මහජන නියෝජිතයින් ගොන්පාට්ලා වෙලා පතෝල බවට පත්වෙලා – ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත
1978 සම්මත කරපු ව්‍යවස්ථාව මේ වෙනකොට 19 වතාවක් සංශෝධනය කරලා. 20වෙනි සංශෝධනය ගැන දැන් කතාබහක් ඇතිවෙලා. අපි මාස කිහිපයකට කලින් රටට ප්‍රකාශ කළා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න යෝජනාවක් ගේනවා කියලා. ඇත්තටම මේකේ අරමුණ වුණේ ජනාධිපති ක්‍රමය වෙනුවට අපේ රටේ පාර්ලිමේන්තු ක්‍රමය ස්ථාපිත කරන එකයි. අපි එදා ඉදලා ඒ ක්‍රමය හොඳයි කියලා පිළිගත්ත පක්ෂයක්. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා බලයට ආපු අය ඒ යෝජනාව ගේන්නේ නැති නිසා අපි ඒක ගෙනාවා. අපි මේ යෝජනාව ගේනවා කියපු වෙලාවේ ඉඳලා ඇතැම් අය කඩි ගුලක් වගේ ඇවිස්සුනා. මෙකෙන් රට බෙදනවා කිව්වා. මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කිවුවා. රෝ සංවිධානයේ වැඩක් කිව්වා. ඒකාබද්ධ විපක්ෂයේ අය, ඇතැම් හාමුදරුවන්වහන්සේලා මේ යෝජනාව දකින්නත් කලින් විවිධ කතා කිවුවා. අපි මේක හංගලා කරන දෙයක් නෙමෙයි. ඒ නිසා මූලික හරයට එකඟ නම් අපි මේක සංශෝධනය කරමු මූලික හරය වෙනස් නොකර.
එක මනුස්සයෙක් ගන්න තීරණවලට වඩා සාමූහික තීරණ ගන්න එක හොඳයි. ශ්‍රීලනිපයේ එජාපයේ වැනි පක්ෂවල තීරණ ගන්නේ එක මිනිහෙක්. ඒ පක්ෂවල ව්‍යවස්ථා හදලා තියෙන්නෙත් ඒ විදියට. අපේ පක්ෂයේ තීරණ ගන්නේ සාමූහිකවයි. අපේ පක්ෂයේ මධ්‍යමකාරක සභාව ගන්නා තීන්දු තීරණ තමයි දේශපාලන තීරණ වන්නේ. අපේ පක්ෂ ව්‍යවස්ථාව හදලා තියෙන්නෙත් ඒ විදියට. ඒ නිසා අපිට ඒ සාමූහික තීරණ ගන්න එක පුරුදුයි. රටටත් එවැනි ක්‍රමයක් ඕනෑ. විධායක ජනාධිපති ක්‍රමය නිසා ඒ සමූහිකත්වය නැති වුණා. කැබිනට් එකේ තීරණ ගන්නේ ජනාධිපති. කැබිනට් එකට දාන ජනාධිපතිගෙ කැබිනට් පත්‍රිකා කවදාවත් ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ. මොකද විධායක බලය නිසා. එනිස ඕනෑම සංවිධානයකට සාමූහික තීන්දු තීරණ ඉතා වැදගත්. නිවසකට, වෘත්තීය සමිතියක, මරණාධාර සමිතියක වුණත් සාමූහික තීන්දු ගැනීම තමයි වැදගත් වෙන්නේ. නමුත් අපේ රටේ 1978 සිට රාජ්‍ය පාලනයේදී සාමූහික තීන්දු තීරණ ගන්න එක නැවතුණා.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කිවුවට ඉන් පස්සේ එන්නේ පාර්ලිමේන්තු ක්‍රමය කියලා සංවාදය උඩට ආවේ නැහැ. නමුත් ඇත්තටම මෙකෙන් වෙන්නේ පාර්ලිමේන්තුවට බලය පැවරීමයි. දැන් සමහරු එක එක බිල්ලෝ මවනවා. නමුත් ඉන්දියාවේ තියෙන්නේ පාර්ලිමේන්තු ක්‍රමය. ඉන්දියාවේ භාෂා විශාල ගණනක් කතා කරනවා. සංස්කෘතික විවිධත්වය ඉතා විශාලයි. බෙදුම්වාදීන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. නමුත් පාර්ලමේන්තු ක්‍රමය තමයි තියෙන්නේ. අපි ජනවරම් දෙකක් දෙනවා. එක ජනවරමක් දීලා පාර්ලිමේන්තුවට ජනතා නියෝජිතයෝ යවනවා. තවත් ජනවරමක් දෙනවා තනි පුද්ගලයෙකුට. ඒ තනි පුද්ගලයාට ජනවරම දීලා පාර්ලිමේන්තුව බලය අහෝසි කරනවා. එක ජනවරමක් අනෙක් ජනවරමෙන් අහෝසි කරලා දානවා. ඒ නිසා අද මහජන නියෝජිතයින් ගොන්පාට් එකක් වෙලා. කොන්ද පණ නැති ජනතා නියෝජිතයින් බිහිකරන්න විධායක ජනාධිපති ක්‍රමය හේතු වෙලා තියෙනවා. පාර්ලිමේන්තුවට යන ජනතා නියෝජිතයාට බලය නැහැ. මහජන නියෝජිතයෝ පතෝල බවට පත්වෙලා. ඒ නිසා මහජන නියෝජිතයාට බලය ලැබෙන පාලන ක්‍රමයක් ඕනෑ. සාමූහික තීන්දු තීරණවලට බාධාව වුණේ විධායක ජනාධිපති ක්‍රමයයි. සාමූහිකත්වය තමයි ශිෂ්ටසම්පන්න වෙන්නේ. ඒ ශිෂ්ටසම්පන්න ක්‍රමය ගොඩනගන එක ජවිපෙ වැඩක් විතරක් නෙවෙයි. ඒක රටේ පුරවැසියගෙත් වගකීමක්. ඒ වෙනුවෙන් තමයි අපි මේ සාකච්ඡුාව ආරම්භ කරලා තියෙන්නේ. රටේ අස්සක් මුල්ලක් නෑර මේ සාකච්ඡුාව ගෙනියන්න ඕනෑ.
මනෝජ් රූපසිංහ
