|

අනුර සහෝදරයා ආයෙත් රාජාසන කතාව කරමුද? – රටේ රාළ

ඊයේ ( 21 ) අපේ රටේ 10 වෙනි පාර්ලිමේන්තුවේ පළවෙනි සැසිවාරය ආරම්භවුනා.10 වෙනි පාර්ලිමේන්තුවේ ආසන 159 ක් දිනාගන්න ජාතික ජන බලවේගය සමත්වීම විශේෂත්වයක්. මාලිමාවට තුනෙන් දෙකකට වඩා වැඩි බලයක් පාර්ලිමේන්තුවේ නිර්මාණය වෙලා තියනවා.ඊයේ පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායික වැඩ කටයුතු අවසන් උනාට පස්සේ පෙ.ව 11.30 ට ජනාධිපති අනුරගේ පළවෙනි රාජාසන කතාව පටන් ගත්තා.
අනුර ඉදිරි වසර පහ සඳහා තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශණය ඉදිරිපත් කළා.පාර්ලිමේන්තුවේ විතරක් නෙවෙයි අනුරගේ කතාව ගැන මුළු රටම අවධානයෙන් බලාගෙන හිටියා.විදෙස් තානාපතිවරු විශාල පිරිසක් අනුරගේ කතාව අහන්න පාර්ලිමේන්තුවට ඇවිත් හිටියා.දෙස් විදෙස් මාධ්‍යත් ජනාධිපතිගේ කතාවට ලොකු ප්‍රචාරයක් දීලා තිබුණා.අපේ රටේ ගොඩක් රාජ්‍ය ආයතනවල ඒ කතාව සජීවීව විකාශණය කළා. මාලිමාවේ ගොඩක් දෙනා කතාව අහලා සතුටින් පිනා ගිහින් ඉන්න හැටිත් දැක්කා.
අනුරගේ රාජාසන කතාවේ ගන්න කිසිදෙයක් නෑ කියලා රටේ රාළ කියන්නේ නෑ.ඒ කතාවේ ශබ්ද රසයක් වගේම සංකල්පීය වටිනාකමක් තියනවා. හැබැයි ඒක balance නැති කතාවක්. ජනාධිපතිවරයෙක් ලෝකය ඉස්සරහා තමන්ගේ පළවෙනි ප්‍රතිපත්ති ප්‍රකාශණය ඉදිරිපත් කරන ස්වරූපයක් එතන තිබුණේ නෑ.එතන තිබුණේ ජාතික ජන බලවේගය මන්ත්‍රීවරුන්ට අනුර සහෝදරයා ධනේශ්වර ක්‍රමයේ අර්බුදය (ජවිපෙ පන්ති පහේ පළවෙනි පන්තිය) පන්තිය කරනවා වගේ වැඩක්.ඇත්තටම අනුර සහෝදරයාට තවමත් ජනාධිපති අපේක්ෂක මානසිකත්වයෙන් ජනාධිපති මානසිකත්වයට මාරු වෙන්න බැරිවෙලා තියනවා.
තවත් සමහරුන්ට අනුරගේ කතාව දැනිලා තිබුණේ මාලිමා වේදිකාවක අනුර කරපු කතාවක් රිපීට් වෙනවා වගේ.මේ කතාව මෙහෙම කියන්න හොඳ නෑ.ඒත් නොකියා බෑ.මාලිමාව ඇතුලේ තියන ලිං මැඩි මානසිකත්වය අනුරගේ කතාවෙන් හොඳට පේනවා.ජාතික සමගිය ගැන අනුර කතා කළා.ජාතිවාදයට සහ ආගම්වාදයට නැවත හිස ඔසවන්න දෙන්නේ නෑ කියලා කිව්වා.ඒකට අපිත් 100%? ක් එකඟයි.අනුර IMF එක ගැනත් කතා කළා.අද (23) වෙනකොට තුන්වෙනි සමාලෝචනය අවසන් කරගෙන කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයකට IMF එකත් එක්ක එන්න පුළුවන් වෙයි කියලත් කිව්වා.
IMF එකඟතාව හදාගෙන හතරවෙනි වාරිකය ගත්තොත් රටේ මූල්‍ය කළමණාකරණයේ යම් ස්ථාවරත්වයක් හදාගන්න පුළුවන් බවත් කිව්වා. දැන් අනුරලා රනිල් සහ IMF අතර තිබුණ සියලු කොන්දේසිවලට එකඟවෙලා යන බව පැහැදිලියි. අනුර කිව්වේ විපක්ෂේ ඉන්නකොට රටේ ආර්ථික තත්වය ගැන එයාලට අවබෝධයක් තිබුණා කියලයි.එතකොට එහෙනම් ඒ බව දැන දැනම තමයි අනුරලා කරන්න බැරි පොරොන්දු ජනතාවට දීලා තියෙන්නේ.
IMF ගිවිසුම සංශෝධනය කරන්න පාර්ලිමේන්තු බලය දෙන්න කියපු කතා දැන් ඉවරයි.අනුරලා වේදිකා උඩ කියපු බදු සහන දැන් එන්නේ නෑ.බදු වැඩි උනොත් මිසක් බදු අඩු වෙන්නේ නං නෑ. ආර්ථිකය ගැන කියද්දී අනුර කිවිවේ ආර්ථික ප්‍රසාරණය කරන්න ඕනි කියලයි.
ඒ වෙනුවෙන් ජනතාව දායක කරගන්න බවත්, ආර්ථික ප්‍රතිලාභ සාධාරණ පදනමින් බෙදී යන්න ඕනි බවත් කිව්වා.වෙළඳ පොල පාලනය කරන්න නිදහස් තරඟය,නියාමනය,රජයේ පංගුවක් පවත්වාගෙන යෑම ගැනත්,සමූපකාර ක්‍රමය ශක්තිමත් කිරීම ගැනත් කිව්වා.අර්ථික ක්‍රියාවලියේදී ඉක්මනින් ප්‍රතිලාභ ගේන්න පුළුවන් ක්ෂේත්‍ර ගැනත් අනුර කිව්වා.ඇත්තටම ඒවා අලුත් කාරණා නෙවෙයි.ආර්ථිකය ප්‍රසාරණය කරද්දී හා වෙළඳපොල කළමණාකරණ කරද්දී යොදාගන්න ආර්ථික විද්‍යාත්මක න්‍යායන්.
හැබැයි මේ කිසිම ක්‍රමයක් අපේ රට ගැන විතරක් සලකා බලමින් කරන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒක ලෝක ආර්ථිකයත් එක්ක ගැට ගැහිලා තියනවා.ඒකනේ විජේවීර කිව්වේ ඇමරිකාවට හෙම්බිරිස්සාව හැදෙනකොට අපට නිව්මෝනියාව හැදෙනවා කියලා.අපට නව ලෝක තත්වය නොසලකා හැරලා යන්න බෑ.ලෝකය පුරා යුද්ධ ගණනාවක් ඇවිලෙමින් තියන වෙලාවක් මේක. ඊයේ යුක්‍රේන යුද්ධයේ පළවෙනි අන්තර් මහද්වීපික ඛැලස්ටික් මිසයිලය රුසියාව පැත්තෙන් එල්ලවුනා.ඒවත් එක්ක ලෝක තත්වය වේගයෙන් වෙනස් වෙනවා.අපට ලොකයෙන් වෙන්වෙලා පවතින්න බෑ.
මෙතනදී ලෝක තත්වය ඉස්සරහා අපේ ගමන ගැන වගේම අපේ විදේශ ප්‍රතිපත්තිය ගැන අනුර කතා කළේ නෑ.අපි බටහිර බලපෑමට,ඉන්දියානු බලපෑමට සහ චීන බලපෑමට සෘජුව සහ වක්‍ර ලක්වෙන රටක්.කොහොම උනත් යම් යම් අවස්ථාවල හැර අපේ විදේශ ප්‍රතිපත්තිය උනේ නොබැදි ප්‍රතිපත්තිය.අපේ රටේ මේ දක්වා හිටපු හැම ජනාධිපතිවරයෙක්ම එයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශණය ඉදිරිපත් කරද්දී විදෙස් ප්‍රතිපත්තිය ගැන කෙලින් කිව්වා.අපි අනුගමනය කරන්නේ නොබැඳි ප්‍රතිපත්තියක් බව නොබියව කිව්වා.
හැබැයි අනුර සහෝදරයාට අපේ විදේශ ප්‍රතිපත්තිය අමතක වුනා.අමතක උනාද නැත්තම් හිතාමතා අමතක කළාද කියලා සමහරුන්ට සැක හිතෙන්නත් පුළුවන්.දැන් අපි නොබැඳි ප්‍රතිපත්තියේ නැද්ද?අපි දැන් ඉන්නේ බටහිර ගැති ප්‍රතිපත්තියකද?ඒ කියන්නේ ජූලී චන්ග්ලට සමීප ප්‍රතිපත්තියකද?නැත්තං ඉන්දියාවට සමීප ප්‍රතිපත්තියකද?එහෙමත් නැත්තං චීනයට සමීප එකකද?අනුර ඒක හරියට ලෙහුවේ නෑ.ඒක නිසාම ජාත්‍යන්තර ප්‍රජාව සහ ජනතාව ඇතුලේ යම් සැකයක් ඇති වෙන්න පුළුවන්.
ඒ නිසා වෙන වෙලාවක හරි වර්තමාන රජයේ විදේශ ප්‍රතිපත්තිය මොකද්ද කියලා හරියට කියන්න වෙයි.ඇත්තටම අනුර සහෝදරයා ඉදිරිපත් කරපු සංකල්ප හොඳයි.හැබැයි ඒවාට අදාල ප්‍රායෝගික වැඩපිලිවෙලක් නං හැදිලා තියෙන බව පේන්න නෑ.ඒ වගේම විධායක ජනාධිපතිධූරය අහෝසි කරනවා කියලා පහුගිය කාලේ අනුරයි,ටිල්විනුයි දෙන්නම කිව්වා.දැන් ඒවා ගැන කතාවක් නෑ.හරිනං අද ප්‍රතිපත්ති ප්‍රකාශණයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ප්‍රධාන මාතෘකාවක් වෙන්න ඕනි.අනුර සහෝදරයා ඉදිරිපත් කරපු තව එක දෙයක් තමයි අපේ රටේ ජනතාවගේ ආකල්පමය වෙනසක් වෙන්න ඕනි කියන එක.රටේ රාලත් ඒ කතාවට සියට සීයක් එකඟයි.ඇත්තටම අපේ රටේ මිනිස්සුන්ගේ ආකල්පවල ලොකු වෙනසක් වෙන්න ඕනි.
තවමත් වැඩවසම් ලක්ෂණ කප්පරක් කර තියාගත්ත සමාජයක් තමයි අපට තියෙන්නේ. ජනතාව ඇතුලේ මේ ආකල්පමය වෙනස කරන්නේ කවුද?ඒ ප්‍රශ්නයට උත්තරයක් අනුරගෙන් ආවේ නෑ.හැබැයි ඊට ඉස්සෙල්ලා අනුරලා කරන්න ඕනි වැඩක් තියනවා.ඒ තමයි ජෙප්පන්ගේ ආකල්පවල වෙනසක් ඇති කිරීම. ජෙප්පෝ හිතන්නේ ජෙප්පෝ හැර අනිත් ඔක්කොම හොරු කියලා.ඒ වගේම ජවිපෙට එරෙහි දේශපාලන මතයක් දරණවා නම් ඒ සියල්ල ද්‍රෝහීන් කියලා.
JVP නොකර කාටවත් රටට ආදරය කරන්න බෑ කියලා.ඒ අතින් බලද්දී හොර,බොරු,වංචා ඔක්කොම තියෙන්නේ ජෙප්පන්ගේ.අනුරලා ඔය සමාජයට ආදරය කරන්න කියලා කියන ස්ටේඡ් කතා ජෙප්පෝ ළඟ නෑ.ජෙප්පන් ළඟ නෙවෙයි ජවිපෙ නායකයන් ළඟත් නෑ.අනුරගේ හොඳ ගතිගුණ තියනවා.අනුර සල්ලාලයෙක්වත්, බේබද්දෙක්වත් නෙවෙයි.ඒ හොඳ කියන්න අපි එකඟයි.හැබැයි නිකන් හිතන්නකෝ ජවිපෙ නොවන ඕනි කෙනෙකුට ජෙපාපෝ කුණුහරපෙන් බණින විදිහ ගැන.කුණුහරප කියන එක දැන් ජෙප්පන්ගේ ඇඟට ජීර්ණය වෙලා.
ඒක නිසා ඉස්සෙල්ලා ජෙප්පන්ගේ ආකල්ප වෙනස් කරගෙන සමාජයේ විවිධ අදහස් තියන මිනිස්සු රට හදන කන්ෂෙප්ට් එකකට එකතු කරගන්න පුළුවන් නං එතන තමයි සංවර්ධනය තියෙන්නේ.එතන තමයි සමාජ ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්නේ.ඔය අනුර කියන ආර්ථික ක්‍රියාවලිය කරන්න පුළුවන් එතනදී විතරයි.ඊයේ කතාවෙදී අනුර දුන්නා කියපු සහන ගිය ආණ්ඩුවෙන් දීපුවා. දෙනවා කියන ඒවා නං ස්ටේජ්වල ඇති තරං ඇහුවා.ඒක හින්දා රටේ රාළ අනුර සහෝදරයාගෙන් ඉල්න්නේ මේ කියන සංශෝධන ටිකත් එකතු කරගෙන ආයෙත් රාජාසන කතාව කරමුද කියලයි.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට

රටේ රාළ.

May be an image of 1 person and dais

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *