ඩොලර් ලැබීම ගැන මහ බැංකුවේ කතාව මුදල් ඇමතිට විශ්වාස නෑ !

ශ්‍රී ලංකාවට ලැබෙන බවට ප්‍රකාශිත ඩොලර් ණය ලැබීම ගැන කිසිදු සහතිකයක් නැති බව මුදල් ඇමති , අගමැති මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට පෙරේදා දැනුම් දුන් බව වාර්තා වෙයි. අගමැතිතුමා ප්‍රකාශ කොට ඇත්තේ බලාපොරොත්තු වන ඩොලර නොලැබීමට විශාල ඉඩක් ඇති බව සහ රටේ විදේශ සංචිත තව දුරටත් පහළ යා හැකි බව යි.
මෙරටට විදේශ මුදල් ලබා ගැනීමට මහ බැංකුව ක්‍රියාත්මක වී ඇති බවත්, එබැවින් විදේශ සංචිත පිළිබඳව බිය නොවිය යුතු බවත්, කියමින් මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා විශේෂ ප්‍රකාශයක් කළේ දින කිහිපයකට පෙර දී ය. ඒ අනුව ඉදිරි මාස දෙක තුළ දී ඩොලර් බිලියන 4 කට ආසන්න මුදලක් මෙරටට ලැබීමට නියමිත ය.
කෙසේ වෙතත්, මුදල් ඇමති ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට කළ ප්‍රකාශයෙන් පෙනෙන්නේ මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රකාශය පිළිබඳව මුදල් අමතිවරයගේවත් විශ්වාසයක් නැති බව යි.
ඉන්දියානු සංචිත බැංකුවෙන් ඩොලර් මිලියන 400 ක් ලබා ගැනීමේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් මහින්ද රාජපක්ෂ මහතා රටේ මුදල් තත්ත්වය පිළිබඳව මෙම දැනුම් දීම සිදුකොට තිබේ.
