නිසා මිස, ප්‍රභූ දේශපාලනයේ වරදින් නොවේ.

මෙහිදී තම හැකියාව දැන සිටි සජිත් ප්‍රේමදාස, රාජපක්ෂලා දේශපාලනයෙන් හටගත් තුත්තිරි ගහක් වැනි ඩලස් අලහප්පෙරුමගේ ඇඟේ එල්ලීමෙන් සජබයට ශක්තියක් දුන් විසි හතර ලක්ෂයක් ජනතාවට කළේ නිගරුවට ලක් කිරීමත්, 1970 මැතිවරණ පරාජය හමුවේ එතෙක් එජාප කැබිනට්ටුව නියෝජනය කළ සජිත්ගේ තාත්තා, පුරවැසි පෙරමුණ අටවා දාස පාල යුගයක් ගැන දොඩවා, ලක්ෂ සංඛ්‍යාත යුඇන්පී කාරයන් අවතක්සේරු කිරීම 2020 පුතාත් ඒ ආකාරයටම  කළේය.

 

ඩලස් - සජිත් හවුල පැරදුණේ ඇයි?
තමන් උස්සා තැබූ එජාපයට හතුරුව අප්පලා පුතාලා කෑදරව කළ නොහොබිනා කම් යූඇන්පී කාරයන් හඳුන්වන්නේ ප්‍රේමදාස (අල)වංගුව හැටියටය. අලවංගුව යනු පරෙස්සම් විය යුතු යකඩ උලක් මිස කල්ප වෘක්ෂයක් නොවේ.

ඉම්තියාස් බාකිර් මාකර්ලා 2020දී සජබය පිහිටුවා එජාප වළ දැමීමට සජිත් සමග ගත් නිහීන උත්සාහය සජබයටම පාරා වලල්ලක් වී හමාරය. පාලකයා එළවීමට මුළු රටම විපක්ෂ නායක වටා ඒකරාශීවීමේ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය අනුව, 1974 දී ආණ්ඩුව සමග සිටි හබරාදුව මන්ත්‍රී අධි නීතිඥ ප්‍රින්ස් ගුණසේකරත් ජේ. ආර්. සංවිධානය කළ සත්‍යග්‍රහයට සුදු වතින් සැරසී ගාන්ධි තොප්පි දමා පැමිණීමත්, රොනී ද මැල් අනුව යමින් විජේවීරත් අලියාට ඡන්දය දී පහෙන් තුනක බලය එජාපයට ලබා දීමට සම්මාදම් වීමත්  රටට නායකත්වය දීමට සජිත්ට නො හැකි බව තහවුරු වීමකි.

එසේම වහසි බස් දොඩමින් විපක්ෂ කණ්ඩායම් වලට අභියෝග කිරීමෙන් හෙළි වන්නේ උස නම් සිකියුරිටි කොට නම් ක්ලාක් මොඩලයේ සජිත්ගේ තනි ඇඟිලි පුරුකේ දේශපාලන දැනුම රාජ්‍ය තාන්ත්‍රීක දැක්ම නොවේ. විපක්ෂ මතවාදීන් මෙහෙයවීම කෙසේ වෙතත් ඩලස් අලහප්පෙරුමටවත් නායකත්වය දිය නො හැකි තරමට ඉම්තියාස්ලාගේ රන්ජිත් මද්දුම බණ්ඩාරලාගේ සිහින කුමාරයා දේශපාලනිකව පිරිහී හමාරය.

ආසන්න වසර දෙකක සිට රටේ පවත්නා පලදායිතාව යනු දේශීය සහ ජාත්‍යන්තර සහායෙන් රනිල් වික්‍රමසිංහ සිදු කළ කළමනාකාරිත්වයේ ඍජු  ප්‍රතිපලය වේ. හෙවත් බංකොලොකත් කී රට ගොඩ නැගීමට උර දුන් ශක්තිමත් මිනිසා පිළිබඳ කතාන්තරය වේ. 

මේ ලේඛකයා, මැයි 13 වෙනි සඳුදා උසාවි ගොස් ආපසු එමින් සිටියදී මහනුවර දළදා වීදියේ රැකියා නැති උපාධිධාරින්ගේ පෙළ ගැසී විරෝධතාවක යෙදෙනු ඇස ගැටිණ. ඒ වනවිට රාජ්‍ය ආයතන ගණනාවක් වැඩි වැටුප් සහ දීමනා සහන ඉල්ලා අඛණ්ඩ වැඩ වර්ජනයක් දියත් වෙමින් පැවතිණ. මෙතැනට පැමිණි කෙනෙක් ”මොකද මේ …….? ”කියා තවත් කෙනෙකුගෙන් විමසීය.

”රට වැටිලා නම් ටිකක් ඉවසන්න කියන්න කෙනෙක් නැතිකම.”

”රනිල් වටේ කොළඹ ඉන්න හත් අට දෙනා කොහොමද ලංකාවක මිනිසුන්ට ඒක කියන්නේ” දෙවැන්නා එසේ කියා උපහාසයෙන් සිනාසිණ.

විපක්ෂයට අවශ්‍ය සහන ලබා දීම නොව රට අවුල් කිරීමය. පාසල් වාර මැද ගුරුවරු වීදි බැස්සවීමත් විභාග උත්තර පත්‍ර බලන කාලයේ දීමනා ඉල්ලීමත් මෙවැන්නකි. 2022 අපේල් 9 වෙනිදා බංකොලොත් බව ලෝකය ප්‍රකාශ කළ රටේ හෙට දවස මෙසේ විනාස කරන්නේ බලය ඉල්ලන ඔලූ බක්කන් විසිනි.

 

රනිල් ලෝක බැංකුවේ නියෝජිතයා හමුවේ

56දී ආසන 8ට වැටුණ එජාපය, කඩිනමින් ඩඩ්ලි යළි කැඳවා දෙවරක් රටේ අගමැති කරවා රට ගොඩනැගීය. 1970දී විජයග්‍රාහී තුන් හවුල් පාලනය නිසා වැටුණ රටේ ආර්ථීකය යළි ගොඩ නැගුවේ ජේ.ආර්. විසිනි. 1994දී රට භාර ගත් වමේ සන්ධාන හත් වසර අවසානයේ 2001දී ආර්ථීකය ඍණ අගයක් ගෙන කඩා වැටුණ රට රනිල් යළි දෙ වසරක් තුළ රට ගොඩ නැගීය. 2015-2019 පස් අවුරුදු පාලනය අවසානයේ වඳ කතා පාස්කු බෝම්බ චෝදනා මිස, රටේ ආර්ථීක ශේෂ පත්‍ර ය් අවුලක් නො තිබිණ. වැටුප් වැඩි කර ඉන්ධන කිරිපිටි ගෑස් ආදි අත්‍යාවශ්‍ය සේවා සහ භාණ්ඩ මිල අඩු කර පැවතියද,  2020 හැට නව ලක්ෂයක් එක්ව එජාපය සමග ගෙදර යැවූ රනිල් යළි රට ගොඩ නගමින් සිටියි. 

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන්ට ගිනි සහ මරණ බිය ඇති කරවමින්, විධායක ජනාධිපති සහ අගමැති සෝයුරන්ට යන 0075 නැති කළ රට පරාජිත රනිල්ට රට භාරදීම ගැන කිසිවෙකු එරෙහි නො වුණ රටේ ජන රැළි  වර්ජන මඟ හැර පාඩුවේ ජීවත්වන නිහඬ බහුතරය රටට අවශ්‍ය ක්‍රමය ජයග්‍රහණය කරවනු ඇත.

1953දී ලී ක්වාන් යූගේ සිංගප්පූරුවත් 1992දී  චිමිංගේ වියට්නාමයත් ගුරු කොට ගත් අවස්තා දෙකේදීමම පාලනය කළේ එජාපය විසිනි. 2019දී රුපියල් 117ක්වූ පැට්‍රල් ලීටරය 2022දී රුපියල් 1000ටත් සොයා ගත නො හැකි විය. 2024මැයි මුල පැට්‍රල් ලීටරය රුපියල් 400ට අඩු කළ විට එය රුපියල් 117ක් වන්නේ කවදාද කියා විපක්ෂය විමසීය. ඒ සඳහා තවත් අවුරුදු තුනක් ගත විය හැකි බව ජනාධිපති වික්‍රමසිංහ කීය.

2020 එජාපය බිංදුවට වැට්ටවූ සජිත් සහ ඉම්තියාස්ලා 2022දී අර්බුදයට විසඳුම ලෙස ඩලස් අලහප්පෙරුම නම් කළේ තමන් සතු කෙරුවාවේ ප්‍රමාණය දැන සිටි  නිසාය.

2019 එජාපය අර්බුදය තේරුම් ගත් එජාප නියෝජ්‍ය නායකයාව සිටි කතානායක කරු ජයසුරිය, අගමැති වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස කතානායක නිල නිවෙසට ගෙන්වා කළ එජාප ආරවුල ගැන නිල නොවන සාකච්ඡාවේදී 1956දී මෙන් එජාපය විනාශ නො කළ යුතු බව අවධාරණය කළේය. කරු-රනිල්-සජිත් හමුවේදී ආරවුල පක්ෂ අභ්‍යන්තර ගැටලුව ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත්ද, එජාප නායකයා ලෙස රනිල් ද පිළි ගැනීමට කරු ජයසූරිය හමුවේ රනිල් සජිත් එකඟ වූහ. අගමැති වික්‍රමසිංහ, මෙම එකඟතාවට පසුව ප්‍රේමදාස නිවෙසට ගිය අවස්ථාවේදී හේමා සජිත්ගේ වගකීම රනිල්ට පැවරූ බව රහසක් නොවේ. 

ආර්.ප්‍රේමදාස එජාපයට කළ හූනියම සිහි කරමින් සජිත්ව දැඩිව විවේචනයක් කරමින් සිටි මේ ලේඛකයාට 2019දී සජිත්ට ගහන්ඩ එපා අපි එයාට උදව් කරමු යයි ඉල්ලනතරමට අගමැති රනිල් වික්‍රමසිංහ කරු ජයසුරියට සහතික කළ සම්මුතියෙහි පිහිටා සිටියේය. රටට තීරණාත්මක අවස්ථාවන්දී දේශපාලන හා පුද්ගලික මාද වාද බැහැර කොට පෙනී සිටිමේ විශිෂ්ඨ එජාප සම්ප්‍රදාය, 2010දී හා 2014දී 2019 දීත් අනුගමනය කළ රනිල් වික්‍රමසිංහ, උතුරු නැගෙනහිර ජනාධිපති මැතිවරණ සටන සජිත් වෙනුවෙන් මෙහෙයවීය.

අප්පලා පුතාලාගේ මේ අතීතය යළි සිහිපත් කළේ මැයි 9 වෙනි දින සජිත්, පාර්ලිමේන්තුවේදී ජනාධිපති වික්‍රමසිංහට එල්ල කොට සිදු කළ අසික්කිත හැසිරීම නිසාය.

 

ලොකු ප්‍රේමදාසලා හා පොඩි ප්‍රේමදාසලා - ඇටමැස්සා (11)
ප්‍රේමදාසලා කොහොමටත් එහෙමය. නවසිය හැට ගණන්වල මුලදී මැතිනිය බලයට ආවොත් අගමැති පුටුව මාසිකව හෝදන්ට සිදුවන බවට ප්‍රසිද්ධියේ කීවේ සජිත්ගේ තාත්තා ය. දරු තිදෙනෙකුට මව් වූ බණ්ඩාරනායක මැතිනියට මෙසේ නිගරු කිරීම ගැන කෝපයට පත් ඩඩ්ලි සේනානායක, ආර්. ප්‍රේමදාස කැඳවා තමුන්ටත් අම්මෙක් සිටිනවා නේද අසා දැඩි සේ අවවාද කළ බව රහසක් නොවේ.

මහජන වේදිකාවල අත්පොලසන් මැද කතා කළ ජනාධිපති ප්‍රේමදාසගේ මරණය අසා රටක මිනිස්සු රතිඤ්ඤා පත්තු කොට කිරිබත් කෑවේ කලින් සැලසුම් කොට නොව ප්‍රේමදාසලා එජාපයට රටට ඇනයක් අලවංගුවක් වූ නිසාය.

එජාපයෙන් කැඩී සජබයට මාරුවූ බහුතරයක් වර්තමානයේ අරමුණක් නැති සජිත්ගේ භූමිකාව එකඟ නැත.  ඔවුන් එජාපයට උරුම දේශපාලන තීරුවක සමාජ අවශ්‍යතාව පිළිබඳ දැඩි විශ්වාසයෙන් පසුවේ. මේ ගතික ස්වභාවය සමීප කර ගැනීමට රනිල් තබා එජාප ක්‍රියාකාරින් හෝ සමත්ව නැත. එහි වගකීම රනිල් වික්‍රමසිංහ මුළුමනින්ම භාර ගත යුතුවේ. 

රනිල් ධනාත්මකව එදාට වඩා ඛෙහෙවින් වෙනස්ව ඇති බව එජාපයේ කවුරුත්  පිළිගනිති. එහෙත් ගැටලුව වන්නේ තවමත් රනිල් තමන්ට අවේනික කවය තුළම භ්‍රමරණය වීමය. අතීතයේ රනිල්ට ලැබුණ බලය හැම විටෙකම ගිලිහී ගියේ ගමේ යූඇන්පී කාරයන් කළකිරීම නිසාය. සජබය හිට ගත්තේ ඒ පීඩනය තුළය.

ගෙවුණ වසර දෙක තූල රනිල් පරස්පර දේශපාලන මත දරන්නන්ට සමීප වුවද තවමත් ඔහුට යූඇන්පී කාරයන් සමීප වී නැත. රනිල් සහ එජාප අතර පවත්නා මහා හිදැස  සුළුවෙන් තැකිය නො හැකිය. මෑතක පිට පළාත්වල නීතිඥයන් හමුවූ අවස්ථාවක රනිල් වෙනුවෙන් පෙළ ගැසෙන වෙනත් වෘත්තික කණ්ඩායමක් ගැන දැනුම් දුන් විට ජනාධිපති වික්‍රමසිංහ දුන් ක්ෂණික පිළිතුර සමරතුංගට කියන්න යන්නය.

ගතවූ දෙවසර තුළ ජනාධිපති කාර්ය සාධනය සඳහා තෝරා ගත් කොයි සමරතුංගත් හැරිලාවත් බලන්නේ ඛෙල්ලේ ටයි එකක් ගැට ගසා තිබුණොත් පමණක් බව ටයි කෝට් පළඳින රනිල් වික්‍රමසිංහ දන්නේ නැත.

 

ගමේ ආර්ථිකය පුබුදුවන්න 'උරුමය' විශාල ජවයක් - (ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග)
මෙයට පෙරද සිහිපත් කළ පරිදි උරුමය අස්වැසුම වැනි පලදායි ක්‍රියාකාරකම් රටේ සාමාන්‍ය මිනිසාට සමීප නො වන්නේ ටයි පටලවා ගත්  සමරතුංගගේ කවය නිසාය.

රනිල් මේ මුහුණ දි සිටින්නේ මැතිවරණයකටය. ගසක් යට දහර මණ්ඩිය ගොතා වාඩි වී ගහෙව් බිමට වැටෙන යමක් කා යැපෙන්න කල්පනා කළ ඉන්දියාවේ නිගණ්ඨ සම්ප්‍රදායට දේශපාලනය කොට වඳ කොත්තු ආරංචියටත් කතිර ගැසූ ලංකාවේ ඡන්ද දිනන්න බැරි බව කවුරුත් කාටවත් අමුතුවෙන් කියා දිය යුතු නැත. දෙ වසරක් තුළ වැටුණ රට තුළ මහා පෙරළියක් කළ රනිල් පිළිබඳ පණිවිඩය ගෙන යන වාහකයන් ඇත්තේම නැත. 

2024 ප්‍රගති කතාව (චන්ද්‍රසිරි සෙනෙවිරත්න)(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *