” අනුර සහෝදරයා ආයෙත් රාජාසන කතාව කරමුද ” ලිපියෙන් ඊයේ රටේ රාළ කිව්වේ අනුර රාජාසන කතාවේදී කියපු සංකල්පීය කාරණා ප්‍රායෝගික තලයට ගේන්න වැඩපිලිවෙලක් ඕනි කියලයි.ඒ වැඩපිලිවෙල තවම හදලා නෑ වගේම මාලිමාවට ඒ වැඩපිලිවෙල හදන්නත් බෑ.ඒ යථාර්ථය තවම මාලිමාව තේරුම් අරන් නැති බව තවමත් අනුරලා දෙන පොර ටෝක්වලින් තේරෙනවා.ප්‍රශ්නයට උත්තරයක් නැතිව අනුර අඳුරේ අතපත ගාන හැටි දැක්කම පව් කියලත් හිතෙනවා.අනුර තමන් නොදන්න අවධානම් පාරක කිසිම පිළිසරණක් නැතිව යමින් ඉන්නවා.
අනුර රනිල්ගේ කලිසම එයාගේ වගේ ඇඳගෙන ඔහේ යනවා.අනුරට නොතේරුණාට එක්සිඩන්ට් එක අත ළඟ බව රටේ රාළ නං දැනෙනවා.අනුර රාජාසන කතාවේදී කිව්ව තැන තමයි අපේ රටේ ආර්ථිකය තියෙන්නේ.පොඩි වැරදීමකින් උනත් ආපහු තිබුණ වලට වැටෙන්න පුළුවන්.අනුර ඒක තේරුම් ගත්ත එක හොඳයි.ඒක තේරුම් අරන් නං ඉන්නේ ඒකත් එක්ක සෙල්ලං කරන එක එච්චර හොඳ වැඩක් නෙවෙයි.තව ටික දවසකින් ජනතාව ඇවිත් අනුරලාට ගහලා එලවන හැටි බලාගෙන සතුටු වෙන්න අපිට ඕනි නෑ.
හැබැයි එතෙන්ට මේ රට පත්වුනොත් පත්වෙන්නේ ආයෙත් ගොඩගන්න බැරි විනාශයක් එක්ක.අපිට රට එතනින් ගලවා ගන්න ඕනි.අපි දැන් අවුරුදු කීපයක ඉඳන් කියන්නේ මේ රට හදන්න සාමූහික උත්සාහයක් ඕනි කියලයි.දවස ගානේ මේ තහවුරු වෙන්නේ ඒ ඇත්ත.අපිට තියන ප්‍රධාන ප්රශ්නය කොහොමද රටේ ආදායම වැඩි කරගන්නේ කියන එකයි.ඒකට IMF එක දීලා තියෙන්නේ රටේ ජනතාවගෙන් පුළුවන් තරම් බදු ගන්න කියන උත්තරය.
අනුරලා බදු අඩු කරනවා කිව්වට ඒවා වෙන්නේ නෑ.අනුරලාත් දැන් IMF එක ඉස්සරහා දණ ගහලා ඉවරයි.ලබන අවුරුද්දේ දේපල බද්ධ කියලා තව බද්ධක් එනවා.ඇත්තටම IMF කතාවේ මූලධාර්මික පදනම තමයි,රටේ ඉන්න මිනිස්සු බදු හරහා සූරාකමින් ආණ්ඩුවේ ආදායම වැඩිකර ගන්න එක.ඒක නිසා රනිල් දුන්න IMF උත්තරය අවසාන උත්තරය නෙවෙයි.ඒක තාවකාලික පැලැස්තරයක් විතරයි.ඒකෙන් කියන්නේ නෑ IMF ගිය එක වැරදි කියලා.IMF දීලා තියන Road Map එක වැරදී කියලා අපි කියන්නේ නෑ.
ඒ වෙලාවේ හැටියට තිබුණ එකම උත්තරය IMF විතරයි.රටේ රාළ කියන්නේ ඒක අවසන් උත්තරය නෙවෙයි කියලයි.අවසන් උත්තරය වෙන්නේ නිෂ්පාදන සහ සේවා ආර්ථිකය පැත්තෙන් ඉදිරි පියවර තියමින් රටේ ආදායම වැඩි කරගැනීමයි. ආය කවදාවත් IMF යන්න ඕනි නැතිවෙන තැනට අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමයි.ඒ ඉදිරි පියවර තියන්න මේ රට කන්න හවුල් වෙච්චි දේශපාලුවොත් එක්ක බෑ කියන එක අපිත් පිලිගන්නවා.දැන් ජනතාව ඒ අය ගෙදර යවලා තියනවා.
ගෙදර යවලා මාලිමාවේ කට්ටිය බලයට ගෙනත් තියනවා.හැබැයි දැන් මාලිමාවේ මහත්තුරු ටික වට කරගෙන ඉන්නේ අර කියන දේශපාලන උන්නැහේලට කඩේ ගිය දූෂිත නිළධාරීන් ටිකමයි. ඒක නිසා මේ දුෂිත රාජ්‍ය නිළධාරීන් ටිකත් එක්ක මාලිමාවට යන්න තියන දුර ඉතාමත් කෙටියි. ආණ්ඩුවේ වගකීම්වලට අනුරලා දාගෙන ඉන්නේ රාජපක්ෂලා එක්ක හුරතල් උන නිළධාරීන්ම තමයි.ඊට අමතරව අනුරගේ,විජිතගේ කැම්පස් යාලුවෝ සහ ජේවීපී වෘත්තීය සමිතිකාරයෝ ටිකයි.
දැන් කතාවට කියන්නේ රට හදන්න ගන්නේ කළණියෙනුයි,ජපුරෙනුයි විතරයි කියලයි. ගෝඨාභයගේ ප්රවෘත්ති අධ්යක්ෂ කෙනෙක් දැන් මේ රටේ අතිශයින්ම වැදගත් අමාත්‍යාංශයක ලේකම් කෙනෙක්.එකින් එක මේවා කිව්වොත් මාලිමාවේ රෙදි ගැලවෙනවා.අපිට කැළණියද, ජපුරද කියන එක වැඩක් නෑ.මහින්දගේද රනිල්ගේද කියන එක වැඩකුත් නෑ.හැබැයි මේ ඔක්කොමලා කොතනදී හරි මාලිමාවේ දේශපාලනයත් එක්ක උඩින් හරි යටින් හරි සම්බන්ධ වුන අය.ඒ අයට තමයි අනුරලා රට හදන වගකීම බාරදීලා තියෙන්නේ.
අනුරලා කරපු ඒ වැඩෙන් වෙලා තියෙන්නේ වගකීම්වලට සුදුසු අය පැත්තකට විසිවෙලා මාලිමාව කහින සෙට් එක තනතුරුවලට ඒමයි. ඒක ජනාධිපති ලේකම්ගේ පටන් පහලට කරපු පත්කිරීම්වලින් පේනවා.ඒ සම්පුර්ණ තොරතුරු අපි ළඟ තියනවා.හැබැයි අපේ වගකීම ඒවා පෙන්න පෙන්න ආණ්ඩුව අපහසුතාවයට පත් කරන එක නෙවෙයි.ඔය මොනම ජෙප්පෙකුටවත් අපි බයත් නෑ.ණයත් නෑ.හැබැයි මේ යන සෙට් එකත් එක්ක අනුරලා කියන ඔය වැඩේ කරන්න බෑ.ඒක ටිල්වින් එක්ක සමාජවාදය හදනවාටත් වැඩිය අමාරු වැඩක්.
මෙතනදී මාලිමාවට තියෙන්නේ එක උත්තරයයි. එයාලා විශ්වාස කරන්න ඕනි දැන් ඔය වටවෙලා ඉන්න පල් හොරු ටික නෙවෙයි.එයාලා විශ්වාස කරන්න ඕනි මේ රටේ ජනතාව.ඒක නිසා ජනතාව එක්ක කරන සමීප සංවාදයක් සහ භාවිතාවක් දැන් ඕනි.එහෙම කරන එකෙන් බලාපොරොත්තු වෙන්නේ මේ ආර්බුදයෙන් ගොඩ එන්න ජනතාව සූදානම් කිරීමයි.ඒකට අර අනුර කියන ආකල්පමය වෙනසත් ඕනි.ඒකට ප්‍රතිපත්තිමය ස්ථාවර අවශයයි.සංස්කෘතිකමය බැඳීම් අවශ්‍යයි, කැපකිරීම සහ නව දැනුම අවශ්‍යයි.
ඒක කරන්න මාලිමා ආණ්ඩුව වටකරගෙන ඉන්න දූෂිත රාජ්‍ය නිලධාරීන්ට බෑ.ගල් ගැහිච්චි සෝවියට් යුගයේ තවම ජීවත් වෙන ජවිපෙ නායකයන්ට බෑ.ඒක කරන්න ජවිපෙ ගමේ කොට්ඨාශ සභාවට බෑ.ඒකේ ඉන්නේ පොහොට්ටුවෙන් පැනපු කොන්ත්‍රාත්කාරයෝ සහ 88/89 ජවිපෙ නම් මංකොල්ල කාපු හාදයෝ.ඒක නිසා ඇත්ත වෙනසක් කරන්න නං මහජන සහභාගීත්ව සැලැස්මක් ඕනි.ඒකට මෑතකාලීනව තිබුණ හොඳම ව්‍යුහය තමයි ජනසභා ව්‍යුහය. ඒකේ හිටපු පුද්ගලයන්ගේ අඩුපාඩු ඇති.හැබැයි ඒ වැඩපිලිවෙල පෝෂණය කරගෙන ඉදිරියට ගියා නං අනුරලා කියන ඔය සංකල්පයට උත්තරය එතන තියනවා.
ඒක ඉදිරිපත් කළේ කරූ ජයසූරියගේ සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයෙන් හින්දා ඒක විසි කරන්න ඇති.කාගේ උනත් හොඳදේ අගය කරන්න ඕනි.අනුර ජනාධිපති උන ගමන් ජනසහා අහෝසි කළා.ඇත්තටම මේ රට ආර්ථික සහ සමාජීය වශයෙන් නැගිට්ටවන්න ඕනි කන්ෂෙප්ට් එක ජනසභා වැඩපිලිවෙල ඇතුලේ තියනවා. රටක් නැගිට්වීම සදහා අවශ්‍ය මහජන සහභාගීත්ව ක්‍රමවේදය ජනසභා ඇතුලේ තියනවා.ඒක තමයි මෑතකාලිනව ලංකා ඉතිහාසයයේ ඉදිරිපත් උන සාර්ථකම සහභාගිත්ව ප්රජාතන්ත්රවාදී ආකෘතිය.එහෙම එකක් නැතිව රැස්වීම්වල හුරේ දාලා මේ රට හදන්න බෑ.
ජනසභා කියන්නේ ගම දක්වා ගිය සජීවී යාන්ත්‍රණයක්.ඉතාම පළල් සංවාදයක් හරහා මහජනතාවට ආර්ථික සහ සමාජීය කාරණාවලට මැදිහත් වෙන්න අවස්ථාවක් ජනසභා ඇතුලේ හදලා තියනවා.ඒකත් එක්ක අපේ රටේ නිෂ්පාදන ආර්ථිකය වේගවත් කරන්න පුළුවන්.කෘෂි ආර්ථිකය නැගිට්ටවන්න පුළුවන්.සංචාරක කර්මාන්තය හොඳම කළමණාකරණයෙන් යුක්තව පවත්වාගෙන යන්න පුළුවන්.IT ගමටම ගේන්න පුළුවන්.රටේ ආර්ථිකය ප්‍රසාරණය කරන්න ඕනි එහෙමයි.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.