IMF: නව ආණ්ඩුව සමග පැමිණි එකඟතා මොනවා ද?

කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළැඹි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද (නොවැම්බර් 23 වන දා) අනාවරණය කළේය.
මෙම සමාලෝචනය IMF කළමනාකාරිත්වය සහ IMF විධායක මණ්ඩලය විසින් විසින් අනුමත කිරීමෙන් පසු, ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 333 ක පමණ වන මීළඟ ණය වාරිකය හිමිවනු ඇත.
2023 මාර්තු 20 වැනිදා අනුමත වූ සිව් වසරක මෙම ණය අරමුදල් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට හිමිවන සමස්ත ණය මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 3කි.
නව ණය වාරිකය ලැබීමත් සමග ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය වාරිකවල සමස්ථ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.3 දක්වා ඉහළ යනු ඇත.
කොළඹදී මාධ්‍ය හමුවකට එක්වෙමින්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ ධූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මේ බව අනාවරණය කළේය.
ණය වැඩසටහනේ අරමුණු සඳහා නව රජයේ කැපවීම විශ්වාසය වැඩි කර ඇති අතර ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ අඛණ්ඩතාව සහතික කරන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පැවසීය.
මේ දක්වා ණය වැඩසටහන තුළ ලබා ඇති දුෂ්කරවූ ජයග්‍රහණ ආරක්ෂා කර ගැනීම උදෙසා ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම, ආර්ථිකය කල් පවතින ප්‍රකෘතිමත් සහ ස්ථාවර වර්ධනයක් කරා යන මාවතට ගෙන ඒම සඳහා ඉතා වැදගත් වන බවත් ජාත්යවන්තර මුල්‍ය අරමුදල අනාවරණය කළේය.
බැඳුම්කර හිමියන් සමඟ ශ්‍රී ලංකාව මෑතකාලීනව ඇතිකරගත් ප්‍රතිපත්තිමය ගිවිසුම ශ්‍රී ලංකාව ණය තිරසාරත්වය කරා යන මාවතට ගෙන යන වැදගත් සන්ධිස්ථානයක් බවද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පැවසීය.
‘දිළිඳු සහ අවදානමට ලක්වූවන් ආරක්ෂා කිරීම’
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ ධූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මෙහිදී අවධාරණය කළේ, දිළඳු සහ අවදානමට ලක්වූවන් ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබඳව ය.
“මෙම දුෂ්කර අවස්ථාවේ දිළිඳු සහ අවදානමට ලක්වූවන් ආරක්ෂා කිරීමට රජයට වැදගත් වගකීමක් තියෙනවා. සමාජ ආරක්ෂණ වියදම් සඳහා වැඩසටහනේ අවම වියදම් ඉලක්කය සපුරාලීම සඳහා දරන උත්සාහය දෙගුණ කළ යුතු වනවා. විශේෂයෙන් අස්වැසුම වැනි සමාජ ආරක්ෂණ ආවරණ වැඩි දියුණු කිරීම වැදගත් වෙනවා.” ඔහු කියා සිටියේය.
නව රජයේ ජනවරම දූෂණ අවදානම් ආමන්ත්‍රණය කරමින්, ආර්ථික විශ්වාසය යළි ගොඩනැංවීම සහ වර්ධනය වඩාත් ශක්තිමත් ලෙස පාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යළි ප්‍රබෝධමත් කරනු ඇතැයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කළේය.
‘ඔවුන් එකඟ වෙලා තියෙනවා ඒ වැඩ පිළිවෙල ඒ ආකාරයෙන්ම කරන් යන්න’
වයඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා කියා සිටියේ, IMF ණය වැඩසටහන යටතේ වන මීළඟ ණය වාරිකය ලබන මසදී මෙරට ට ලැබෙනු ඇති බවය.
“අලුත් ආණ්ඩුව පත්වුණාම ගොඩක් අයට තිබ්බ ප්රශ්නය තමා මේ අය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් එක්ක යයිද ඒ ආකාරයෙන්ම, ඒක වෙනස් වෙයිද කියලා. දැන් මේ පාර IMF ගනුදෙනුවත් එක්ක අපි දැක්ක දේ තමයි මේ රජයත් කරන්නේ පරණ රජය කරපු දේම තමයි. ඔවුන් එකඟ වෙලා තියෙනවා. ඒ වැඩ පිළිවෙල ඒ ආකාරයෙන්ම කරන් යන්න. ඔවුන් පාර්ලිමේන්තුවේදීත් ඒක තහවුරු කළා.” ඔහු පැවසීය.
2024 ඔක්තෝබර් මාසය වන විට මෙරට විදේශ සංචිත ප්‍රමාණය 6.4කට ආසන්න විය.
මේවන විට සංචාරක කර්මාන්තයෙන් මෙන් ම විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබෙන ප්‍රේෂණවල වර්ධනයක් ද දක්නට ලැබෙයි.
මෙම තත්ත්වයත් සමග ආර්ථිකය යම් ආකාරයකට ස්ථාවර වෙමින් ඇතැයි මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පැවසීය.
The Leader
