අහිතකර නමුත් සාම්පූර් ගල්අගුරු බලාගාරය පමාකළ එක වරදක්- මහාචාර්ය කුමාර් ඬේවිඞ්

90 ගණන්වල බරපතල විදුලි අර්බුදයක් ඇති විය. විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්ගේ අනාගත සැලසුමට අනුව කටයුතු නොකර එදා නොරොච්චෝලේ ගල් අූගුරුබලාගාරය කල්දැමීම නිසා එම අවුල ඇති වුනි. අල්ලස් ගැනීමේ ප්‍රශ්නයට අමතරව විදුල ිබලය නිෂ්පාදනය සම්බන්ධයෙන් ආණ්ඩුවට ප්‍රතිපත්තිය නැතිවීම මෙයට හේතු විය. ඒ නිසා අවසානයේ අපිට ඩීසල් වලින් ක්‍රිියාත්මක වන විදුලි ජනක යන්ත්‍ර වලින් විදුලිය නිපදවන්නට සිදුවිය. බාහිරින් විදුලිය ලබාගැනීමට එක ඒකකයකට රුපියල් 28ක් වැනි අධික මිලක් ගෙවීමට සිදුවේ. අනාගත සැළසුම මේ ආකාරයට ක්‍රියාත්මක වීම කල්දමා ගැනීම පිටුපස විදුලිය නිපදනව ආයෝජකයෝ ද සිටිති. 2009 ඇති වූ එ වැනි තත්ත්වයක් තමයි අදත් ඇතිවී තිබෙන්නේ.
සාම්පූර් ගල්අගූරු බලාගාරයෙන් 1913 විදුලිය දෙන බවට තමයි අතීතයේ දී සැළසුම තිබුනේ. ඊට පසු එය ප්‍රමාද වී 1916ට එය කල්ගියේ ය. දැන් 2016යේ දී සාම්පූර් බලාගාරයෙන් එය ලබාදිමට හැකිවී නැත. ඊට පසු 2018 දි ලබාදෙන බවට පොරොන්දු විය. සාම්පූර් ගල් අගුරු බලාගාරය ගැන පැහැදිළි අදහසක් ආණ්ඩුවට නැති අතරම විදුලිබල මණ්ඩලයට දී තිබෙන පණිවිඩය නම් සාම්පූර් ගල්අගුරු බලාගාරය තවදුරටත් ඉදිකරන්නේ නැත යන්න ය. ඒ වෙනුවට ගැස්වලින් ක්‍රියාත්මක වන බලාගාරයක් ඇති කරන ලෙස මේවන විට දන්වා තිබේ.
විදුලි ඉංජිනේරුවෙක් ලෙස මා දන්නා තරමින් ගල් අගුරු බලාගාර සාමාන්‍යයෙන් ප්‍රමාණයට වඩා ඇතිකරන එක හොඳ නැත. ඒ සමගම ඕනෑම රටක යම් ප්‍රමාණයක් ගල්අගුරු බලාගාර තිබුණාට වරදක් නැත. අවශ්‍ය ප්‍රමානයට වඩා ගල් අගුරු බලාගාර වැඩිවුවහොත් තමයි ගෝලිය උෂ්ණත්වයට බලපාන්නේ. එයට අමතරව ඝණ ද්‍රව්‍ය මහ පොළවට වැටුණු පසු එය ද අහිතකර ය. තවද ගල් අගුරුවල අළු විසිරී යෑම මිනිසුන්ගේ සෞඛ්‍යට ද අහිතකරකර ය. ඒ නිසා තමයි ලෝකයේ දැනට තිබෙන ගල් අගුරු බලාගාර අඩුකරගෙන යන්නේ. ඇමෙරිකාවේ සහ ජර්මනියේ දැනට තිබෙන ඒවාට අමතරව අලුතින් ගල් අගුරු විදුලි බලාගාර තනන්නේ නැත. දැනට එම රටවල අගුරු බලාගාර තිබෙන්නේ ගැස්වලින් 30% සහ ගල්අගුරු බලාගාර වලින් 30%ක් යන අනුපාතයට ය. අනිත් 40% ජල විදුලියෙන් හා වෙනත් මාර්ග වලින් ලබාගනී. ඉන්දියාවේ හා චීනයේ ගල් අගුරු බලාගාර තමයි වැඩියෙන් භාවිතා කරන්නේ. ඒ වගේම අනාගත සැලසුම තමයි ගල් අගුරු බලාගාර ඇති කිරීම. නමුත් චීනය ද ගල් අගුරු බලාගාර වලින් 40%ක් අඩු කරන්නට බලාපොරොත්තු වේ. ඉතා ඉක්මණින් ගල් අගුරු බලාගාර ඉවත් කරන්නට නොහැකි බව පවසා ඇති ඉන්දියාව ද එය සෑහෙන්නට අඩුකරන බව කියති.
ශ්‍රි ලංකාවේ අපිට දැනට තිබෙන්නේ එක ගල් අගුරු බලාගාරයකි. එය තිබෙන්නේ නොරොච්චෝලේ ය. මගේ අදහස අනුව පාරිපරික ආරක්ෂක විධිවිධාන හරියට සැලසුම් කර තව එක ගල්අගුරු බලාගාරයක් ලංකාවේ පිහිටුවීම වරදක් නොවේ. මෙහි දී නොරොච්චෝලේ ඒක හරියට කර නැතිබව ද සඳහන් කළයුතු ය. නමුත් සාමාන්‍යයෙන් දිගු කලීන සැළසුමකට අනුව අපි ද ගල් අගුරු බලාගාරය ඉවත් කළයුතු ය. මෙයින් මා කියන්නට උත්සහ දරන්නේ අපේ පෙර සැළසුම්වලට අනුව ආරම්භ කිරීමට නියමිතව තිබු ගල් අගුරු බලාගාර දිගින් දිගට කල් දැමීමට අමතරව මේ මොහොතේ නවතා දැමිමට ගත් තීන්දුව වැරදි බව ය. ඒ තීන්දුව වැරදි වන්නේ ඇයි ? මූලික වශයෙන් එය වැරදි කියන්නට හේතුවක් ඇත. එයින් ඇතිවන හිස් කාල පරාසය පහසුවෙන් පිරවිය නොහැක. මෙය තවත් ආකාරයකට පැහැදිළි කරන්නේ නම් මා පෙර කියු පරිදි ගල් අගුරු නැවැත්විය යුතු ය. නමුත් විදුලි බලය සම්බන්ධයෙන් අපගේ අනාගතය කුමක් ද? යන්නට පිළිතුරක් තිබිය යුතු වේ. නමුත් එයට සැබෑ පිළිතුරක් නොමැතිවයි සාම්පූර් බලාගාරය නතර කරන්නේ. ගෑස් මෙරටට ගෙන්නන්නට සිදුවන්නේ ද්‍රව්‍යයක් ලෙසට ය. එසේ ද්‍රව්‍යයක් හැටියට ගෑස් ආනයනය කර වරායේ සිට බට මාර්ගයෙන් උඳුණට සම්බන්ධ කර එම බලයෙන් ටර්බයින් එක කරකවන්නට සිදුවේ. වෙනත් රටවල එසේ කරන්නට අවශ්‍ය නැත. නමුත් අපිට ගෑස් නැව් මගින් ගෙනෙන්නට සිදුවේ. ඒ නිසා ගැස් ද්‍රව්‍යක් බවට පත් කිරීමට ද යම් මිලක් දැරීමට සිදුවේ. මේයට අමතරව මේ සඳහා වරායක් ද අලුතෙන් හදන්නට අවශ්‍ය ය.. දැන් සාම්පූර් ගල් අගුරු බලාගාර සැළසුම නවත්වා ඒ වෙනුවට 2023 නැතිනම් 2024 ට කලින් ගැස් බලාගාරයක් හදන්නට නොහැක. මගේ ඇස්තමේන්තුව අනුව මේ සැළසුම වෙනස් නොකරන්නේ නම් එය නිම කරන්නට හැකි වන්නේ 2025 දී ය. මේ ආණ්ඩුව සාම්පූර් ගල් අගුරු බලාගාරය නැවැත්වීම නිසා විශාල හිදැසක් නීර්මානය වී ඇත. ඒ හිදැස පිරවීමට කිසිදෙයක් නොකලොත් අනිවාර්යයෙන්ම නුදුරු අනාගතයේ දි විදුලිය කපන්නට සිදුවේ. දැන්ම ආරම්භ කළහොත් අලුත් ගැස් බලාගාරයෙන් විදුලිය නිපදවන්නට හැකිවන්නේ 2023 දී පමණ ය. එසේ හැකි වන්නේ සියල්ලම හොදින් සිදුවී මෙම ව්‍යාපෘතිය නිම කෙරුනොත් පමණි. සැලසුම හරියට ක්‍රියාත්මක කිරීම, ණය මුදල හරි වේලාවට ලැබීම, වරාය නිම කිරීම, ගැස්නල එළිම වැනි දේ හොඳින් කෙරුනොත් 2023 පමණ වෙනවිට ගැස් බලාගාරය ක්‍රියාත්මක කළහැක. එහිදි 2018 සිට 2023 වෙනතුරු විදුලිය කැපීමක් කරන්නට සිදුවේ. ලංකාව වැනි රටක අර කියු පියවරයන් ඉතා සුමුදු ආකාරයට සිදුවන්නේ නැත. මගේ ඇස්තමේන්තුවට අනුව ඒ නිසා 2025 තරම් කාලයක් ගතවන්නට පුළුවන. එහෙම නම් මගේ තක්සේරුව අනුව 2023 සිට 2025 දක්වා කාලය තුළ ද විදුලිය කැපිමක් ද සිදුවේ. ඒ කියන්නේ සමස්තයක් ලෙස 2019 සිට 2025 දක්වා විදුලිය කැපීම බලාපොරොත්තු විය යුතු ය.
මේක මෙසේ වන්නේ සාම්පූර් ගල් අගුරු බලාගාරය දිගින් දිගටම කල් දැමිමේ ප්‍රතිඵලයක් ලෙසට ය. සාම්පූර් බලාගාරය පෙර කළ සැළසුමට අනුව කර තිබුණේ නම් 2018 නැතිනම් 2019 වන විට විදුලිය නිපදවිමට හැකිවන්නේ ය. එවිට මේ ආකාරයට විදුලිය කැපිමක් අවශ්‍ය වන්නේ නැත. මේ නිසා තමයි මා කියන්නේ සාම්පූර් ගල් අගුරු බලාගාරය නැවැත්වීමට ගත් තින්දුව වැරදි බව. මේක ඇත්තටම කල් ගියේ දේශපාලන හේතුන් මත ය. කලික් කලට සිටි අගමැතිවරු, ඇමතිවරු, ජනාධිපතිවරු, පරිසරික කාරයෝ වැනි වෙනත් විවිධ බලවේගයන් නිසා මේ තත්ත්වය උදා වු බව සඳහන් කළයුතු ය.
නොයෙකුත් බලපෑම් නිසා වර්තමාන ජනාධිපතිවරයා ගල් අගුරු වෙනුවට ගැස්වලට මාරු වෙමු ද යන යෝජනාව ඉන්දිය අගමැති මොදීට කළේ ය. මොදී මේ යෝජනාවට ඇත්තටම යහපත් ප්‍රතිචාරයක් දැක්වූවා ද යන්න මා නොදන්නා නමුත් සමහරවිට නිකමට මෙන් එසේ කරමු යැයි පවසන්නට ඇත. නමුත් මේ වන විට ඒ පොරොන්දුවට කුමක් වුවා ද යන්න අපි දන්නේ නැත. කෙසේ නමුත් මා පෙර සඳහන් කළ පරිදි නැවත විදුලිය කැපිම නැවැත්වීම සඳහා පෙර සෙල්ලමට පටන් ගන්න බව පැහැදිළිය. මේ සෙල්ලම වන්නේ ඩීසල් බලාගාර වලින් විදුලිය ලබාගැනීම ය. ඩිසල් බලාගාර ඉක්මනින් ස්ථාපිත කිරීමට හැකිවීම මෙයට හේතු වී තිබේ. ඩීසල් ජනක යන්ත්‍රයක් වසරකින් ස්ථාපිත කළ හැක.
ඒ අනුව දැන් ක්‍රියාත්මක කරන්නට යන්නේ මෙවැනි වැඩ පිලිවෙලකි. ආණ්ඩුවට අනුව සාම්පූර් ගල් අගුරු බලාගාරය ස්ථාපිත කරන්නේ නැත. ඒ වෙනුවට ගැස් බලාගාරයක් ස් ථාපිත කෙරේ. ඒ අතරතුර කාලයේ තෙල් බලාගාර ගෙන්නන්නට තමයි සැළසුම තිබෙන්නේ. දැන් මේකෙන් අපිට විශාල වියදමක් දරන්නට සිදුවේ. සාම්පූර් බලාගාරය තිබුනේ නම් යැයි යන උපකල්පනය තුළ අපිට සංසන්දනයක් කළ හැක. ( මී ළග කොටස පසුවට)

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *