දියුණුව දන්නා එරට වම්මු හා සටන් පාඨ දන්නා මෙරට වම්මු – මහින්ද රත්නායක
නිදහසේ සිට සංවර්ධනය වෙමින් පවතින නමුත් කිසිදාක සංවර්ධනය වන බවක් නොපෙනෙන රටක් බවට පත් වී ඇති ශ්‍රි ලංකාව සංවර්ධිත රටක් බවට පත්කර ගන්නේ කෙසේ ද යන ගැටලුවට මේ රටේ සමස්ථ ජනතාව අද මුහුණ දී සිටිති. මෙතෙක් අනුගමනය කර ඇති වැරදිි සංවර්ධන උපාය මාර්ග මෙයට හේතු වූ බවට නැගෙන චෝදනා වලින් පටන් ගෙන රටේ සංවර්ධනය අඩාල කිරීමට පාලකයින් ගේ හා නිළධාරින් ගේ නොමනා ක්‍රියා හේතු වූ බවට කෙරෙන චෝදනා වලින් එය අවසන් වේ. මතු පිටින් බැලූ කළ, එකිනෙකාට එරෙහිව වමෙන් හා දකුණෙන් කරගන්නා මේ චෝදනාවලට යම් පදනමක් තිබෙන නමුත් සංවර්ධනය පිළිබඳ නිරවුල් අදහසක් අපිට නැතිවීම ද සංවර්ධනය යන්න සිහිනයක් වීමට හේතු වී ඇති බව ඉතා පැහැදිළි ය.
ප්රාමානික ආර්ථික උගතෙකු වූ ආචාර්ය ඩඞ්ලි සියර්ස් පවන ආකාරයට සංවර්ධනය මැන ගැනීමට මූලික නිර්නායකයන් කිහිපයක් ඇත. එයින් පළමු වැන්න විරැකියාව නැති කිරීමය. දරිද්‍රතාවය නැති කිරීම දෙවැන්නය එනම් සෑම මිනිසෙකුටම තම ජීවිතය සෞඛ්‍ය සම්පන්නව පවත්වා ගැනීමට අවශ්‍ය කැලරි ප්‍රමාණය අඩංගු ආහාර මල්ලක් ලබාගැනීමට හැකියාව තිබීම මෙයින් අදහස් කෙරේ. තුන් වැන්න මිනිසුන් අතර ඇති නැති පරතරය අඩු කිරීම ය. මිනිසුන් අතර පමණක් නොව ගම හා නගරය අතර ආදායම් පරතරය අඩුකර ගැනීම හතර වැන්න ය.
කුමන ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමෙන් මේ කාරණා හතර ඉටුකරගත හැකි ද යන්න ඊ ළග ප්රශ්නය වේ. සමාජවාදි උපාය මිරිගය තුළින් මේ සංවර්ධනය අත්කරගත හැකි බවට ඇතැම් වාමාංශිකයෝ තර්ක කරති. එහෙත් ධනවාදීන් ගේ තර්කය වන්නේ සමාජවාදි ක්‍රමය ලෝකයේ අසාර්ථක ව ඇති බව ය. උක්ත අරමුණ ඉටුකරගත හැක්කේ මිශ්‍ර ක්‍රමයකින් බව තවත් පිරිසක් පවසති. සංවර්ධනයේ කටයුත්ත දෙන ලද ඓතිහාසික සන්දර්භයට සාපේක්ෂව සාර්ථක කරගත හැකි කුමන ක්‍රමයක් අනුගමනය කිරීමවුව වරදක් නොවන බවයි මේ ලියුම්කරු ගේ කල්පනාව. එය යටත් වන්නේ පාරිසරික කොන්දේසියට පමණි. එසේ වන්නේ වෙන යමක් නිසා නොව වම දකුණ භේදයක් නොමැතිව සංවර්ධනය යන්නට සොබාදහම විසින්ම අද කිසියම් ආකාරයේ සීමාවක් පැනවී ඇති හෙයිනි.
සොබාදහම මව වන්නේ නම් පියා ශ්‍රමය යැයි ෆෙඞ්රික් එංගල්ස් වරෙක පැවසී ය. එය එසේ නම් සොබදහම සහ ශ්‍රමය සූරා නොකා අත්කරගත් සංවර්ධනයක් මිනිස් ලොවේ තිබිය නොහැක. එහෙයින් එංගල්ස් මෙයින් පැවසුවේ මානවයා සංවර්ධනයක් අත්කරගත නොගතයුතු බව නොව මේ තරම් වේගයෙන් පරිසරය හා ශ්‍රමය සූරා නො කෑ යුතුබව ය. අණක් ගුණක් නැතිව සොබාදහම සූරා කන්නේ නම් එය යම් දිනක පෙරළා පහරදෙන බව ද ඔහු වරෙක පවසා තිබේ. මෙයින් පෙනෙන්නේ සංවර්ධනය යන්නම ධනේෂ්වර සංසිද්ධියක් බව ය. සමාජවාදය යන්නෙන් අදහස් කරන්නේ මානව වර්ගයා අත්කර ගන්නා සංවර්ධනය බෙදාහදාගෙන ජීවත්වීම ය. ස්කැන්ඩිනේවියානු රටවල ඇත්තේ එහි පූර්ව ලක්ෂණයක් යැයි කිවහැක. සංවර්ධන වේගය ඉතා අඩු එකී රටවල අද සීරෝ සංවර්ධනයක් ගැන කථා කරති. මෙයින් පැවසෙන්නේ සංවර්ධනය එක්තරා මට්ටමක දී නැවතිය යුතු බව ය. නිමක් නැති ධනවාදී සංවර්ධනය හේතුවෙන් මතුවන සමාජ අර්බුදයට විසඳුම් සොයන බටහිර දේශපාලනය ෆැසිස්ට්වාදයට හා වමට ධ්රැවගත වෙමින් ඇත. සමාජවාදය යන්න දියුණු ධනවාදයෙන් ආරම්භවන බව මාක්ස් පැවසුවේ මේ නිසා ය. තනි රටක සමාජවාදය වලංගු නොවනවා මෙන්ම සෝවියට් විප්ලවය ආපසු හැරීමෙන් පසු නොදියුණු රටවල සමාජවාදය ද අද සිහිනයක් පමණි. එසේ නම් එය අද ආරම්භවීමට හැකියාව පවතින්නේ දියුණු ධනවාදී ලෝකය තුළිනි.
වියට්නාමය හා ශ්‍රී ලංකාව
ජාතික ප්‍රශ්නයට විසඳුමක් දීමට සමාජවාදය පැමිණෙන තුරු සිටිය යුතුය යන සුළු ධනේෂ්වර යෝජනාව හා සමානවම සමාජවාදය එන තුරු සංවර්ධනයක් නැතැයි කීම ද වලංගු නැත. එහෙයින් දියුණ රටවල සමාජවාදි විප්ලවට දිග හැරෙන තුරු අපිට බලා සිටිය නොහැක. හිතාමතා බාධක යොදාගෙන සංවර්ධනය පමාකර ගැනීමට අපට අවශ්‍ය නැත. මෙයට හොඳම උදාහරණය වන්නේ වියට්නාමයයි. ඔවුන් ලෝකයේ බලවත්ම අධිරාජ්‍යවාදියා වූ ඇමෙරිකාව සමග දශක ගණනාවක් සටන්කර ජය ලැබීය. යුද්ධයෙන් මියගිය ගණන මිලියන දෙකකි. තුවාල ලැබූ ගණන මිලියන 3කි. 1965- 1975 කාලය තුළ බෝම්බ ටොන් මිලියන 8ක් වියට්නාමයට හෙළා ඇත. වියට්නාමය යුද්ධයෙන් ජය ලැබූවත් යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස එම රට 1980 දී ඉතියෝපියාව තරම්ම දිළිඳු බවට පත් විය. එහෙත් වියට්නාමය අද අළුමතින් නැගිටින ආසියාවේ රටකි. තවමත් එහි පවතින්නේ තනි පක්ෂ කොමියුනිස්ට් පාලනයකි. මූලික වශයෙන් තවමත් ආසියාවේ ග්‍රාමීය ආර්ථික් ඇති, පසුගිය ශත වර්ෂයේ අවසාන කාර්තුව තුළ මිලියන ගණනක ජනතාවක් දරිද්‍රතාවයෙන් මුදවාගත් රට කුමක් ද? යන ප්රශ්නය කෙනෙකුට නැගිය හැක. මෙයින් පළමු වැන්න චීනය හා දෙවැන්න ඉන්දියාව ලෙස යමෙක් නිසැකවම පිළිතුරු දෙනවා ඇත. මිලියන 90ක් ජනගහනයක් ඇති වියට්නාමය මෑත අනාගතයේ දී මේ ගොන්ට එකතු වනවා නොඅනුමාන ය. චීනයට පමණක් පසුපසින් සිටින එම රට 1990 සිට ඒක පුද්ගල වර්ධන වේගය පවත්වාගෙන යන ලෝකයේ දෙවැනි රට වේ. 7%ක වර්ධන වේගයක් ඉදිරි දශකය තුළ පවත්වාගත හැකි නම් දකුණු කොරියාව හා තායිවානය මෙන් ආසියාවේ ඊ ළග ව්යාග්රයා බවට එම රට පත්වන බව ආර්ථික උගත්තු අනාවැකි ඵලකරති.
සංවර්ධන උපාය මාර්ගය
අපේ රටේ සිටින විකල්ප නැති ඝොෂාකාරි වම්මුන්ට මෙන් නොව චීනයට මෙන්ම වියට්නාමයට ද ගතයුතු සංවර්ධන දිශානිය පිළිබඳ පැහැදිළි අදහසක් තිබින. යුද්ධයෙන් කඩාවැටි තිබූ අධ්‍යපනය නගා සිටුවීම මේ අතර ප්‍රධානය. වෙළඳ අවශ්‍යතාවයට මුල්තැන දෙන ආයෝජන ඇති කළේ ය. ශ්‍රම ඵලදායිතාවය අතින් තායිලන්තයට හා ඉනිදුනීසියාට වඩා වැඩි අවධානයක් යොමු කිරීම තවත් පියවරකි. මැදි ආදායම් මට්ටම වර්ධනය වෙමින් සිටින රටකි අද වියට්නාමය. වියට්නාමය අනුගමනය කරන මේ සංවර්ධන ප්‍රවේශය සමාජවාදි එකක් නොවේ. සංවර්ධන කටයුත්ත ඉටුකර ගැනීමේ දී වැදගත්වන්නේ ප්‍රථිපලය මිස එම සංර්ධනය අත්කරගන්නා ආකාරය නොවේ. ඇමෙරිකාව ප්‍රධානව ජාතීන් 12කගෙන් සමන්විත ඉතා සංකීර්ණ වෙළඳ ගිවිසුමක් වන අන්තර් පැසිෆික් සහයෝගීතා වෙළඳ ගිවිසුමට වියට්නාමය ඇතුලත් වී තිබේ. මෙයට අමතරව ඉන්දියාව, චීනය මෙන්ම වෙනත් යුරෝපයේ රටවල් සමග ද ඔවුන් වෙළඳ ගිවිසුම් ගණනාවක් මේවන විට අත්සන් කර ඇත. මෙයට අමතරව රට තුළට ආයෝජකයින් ආකර්ෂණය කරගැනීමට ද වියට්නාමය නොයෙකුත් පියවර ගෙන තිබේ. අප රටේ ප්‍රසිද්ධ ඇඟලුම් නිෂ්පාදන ආයතනයක් වන හයිඩ්රාමනි ආයතනය ඉතා මෑතක දී එම රටේ ඇඟලුම් කර්මාන්ත ශාලා 4 ක් ආරම්භ කළේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහ ගතකිරීම වියට්නාමය මේ වනවිට අරඹා ඇත. කොමියුනිස්ට් ළදරු වලිප්පුවෙන් මිදී සමකාලීන ගෝලීය සංවර්ධන දාමයට භාණ්ඩ හා සේවා සපයමින් තම රටේ සංවර්ධන කටයුත්ත කර ගැනීමට වියට්නාමය සාර්ථකව ප්‍රවේශ වී ඇත. තම දොරකඩ සිදුවන චීනයේ සංවර්ධනය ද වියට්නාමයට මහත් රුකුලකි. සංවර්ධන ඉනිමගේ ප්‍රථම අඩිය තැබීමට උත්සාහ දරන රටවලට වියට්නාමය ආදර්ශයකි. ප්‍රශ්නයකට ඇත්තේ ඒ රටේ ප්රාතන්ත්රවාදයක් නැතිවීම පමණි. රාජපක්ෂ වළපල්ලට යෑවීමට තැත් කළ ප්රජාතන්ත්රවාදය රැකගැනීමට අපි සමත් වි සිටිමු. ඇමෙරිකන් කුමන්ත්‍රණ භීතියක් මවා පා ජාතිවාදින් සමඟ එක් වී රට අවුලට ඇද දැමීමට අමුඩ ගසන වාමාංශික යැයි කියාගන්නා මෙරට ඇතැම් පිරීස් තානාපති කාර්යාලය ඉදිරිපිට පිකට් බෝඞ් උස්සනවා හැරෙන්නට ඇමෙරිකාවට එරෙහිව කළ වෙනත් සටනක් නැත. එහෙත් වීරෝධාර සටනකින් ඇමෙරිකාව පරදා තම මව් බිම ආරක්ෂාකරගත් වියට්නාමය තම පරම සතුරා සමග ද උපායශීලීව වෙළඳ ගිවිසුම් ඇතිකර ගනිමින් රට සංවර්ධනය කරා මෙහෙයවමින් සිටී. වේගයෙන් දියුණු වන අසන්න රට වන ඉන්දියාව සමඟ වෙළඳ ගිවිසුමක් අත්සන් කරනවාට ද අප රටේ අතිවාමවාදින් විරුද්ධ ය. අපිට පාලනය කළ නොහැකි සන්දර්භයක් තුළ සංවර්ධන ක්‍රමෝපාන් සකස්කර ගැනීම පසෙක තබා දිය කොරහේ කිඹුලන් දකින අපේ රටේ අති වම්මුන්ට විකල්ප සංවර්ධන ක්රමෝපායක් නොමැතිවීම උත්ප්රාසජනකය.
