රටේ ගොවියා සහ ව්‍යාපාරිකයා රැක ගන්නට අපමණ දුක් ගැහට විඳින ලංකාවේ පාරිභෝගික ජනතාවට ජය වේවා!

මේ දවස්වල හැමෝම කතා කරන ජනප්‍රිය මාතෘකාවක් වී ඇත්තේ පාරිභෝගික ජනතාව මත පැටවෙන මහා බදු බරය. පාරිභෝගික ජනතාව මත පනවන බදු බර අඩු කරන්න කියා ලොකු කතා බහක් අද ඇති වී ඇත. හැබැයි එහෙම කියන අයම මොන බදු අයින් කලත් ආනයන බදු නම් අයින් කරන්නට එපා කියාත් කියති. දුප්පත් වැඩ කරන ජනතාව නියෝජනය කරන රතු සහෝදරයනුත් ආනයන බදු අඩු කරන්නට එපා කියති. එහෙම කියන කටින්ම ඔවුන් බදු නිසා ඉහල යන ජිවන බර ගැන වේදිකා උඩ ගිරිය කඩාගෙන කෑ ගසති.

ආනයන බදු නිසා වාසි ලැබෙන්නේ ව්‍යාපාරිකයන්ටය. ඒ බදු බරින් පීඩා විදින්නේ රටේ පාරිභෝගිකයන්ය. රටක් ආනයන කරන භාණ්ඩ වලට ගහන බදු ඉහල නම්, එයින් කියවෙන්නේ  ලංකාවේ පාරිභෝගික අපි භාණ්ඩ වලට අනික් රටවලට වඩා ඉහල මිලක් ගෙවන බවයි. ලංකාවට පිටරටින් ගේන පාරිභෝගික භාණ්ඩ වලට අය කරන ඉතා ඉහල බදු  වලින් පෙනී යන්නේ අපේ රටේ මිනිස්සු අපේ රටේ ව්‍යාපාරිකයන් රැක ගන්නට මහත් කැප කිරීමක් කරන බවයි.

ආනයන කරන භාණ්ඩ  වලට බදු ගහන්නේ, අපේ රටේ නිෂ්පාදනය කරන භාණ්ඩ,  පිට රටින් ගේන භාණ්ඩ වලට වඩා ගණන් වැඩි නිසාය. උදාහරණයකට පිට රටින් රුපියල් 100ට ගෙනල්ල විකුනන්න පුළුවන්  භාණ්ඩය අපේ රටේ ව්‍යාපාරිකයා විකුනන්නේ රුපියල් 700ට නම්, අඩුම ගානේ රුපියල් 600ක බද්දක් ගැහුවේ නැතිනම්, අපේ රටේ හදන භාණ්ඩය විකුණා ගන්නට බැරිය. අපේ පාරිභෝගිකයා 100ට ගන්නට පුළුවන් දේ 700ට ගන්නේ නැත. ඉතින් දේශීය ව්‍යාපාරිකයා රැක ගන්න නම් පාරිභෝගික අපිට එම භාණ්ඩය  රුපියල් 100ට ගන්න තියෙන අවස්තාව අහිමි කල යුතුය. එසේ කල හැක්කේ රුපියල් 600ක ආනයන බද්දක් ගැසීමෙනි.

අපේ රටට ආනයනය කරන සපත්තු කුට්ටමකට රුපියල් 600ක බද්දක් ගසයි. ඒ බද්දෙන් අදහස් වෙන්නේ, තායිලන්තයෙන් හරි වියට්නාමයෙන් හරි ගේන  සපත්තු කුට්ටමකට වඩා අපේ රටේ සපත්තු කුට්ටමක් අඩුම ගානේ රුපියල් හාර පන්සීයක් ගණන් වැඩි බවය.   හැබැයි මේ බදු ගෙවලා ලොකු සල්ලි වලට සපත්තු ගන්නේ පිටරට යන්නට සල්ලි නැති පොඩි මිනිහය. නිවාඩුවට, තායිලන්තෙට, සිංගප්පුරුවට පවුලත් එක්ක සාප්පු සවාරි යන අපේ රටේ ධනවතුන්, ව්‍යාපාරිකයන් සහ වෘත්තිකයන්, එහෙදි ලාබෙට වයිවාරන ඇඳුම් සපත්තු ගනීති. ඒ කියන්නේ, අපේ රටේ පොඩි මිනිහා, අපේ ව්‍යාපාරිකයන් රැක ගන්නට තායිලන්තයේ හරි වියට්නාමයේ පුරවැසියෙකුට වඩා රුපියල් හාර පන්සීයක් වැඩිපුර දීලා සප්පත්තු ගන්නට තරම් ත්‍යාගශීලී  බවය. හැබැයි ඉතින් එහෙම ත්‍යාගශීලි වෙන ගමන් ජිවන බර වැඩියි කියා අදෝනා නැගීමෙන් පලක් නැත.

අපේ පොඩි මිනිහා ගෙයක් හදා ගන්නේ හතර අතේ බැංකු වලට ගිනි පොලියට ණය වෙලාය. අද කාලේ අපි හැමෝම ගෙදර ටයිල් කරන්නට ආසාය. ලස්සන  නාන කාමර කට්ටලයක් ගන්නත් ආසාය. ලංකාවට ආනයනය කරන ටයිල් එකකට 76%ක බද්දක් අය කරයි. ඒ කියන්නේ පිටරටින් ගේන ටයිල් එකකට වඩා අපේ රටේ ටයිල් එකකට අපේ රටේ පාරිභෝගිකයා අඩුම ගානේ 50%කට ඉහල මිලක් ගෙවන බවයි. ඒ කියන්නේ වෙන රටක රුපියල් 100ට ගන්න පුළුවන් ටයිල් එකක් ගන්නට අපිට රුපියල් 150කට ඉහල මිලක් ගෙවන්නට වෙන බවය. ආනයනය කරන ලද නාන කාමර කට්ටලයකටද 50% බද්දක් ගහයි. මාසේ සොච්චම් පඩියෙන් කැපෙන්න ණයක්  අරන් ගෙයක් හදන්න ගන්න අපේ පාරිභෝගිකයා, මෙහෙම ගිනි ගණන් දී බඩු ගනිමින් අපේ රටේ ව්‍යාපාරිකය රැක  ගන්නට කරන කැප කීරීම සුළු පටු නෙවේ. හැබැයි කොළඹ ඉඳි වෙන සුඛෝපභෝගී තට්ටු  නිවාස හදන අය පිටරටින් ටයිල්, නාන කාමර කට්ටල ආනයනය කරද්දී මේ බදු ගෙවන්නට ඕනෑ  නැත. රජය ඒ ආනයන, බදු වලින් නිදහස් කර ඇත. ඒ සුඛෝපභෝගී තට්ටු නිවාස මිලදී ගන්නට සල්ලි තියෙන්නේ, අපේ රටේ ආනයන බදු අඩු කරන්නට එපා කියා උද්ගෝෂණය කරන ව්‍යාපාරිකයන්ට සහ වෘත්තිකයන්ටය (ඒ කියන්නේ දොස්තර, ඉංජිනේරු, නීතින්ඥ මහත්තුරුන්ටය).

අපේ රටේ බටර් කියන්නේ පොඩි මිනිහා ට ගන්න හිතන්නත් බැරි සුඛෝපභෝගී ආහාරයකි. ආනයනය කරන බටර් කිලෝ එකකට රුපියල් 880ක බද්දක් ගහයි. ඒ කියන්නේ, අපේ රටේ දුප්පත් පාරිභෝගිකයා, පොඩි එකාට බටර් කන්න ආසා උනත්, ඒ අවස්ථාවත් නැති කර ගෙන, අපේ දේශීය ව්‍යාපාරිකයා රැක ගන්න ලොකු පරිශ්‍රමයක් දරන බවයි. හැබැයි ඉතින්, මේ ව්‍යාපාරිකයන්ගේ වගේම ආනයන බදු අයින් කරන්න එපා කියන වෘත්තිකයන්ගේ ළමයින්ට නම් ලංකාවේ හදන බටර් විතරක් නෙමේ පිට රටින් ගෙන බටර් ගන්නත් සල්ලි තියෙන බවත් මතක් කරන්න ඕනේ.

අපි අපේ රටේ ජයිව විවිධත්වය ගැන අපමණ උදම් අන්නනෙමු. එත් මාකට් එකේ ඇත්තේ එළවුළු අතලොස්සකි. එයිනුත්, බාගයක් ජාති ගණන් වැඩි නිසා ගන්නට බැරිය. ලංකාවේ අන්නාසි, අඹ, පැණි දොඩම්, රඹුටන්, කජු ගිනි ගණන් ය. අඩු මිලට අවුරුද්ද පුරා ගන්න පුළුවන් පිටරටින් ගේන ඇපල් , දොඩම්ය.  ඉතා සරු පොළවක් තියෙනවා කියන ලංකාවේ මොන භෝගය ගත්තත්, හෙක්ටයාරයකට ගන්න අස්වැන්න, කලාපේ අනෙක් රටවලට වඩා  බෙහෙවින් අඩුය. වියට්නාමය, හෙක්ටයාරයකින් ගම්මිරිස් කිලෝ ග්‍රෑම්  2000ක් කඩද්දී, ලංකාවේ අපි කඩන්නේ කිලෝ ග්‍රෑම් 600කි. අපේ ගොවියාගේ පිරිවැය වැඩිය, අස්වැන්න අඩුය, පසු අස්වනු හානිය වැඩිය, කෘෂි භාණ්ඩ වල ගුණාත්මක බවද අඩුය. ඉතින්, මෙහෙව් ගොවියා රැක ගන්නටද වෙලා තියෙන්නේ පාරිභෝගික අපිටය. ආනයනය කරන අල, ලුණු, මිරිස් ඔක්කොටම කිලෝ එකට රුපියල් 100ට එහා බදු ගහන්නේ, ලංකාවේ බඩු, පිටරටින් ගෙන බඩු වලට වඩා  එච්චරටම ගණන් වැඩි නිසාය. ආනයන අඩු මිලට අවොත්, ගොවියා අතරමන්ය. ඉතින්, ආහාර ද්‍රව්‍ය වලට ගිනි ගණන් ගෙවා, ගොවියා රැක  ගන්නට වෙලා තියෙන්නෙත් පාරිභෝගික අපටය. ගණන් වැඩි නිසා ගන්න බැරි වෙනකොට, අඩු ගානට තියෙන දෙයක් එක්ක පොඩි උන්ට කන්ඩ  දීල ගොවියා රැක  ගන්න තරම් පාරිභෝගික අපි පරිත්‍යාගශිලිය. අපේ ත්‍යාගශීලි බව එතනින් නවතින්නේ නැත. කෘෂි කර්මය දියුණු කරන්නට ඉන්න ඇමතිලා සහ අමාත්‍යංශවල දහස් ගණන් නිලදාරීන් නඩතතු කරන්නෙත් අපේ බදු සල්ලි වලිනි. පාරිභෝගික අපි, මේ ඔක්කොම කැප කිරීම් කලත්, ඉන්, ගොවියට සෙතක් සැලසුන බවක් පේන්නටද නැත.

ඉතා මහන්සියෙන් උපයා ගන්නා සිය ධනය මෙසේ  නොමසුරුව පරිත්‍යාග කරමින්, තමන්ගේ සහ තම පවුලේ සුබ සාධනය කැප කරමින් දසක ගණනාවක් තිස්සේ, අපේ රටේ ගොවියා සහ ව්‍යාපාරිකයා රැක ගන්නා ලංකාවේ පාරිභෝගික අපට ජය වේවා! තවත් චිරාත් කාලයක්, මෙම මහත් පුණ්‍ය කර්මය කිරීමට පාරිභෝගික අපට ශක්තිය, ධෛර්යය    ලැබේවා !

( අන්තර්ජාලයෙන් ලැබුණු මෙහි ලේඛකයාගේ නමක් සදහන් නොවීය )

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *