මාලිමා ආණ්ඩුව “පච” වුණේ ඇයි ? – සී ජේ අමරතුංග
ජාතික ජන බලවේගය හෙවත් මාලිමාවේ ආණ්ඩුව මේ වන විට බරපතළ අර්බුදයකට මුහුණ දී සිටින බව ඔවුන් කරන කියන දේ වලින් පැහැදිලි වෙමින් පවතියි. එම අර්බුදය ප්‍රකාශයට පත්වන එක් ආකාරයක් වන්නේ ජනතාව හොදින් දන්නා ඇතැම් කරුණු ගැන බොරු කියන්නට එහි නායකයින් පෙළඹී සිටීම යි.
මේ නිසා ආණ්ඩුවේ විරුද්ධවාදීන් ආණ්ඩුවට “ පච ආණ්ඩුව “ , “ණයවන චේතිය රජතුමා “ වැනි නම් පටබඳින තත්ත්වයකට පත්ව සිටියි. ආණ්ඩුව බොරු කියන බව බොහෝ අවස්ථාවල තහවුරු වී තිබේ.
ආණ්ඩුවට හිතවත් එහි ආධාරකරුවන් පවා මෙම තත්ත්වය ගැන කලකිරී සිටින බව පෙනෙන්නට ඇත. ඔවුන්ට මෙය ලැජ්ජාවට කරුණක් වුවත්, තවමත් බොහෝ දෙනා එය ඉවසා සිටින බව පෙනී යයි. ආණ්ඩුවට නිවැරදි වන්නට තවත් කාලයක් දිය යුතු බව ඔවුන් වැඩි දෙනා සිතනවා විය හැකියි. පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල මගින් ඒ පිළිබඳ අදහසක් ලබාගත හැකි වනු ඇත.
කෙසේ වෙතත්, අප මෙහි දී අවධානය යොමු කරන්නේ ආණ්ඩුව බොරු කියන බව තහවුරු කර ඔවුන්ට විරෝධයක් ගොඩ නැගීම ගැන නොවේ. එම කටයුත්ත ආණ්ඩු විරෝධී පිරිස් මේ වන විටත් සිදුකරමින් සිටී. අපගේ උත්සාහය වන්නේ ආණ්ඩුව මෙබඳු තත්ත්වයකට පත්වීමට හේතු හඳුනාගැනීමට උත්සාහ දැරීම යි.
මෙහි දී ආණ්ඩුව කියූ බොරු මොනවාද යන්න විමසා බැලීම අවශ්‍ය වෙයි. මෙම ආණ්ඩුව බලයට පත්වන විට රටේ ගෑස් පෝලිම්, ඉන්ධන පෝලිම් තිබු බව සහ එම තත්ත්වය වෙනස් කළේ තම ආණ්ඩුව බව කීම එබඳු එක් බොරුවකි. තමන් බලයට එන විට රටේ උද්ධමනය සියයට 70 ක් ව තිබු බව සහ එය පාලනය කළේ තම පාලනය යටතේ බව කීම තවත් බොරුවකි. රුපියල් 370 ට ගොස් තිබු ඩොලරය 300 ට අඩුකළ බව කීම ද එවැන්නකි.
ආණ්ඩුවේ නායකයින් බොහෝ දෙනා මෙබඳු කතා ඇතැම් අවස්ථාවල කීවේ ප්‍රධාන ජනමාධ්‍යවල සකච්ඡාවලට සහභාගී වෙමිනි. වෙළෙඳ ඇමති එසේ කී විට මාධ්‍යවේදියා එය නිවැරදි කළේය. ඇමතිවරයාට එය පිළිගැනීමට සිදුවිය.
තමන් එන විට භාණ්ඩාගාරයේ තිබුණේ ඩොලර් මිලියන 20 ක් බවත්, එය 6000 ක් කළ බවත්, පැවසු විට එය නිවැරදි කිරීමට සිදුවුයේ රජයේ මාධ්‍ය ප්‍රකාශකවරයාට ය. ඔහු කීවේ මිලියන 5950 ක් තිබු බව සහ දැන් 6500 ක් වී ඇති බව යි.
නියෝජ්‍ය ඇමතිවරයෙක් කීවේ තමන් පරම්පරා ගණනකට වැඩ කර ඇති බව යි. කළ වැඩ මොනවාදැයි ඔහු කීවේ නැත. එමෙන් ම පසුගිය කාලයේ වෙනත් අය කළ වැඩ තමන්ගේ වැඩ ලෙස පෙන්වීමේ උත්සාහයන් ද මේ කාලය තුළ වාර්තා වී ය.
බොහෝ දෙනා දන්නා සහ පහසුවෙන් තහවුරු කළ හැකි කරුණු ගැන බොරු කියන තත්ත්වයට ආණ්ඩුව පත්වීමෙන් පෙනී යන්නේ ඔවුන් වැටී සිටින විශාල අර්බුදයක තරම යි. වඩා වැදගත් වන්නේ එම තත්ත්වය තේරුම් ගැනීම යි.
මොවුන් මෙබඳු තත්ත්වයකට පත්විය යුතු පිරිසක් ද ? ඔවුන් පැමිණියේ ජනතාවට විශාල සේවයක් කරන බව ප්‍රකාශ කරමින් ය. ඒ සඳහා උගත්, දක්ෂ පිරිසක් තමන්ට සිටින බව ද ඔවුහු ප්‍රකාශ කළහ. එම කරුණු ගැන විශ්වාස කළ ජනතාව ඔවුන්ගෙන් බොහෝ දේ අපේක්ෂා කළහ. මෙම පිරිස ගැන ජනතාව විශ්වාස කළේ පෞද්ගලික න්යායපත්ර නැති පිරිසක් වශයෙනි. එම විශ්වාසය තවමත් බිඳ වැටී නැත. එසේ තිබිය දී ඔවුන් මෙබඳු පහත් තැනකට වැටුණේ ඇයි?
ඔවුන්ගෙන් බලාපොරොත්තු වූ එම මහා වෙනස කරන්නට මෙතෙක් සමත් වී නැති අතර මොවුන් දැන් උත්සාහ දරන්නේ ඊට පෙර රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලනය යටතේ සිදුකොට තිබු දේ තමන්ගේ ලෙස හුවා දක්වන්නට ය. එය සාර්ථක වී නැති අතර සිදු වී තිබෙන්නේ ඔවුන් තව තවත් හෑල්ලු වීම සහ අවමානයට ලක්වීම යි.
පසුගිය රජයකට එවකට විපක්ෂයේ සිටි වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කළ විවේචනයක් දැන් නැවත කතාබහට ලක්ව තිබේ. එනම් “ ආණ්ඩුවේ විසිල් විතරයි – බල්ටි නෑ “ යන්න යි. දැන් එම කතාව නැවත නැවත උපුටා දක්වන්නේ මාලිමා ආණ්ඩුවේ වත්මන් තත්ත්වය කියන්නට ය.
ආණ්ඩුවට දැන් තිබෙන ප්රශ්නය නම් බල්ටි නැති එක ය. මාස හතක් ගත වී ඇතත් තමන් කළ විශාල වැඩක් ගැන කියන්නට ආණ්ඩුවට හැකියාවක් නැත.
ආණ්ඩුව පසුගිය කාලයේ පෙන්වන්නට හැදු බල්ටි ආසාර්ථක වී ඇත.
ඉන් එකක් නම් සහල් වෙළෙඳපොළ පාලනය කිරීමේ උත්සාහය යි. ආණ්ඩුව කීවේ වී මිල දී ගෙන තොගයක් රැස්කරගෙන සහල් මිල පාලනය කරන බව යි. වී ගබඩා අලුත්වැඩියා කරමින් විශාල ප්‍රචාරයක් දෙමින් ආණ්ඩුව හිතුවේ ලොකු වැඩක් කරන්නට ය. නමුත් එය අසාර්ථක වන උත්සහයක් බව මේ ලියුම්කරු දෙසැම්බර් මාසයේ ලියු “ වී ගත්තොත් තෝ නසී “ ලිපියෙන් සහ වීඩියෝවක් මගින් පේනවා දී තිබිණි. එලෙස පේනවා දුන් ලෙස ම එම වැඩ පිළිවෙළ අසාර්ථක වී ය. දැන් සිදු වී තිබෙන්නේ සහල් වෙළෙඳපොළ ද බිඳ වැටී ගොවියාත් පාරිභෝගිකයාත් අමාරුවේ වැටීම යි.
විශාල ප්‍රචාරයක් දෙමින් ආණ්ඩුව ක්ලීන් ශ්‍රී ලංකා පටන් ගත්තේ ය. එය ද දැන් වැඩිය කතා නොකරන අසාර්ථක ව්‍යාපෘතියකි.
රිලවුන්ගෙන් වගා බේරා ගැනීමට ආණ්ඩුව තවත් වැඩක් පටන් ගත්තේ ය. කෝටි හතක් වියදම් කොට රිලා සංගණනයක් ද කළේය. එය ද දැන් අසාර්ථක බව පිළිගන්නට ආණ්ඩුවට ම සිදු වී තිබේ.
ආණ්ඩුව ඊළඟට උත්සාහ කළේ දළදා ප්‍රදර්ශනයෙන් ගොඩ යන්නට ය. එයට සිදු වූ දේ ගැන කතා කරන්නට දෙයක් නැත.
ආර්ථික ක්ෂේත්රයේ ද කලින් ආරම්භ කර තිබු වැඩ කිහිපයක් ඉදිරියට ගෙනයාම හැර ආණ්ඩුව අලුතින් කිසිදු ව්‍යාපෘතියක් ආරම්භ කොට හෝ අඩු තරමින් සැලසුම් කොට හෝ නැත.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වැඩ සටහන ද ඉදිරියට යන්නේ ප්‍රමාදවීම් සහිතව ය. රාජ්‍ය අංශයේ කළ යුතු ප්‍රතිසංස්කරණ බොහොමයක් ද සිදුකොට නැත.
මෙයින් පෙනෙන්නේ ආණ්ඩුවේ ප්රශ්නය බල්ටි නැති එක බව යි. තමන් කළේ යැයි කියන්නට දෙයක් නැති ආණ්ඩුව කරන්නේ අනුන් කළ වැඩවලට උරුමකම් කීම ය. මෙය ඉතා නරක තත්ත්වයකි. ආණ්ඩුව ඉතා ඉක්මනින් තමන්ගේ ව්‍යාපෘති සහ වැඩ සටහන් හොදින් සැලසුම් කොට ක්‍රියාවට නංවා සාර්ථකත්වය පෙන්විය යුතුව ඇත. එසේ නොකළහොත් සිදුවන්නේ ආණ්ඩුව මෙම අර්බුදයේ තවතවත් සිරවීම පමණකි.
මෙම තත්ත්වය තවත් භයානක වන්නේ ඇමෙරිකාවේ තීරුබදු සමග ලෝකය ආර්ථික අර්බුදයකට ගමන් කරමින් තිබීමත්, අපගේ කලාපයේ යුධ තත්ත්වයක් නිර්මාණය වෙමින් පැවතීමත් නිසා ය. එබැවින් ආණ්ඩුව ඉතා ඉක්මනින් සාර්ථක ක්‍රියාමාර්ග කරා යොමු නොවුනහොත් එය මාලිමා ආණ්ඩුවට මෙන් ම රටට ද අනතුරුදායක ය. එසේ වුවහොත් රට තවත් දරුණු අර්බුදයක් වෙත ගමන් කිරීම නොවැළක්විය හැකි වනු ඇත.
සී ජේ අමරතුංග
