කඩු පහරේ ඉලක්කය! – සී. ජේ. අමරතුංග
නව වසර උදාවුණේ රාජ්‍ය අංශයේ වංචා, දූෂණ පිළිබඳව අවධානය යොමුවන සිදුවීවම් ගණනාවක්ද සමඟය. ඉන් පළමුවැන්න නම් මෑත කාලයේ වඩාත් කතාබහට ලක්වූ සිදුවීමක් වූ “මහ බැංකුවේ බැඳුම්කර ගනු දෙනු සම්බන්ධ පරීක්ෂා කළ ජනාධිපති කොමිසමේ වාර්තාව ජනාධිපතිතුමා අතට භාරදීමයි. එය වඩාත් අවධානයට ලක්වූයේ අදාළ ගනු දෙනුව වත්මන් ආණ්ඩුකාලයේ සිදුවීමත්, ඒ වනවිට ශ්‍රී ලංකා මහ බැංකුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ පැවතීමත්, අගමැතිවරයා විසින් පත්කරන ලද අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහබැංකු අධිපතිවරයාව සිටියදී එය සිදුවීමත් නිසාය. එබැවින් ඒ පිළිබඳ පරීක්ෂණය මෙන්ම කථිකාවතද බරපතළ ලෙස දේශපාලනීකරණය වී තිබේ.
කඩුෙවන් කැෙපන අය
අනෙක් සිදුවීම නම් පසුගිය පාලන සමයේ සිදුවූ බරපතළ දූෂණ සෙවීමට පත්කළ කොමිසමේ වාර්තාව ජනාධිපතිතුමා අතට පත්වීමයි.එයින් පරීක්ෂා කළේ පසුගිය පාලන සමයේ බරපතළ සිදුවීම් ගණනාවකි. එයද දේශපාලන වශයෙන් අතිශයින් වැදගත් වන්නේ මහජනයා පසුගිය ආණ්ඩුව බලයෙන් පත්කරමින් මහින්ද රාජපක්ෂ මහතා ගෙදර යැව්වේ මෙම දුෂණ නිසා වීමත්, එම දූෂණ සොයා දූෂිතයන්ට දඬුවම් දීම වත්මන් ජනාධිපතිවරයාගේ ජනාධිපති සටනේ ප්‍රධාන පොරොන්දුවක් වීමත් නිසාය. එම ජනවරම ලබා මේ වනවිට වසර තුනක් ගතවී ඇති අතර ලබා ඇති ප්‍රගතිය පිළිබඳ මහජනයා තුළ ඇත්තේ කලකිරීමක් බව පැහැදිලිය. තමන්ද මේ ගැන සෑහීමකට පත් නොවන බව ජනාධිපතිතුමාද අවස්ථා කිහිපයකදී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් දැන් එම පරීක්ෂණ වාර්තා ගණනාවක්ද ජනාධිපතිතුමා අතට පත්වී ඇත.
ඉහත කී වාර්තා දෙකෙහි අඩංගු කාරණා හා නිගමන නිර්දේශ ආදිය ගැන මේ ලියන මොහොත වනවිට හෙළිදරව් වී නොතිබිණී. එමෙන්ම එම කරුණු සම්බන්ධයෙන් ගන්න ඉදිරි ක්‍රියා මාර්ග ද තවමත් අවිනිශ්චිතය. කෙසේ වෙතත් මෙම වාර්තා ලැබීමත් සමඟ මේ රටේ රාජ්‍ය අංශයේ දූෂණ පරීක්ෂණවල පියවරක් ඉදිරියට යෑම සිදුවේ යැයි අපේක්ෂා කිරීම වරදක් නැත. එමෙන්ම මෙම පරීක්ෂණ වාර්තා මගින් රටේ දූෂණ වංචා පිළිබඳ කථිකාවත වඩා ඉහළ තලයකට වර්ධනය කිරීමටද හේතුවනු ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද දූෂණ, වංචා විරෝධී යුද ප්‍රකාශයක් කරනු පසුගියදා දක්නට ලැබිණි. තමන්ගේ කඩුවෙන් කැපෙන්නේ කවුදැයි කියන්නට බැරි බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ පළාත් සභා අපේක්ෂකයන්ගෙන් දූෂණ විරෝධී දිවුරුමක් ගන්නා අවස්ථාවේදීය. හැම දෙනාම දැන් දූෂණ ගැන කතාකරන්නේ හැම තැනකම හැම පක්ෂයකම දූෂණ තියෙන නිසා බවද ජනාධිපතිතුමා කීවේය.
ජනාධිපතිතුමා පසුගිය දිනක තවත් හෙළිදරව්වක්ද කළේය. එනම් පසුගිය පාලන සමයේ සිටි පළාත් පාලන නියෝජිතයන්ගේ දූෂණ පිළිබඳව තමා ඔවුන්ට අවවාද කරද්දී හිටපු පාලකයා කරන දෙයක් අහුනොවන්න කරන ලෙස දුන් අපූරු අවවාදය පිළිබඳවය.
මෙම හෙළිදරව්වෙන් බොහෝ දේ පැහැදිලි වෙයි. ඉතාම වැදගත් කරුණ නම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දැනුවත්වම තම මැති ඇමැතිවරුන්ට මෙන්ම පළාත් පාලන ආයතන නියෝජිතයන්ටද දූෂණ වංචා කිරීමට ඉඩ දී තිබුණු ආකාරයයි. ඒවාට එරෙහිව පියවර ගන්නවා වෙනුවට කළේ අහු නොවෙන්න කරන්නට උපදෙස් දෙන එකයි. බලය පවත්වාගෙන ගියේ ඒ ක්‍රමයෙනි. එවිට පහළ උදවිය ඉහළ පාලකයන්ගේ දූෂණ ගැන කතා නොකර ඔවුන්ව ආරක්ෂා කරන්නට කැප වෙන එක නියතය. පාලනය ගෙන ගියේ ඒ ආකාරයෙනි.
එම පාලනය යටතේ. මෙලෙස ඉහළ සිට පහළට දූෂණ, වංචා හා අකටයුතුකම්වලට ඉඩ සලසා තිබුණු අතර ඔවුන්ට ඒ සඳහා තවත් පිරිසක් නඩත්තු කරගෙන යන්නටද සිදුව තිබිණි. එය සිදුවුණේ විවිධාකාර දූෂණ මඟිනි. බොහෝවිට එයට මැරකම තර්ජනය ගර්ජනයද එකතුවී තිබිණ. රාජපක්ෂ පාලනය ගමේ පවත්වාගෙන ගියේ එම කණ්ඩායම් මඟිනි. රාජපක්ෂලාගේ රැස්වීම්වලට සෙනග ගෙනාවේද මෙම කණ්ඩායමයි. පාලනය සකස්ව තිබුණේ විශාල හොර මැර කණ්ඩායමක් වශයෙනි.අහු නොවෙන්න හොරකම් කරපල්ලා කීවේ ඒ නිසාය. හොරකම, මැරකම වංචාව නොමැතිව මෙබඳු පාලක කල්ලියකට පැවැත්මක් නැත..
වැඩ සහ හොරකම
හොරකමෙන්, වංචාවෙන් දූෂණයෙන් පවත්වාගෙන ගිය මෙම පාලනය සාධාරණීකරණය කිරීම සඳහා නොයෙකුත් කතා ගෙතීමද, කීමද පසුගිය කාලයේ සිදුවිය. එක් කතාවක් නම් හොරකම් කළත් වැඩ කෙරෙනවා යන්නයි. ඒ කියන්නේ පාරවල් හැදෙනවානම් වරාය හැදෙනවානම්, ගුවන් තොටක් කියා තැනක් හදනවානම් එය හොඳ වැඩක් බවයි. එසේ වුවද එලෙස සිදුවූයේ රටට අවශ්‍ය වැඩද යන්න ප්රශ්නයකි. අවශ්‍ය වැඩ කෙරුණාද විය හැකිය. ඒ කෙරෙන්නේ විශාල හොරකම් සමඟිනි. අනෙක් අතට සිදුවූයේ හොරකම් කරන්න වැඩ හදා ගැනීමය. ඒවාට වියදම් කරන්නේද ගණන් හිලව් නැතිවය. නිසි තක්සේරුවකින් තොරවය. අතයටින් වන ගනුදෙනුවද එකතු කරලාය.
නොරොච්චෝලේ ගල් අඟුරු බලගාරය රටට අවශ්‍යව තිබූ දෙයකි. ජපනා ගණන් බලා තිබුණේ එරටෙහිම ආධාරයෙන් සහන ණය යටතේ ඩොලර් මිලියන තුන් සියයකින් හදන්නටය. පරිසර ප්‍රශ්න හා විරෝධතා නිසා එය කෙරුණේ නැත. පසුව රාජපක්ෂ පාලනය එය චීන ආධාරයෙන් ඉදිකරන ලදී. එයට මුල් තක්සේරුව ඩොලර් මිලියන තුන්සියයකි. පසුව එය ඉදිකළේ මිලියන හාරසිය හැට පහක වියදමෙනි. ගුණාත්මක භාවයද සොයා බැලුවේ නැත. දැන් එය නිතරම කැඩෙන බලාගාරයකි. එයින් රටට ලබාගත හැකිව තිබූ විශාල ධනයක් අහිමි වී ගොසිනි. ඉදිරියටද අහිමි වෙමින් පවතියි. මේ එක උදාහරණයකි.
හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ ආදිය ගැනද කතාව ඒකයි. මේවා මේ මොහොතේ රටට අවශ්‍යව තිබුණාද යන්න ප්රශ්නයකි. දැන් වසර හත අටක් තිස්සේ ඒවායින් පාඩු මිස ලාබ නැත. සමහර විට මේවා අවශ්‍යව තිබුණේ තව අවුරුදු පහකින් දහයකින් විය හැකිය. ඒවා ගැන අධ්‍යයන හරියට කෙරුණේ නැත. දැන් ඒවා ගොඩ දමන්නට චීනා පස්සේ යන්නටත් ඉන්දියාව පස්සේ යන්නටත් සිදුව ඇත.
චීනය සමඟ හම්බන්තොට ප්රශ්නය ගොඩ දමා ගත්තේ එක මාවතත්, එක තීරුවක් කියා ඔවුන්ගේ ව්‍යාපෘතියක් ඉදිරිපත් වූ නිසාය. අප වැටී සිටින අමාරුව දන්නා ඉන්දියාව මත්තල ගුවන් තොටුපළට දී ඇත්තේ අඩු ලන්සුවකි. එය තවමත් ගොඩදාගන්නට බැරිය.
සූරියවැව ක්‍රීඩාංගණය තවත් එවැනි අපරාධයකි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කීවේ මෙය නම් ගොඩදාගන්න හැටියක් හිතාගන්නවත් බැරි බවයි. අලි එන කැලෑ ළඟ ක්‍රීඩා පිට්ටනි හදන්න කෝටි ගණන් වැය කළේ හොරකම් කිරීම සඳහාම මිස වෙන කුමකටද කියා සිතිය යුතු නැත. මේවා රටට කළ වැඩ නොව අපරාධ ලෙස සැලකිය යුතුය.
ජනාධිපතිතුමා පසුගිය දවසක කීවේ ගමට කාපට් පාරවල් දැමීම රාජපක්ෂ යුගයේ පුරුදු කළ දෙයක් බවයි. ගමේ පාරට කාපට් වැටෙන විට ඒ ගමේ උදවිය සතුටු වන බවට සැකයක් නැත. එහෙත් එක පාරකට කාපට් වැටෙද්දී තවත් පාරවල් රාශියක් වසර විස්සකින් තිහකින් හදා නැත. එක තැනකට දමන්නේ තවත් ගම් විශාල ප්‍රමාණයකට යෙදිය හැකිව තිබූ මුදලකි. එහෙම කර කාපට් කරන්නේ එය ලොකු ගණුදෙනුවක් නිසාය. අත යටින් යන කුට්ටියේ විශාලත්වය නිසාය. නැතිව ගමේ මිනිසුන්ට හොඳ පාරක් දෙන්නට නොවේ.
ප්‍රතිලාභයක් නැති වියදම්
පාරවල් හදන්නේ මිනිසුන්ට බෙහෙත් ගන්නට ඉස්පිරිතාලෙට යන්නට පමණක් නොවේ. ආර්ථික කටයුතු පහසු කරන්නටය. එමඟින් ආර්ථිකය දියුණු කරන්නටය. පාරවල්වලට යන වියදම ආර්ථිකයෙන් කලකදී නැවත ලබාගත හැකි විය යුතුය. එවිට අවශ්‍ය පාර කුමක්ද යන්න හා එයට වැය කළ යුතු සාධාරණ මුදලද ආර්ථිකයට ලැබෙන ප්රතිලාභ මත තීරණය විය යුතුය. ඇතැම් පාරවල් කාපට් වන්නේ ආර්ථික ප්රතිලාභ සලකා නොවේ. ආර්ථික ප්රතිලාභ ලැබිය හැකි තවත් පාරවල් බොහොමයක් හැදෙන්නේ නැත. සමහර පාරවල් වසර තිස් හතළිස් ගණනකට පසුව හැදෙන්නේ දැන්ය. ඒවා නොකෙරුණේ වැඩියෙන් හොරකම් කරන්න ක්‍රම සෙවූ නිසා.
මෙවැනි තවත් අපරාධ ගැන ජනාධිපතිතුමා පසුගියදා කියා තිබිණි. ඉන් එකක් නම් මාසයකට රෝගීන් දෙතුන් දෙනෙකුවත් මිය නොයන ගම්බද රෝහලක මිනී තිස් ගණනක් ආරක්ෂිතව තිබිය හැකි මෘත ශරීරාගාරයක් ඉදිකොට තිබීමයි. එම රෝහලට මෙතරම් විශාල මෘත ශරීරාගාරයක් අවශ්‍ය නැති බව තේරුම් ගන්නට ලොකු අධ්‍යයනයක් කිරීම අවශ්‍ය වන්නේ නැත. එහෙත් එවැන්නක් කෙරුණේ නැත. මෘත ශරීරාගාරය ඉදිවුණා. කොන්ත්‍රාත් කාරයාගේත්, දේශපාලකයන් දෙතුන් දෙනෙකුගේත්, නිලධාරින්ගේත් සාක්කු පිරෙන්නට ඇත. ඒ ජනතාවගේ මුදලිනි.
කළ යුතු වැඩ ෙනාකිරීම
පසුගිය කාලයේ මෙලෙස වැඩකට නැති වියදම් කළේ කළ යුතු තවත් බොහෝ දේ තිබියදිය. වැසිකිළි, කැසිකිළි පහසුකම් නැති පාසල් දහස් ගණනක් රටේ තිබියදීය. ඒවාට වියදම් කරන්නට පාලකයන් ඉදිරිපත් වුයේ නැත. ඒ එයට වියදම් වන්නේ සොච්චම් මුදලක් නිසාය. එමෙන්ම ඒවාට යන වියදම් හැමෝම දන්නා නිසාය. ඒ වැඩ දැන් කරන්න සිදුවී තිබෙන්නේ මේ ආණ්ඩුවටය. මෙලෙස පසුගිය කාලයේ හැදූ පාරවල්වල මිනිසුන් වී වේලන ඡායාරූප පසුගිය කාලයේ දක්නට ලැබිණ. එයින් පෙනෙන්නේ නාස්තියේ තරම.
දූෂණයෙන්, හොරකමත්, වංචාවත් පාලනය ගෙනයමින් රට හැදුවායැයි ගහන පම්පෝරිවල ඇත්තේද විශාල රැවටිල්ලකි. ඇත්ත වශයෙන්ම සිදුව තිබෙන්නේ සංවර්ධනයේ නාමයෙන් විශාල මුදල් නාස්තියක් කිරීම හා කොල්ලයක් සිදු කිරීමයි. රට සංවර්ධනයට තිබූ මුදල් නාස්තිකිරීම හා කොල්ලකෑමයි. ඒ සමගම ආර්ථිකයේ විශාල විකෘතියක් ඇතිකිරීමයි. රටට අනවශ්‍ය ඉදිකිරීම් රාශියක් දායාද ලෙස ලබාදීමයි.
මෙම කාලය තුළ රටට අවශ්‍ය ව්‍යාපෘති රාශියක් රටට අහිමිවූ බවටද සාක්කි ඇත. ඒ සිදුවුණේද හොරකමේ දූෂණයේ අවශ්‍යතාවය නිසාය. මෙරටට ආ විදේශ ආයෝජන විශාල ප්‍රමාණයක් ආපසු හැරී ගියේ දේශපාලනඥයන් ඉල්ලන කොමිස් ලබාදෙන්නට අකමැතිවීම නිසාය. මැති ඇමැතිවරුන් ඇතැම් විට එක ආසනයකට ඉල්ලුවේ කෝටි ගණනකි. මුදල් නොලැබුණොත් වැඩේ කෙරෙන්නේ නැත. අත්සන ගහන්නට යන ව්‍යාපෘති යෝජනාව ආපසු එන්නේද නැත. කොළඹ කුණු ප්‍රශ්නයට විසඳුම් ලෙස ඉදිරිපත්වූ යෝජනා රාශියකටද එම ඉරණම අත්වූ බව පසුගිය දිනක හෙළිදරව් කළේ චම්පික රණවක ඇමැතිවරයාය.
මේ දූෂිතයන්ගේ ක්‍රමය වන්නේ තමන්ගේ ගණන කැපෙන්නේ නැත්නම් කිසිවක් කරන්නට ඉඩ නොදීමයි. ගාණ එනතුරු වැඩ අවහිර කරගෙන සිටීමයි. ඒ සමහරු කරන්නේ ගාණදී වැඩයකරගෙන යෑමයි. ඒ අතර තවත් පිරිසක් කරන්නේ වැඩේ අතහැර දමා ආපසු යෑමයි. වැඩි වශයෙන් සිදුවුණේ එයයි. එලෙස රටට ලැබෙන්නට තිබූ සංවර්ධන ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් දූෂිත පාලන තන්ත්රය විසින් රටට අහිමි කළේය.
පසුගිය කාලයේ සිදුවූ වංචා, දූෂණ ගැන හුදෙක් මහජන මුදල් සොරා කෑම කියා සිතා කටයුතු කිරීම වන්නේ එහෙයිනි. එමඟින් සිදුවූ අපරාධයේ තරම ඉතා විශාලය. රටටත් ආර්ථිකයටත් සිදු කොට ඇත්තේ විශාල ආර්ථික අපරාධ රාශිය කි. සිදුවූයේ ආර්ථික සංවර්ධනයක් නොව විනාශයකි. එය රටටම කළ අපරාධයකි. එමනිසා මෙම අපරාධ ගැන බරපතළ ලෙස සලකා ක්‍රියාකිරීම අවශ්‍යය.
එක කඩු පහරකින් මේ සියල්ලට දඬුවම් දිය නොහැකි විය හැකිය. එසේනම් කඩු පහර දහසකින් හෝ මේ අපරාධකරුවන්ට දඬුවම් දිය යුතුය.

