මහින්දගේ කට්ටිය කපාගෙන එන්න හැදු බැසිල් අවුලක ; ජාතික ලැයිස්තු මන්ත්රීහු ඩබල් ගේමක !

හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දිවුරුම් දීම සඳහා ඉවත් විය යුතු ජාතික ලැයිස්තු මන්ත්රීවරයා පිළිබඳව අවුලක් නිර්මාණය වී ඇති බව තතු දත් ආරංචි මාර්ග කියයි.
මෙම තත්ත්වයට හේතු වී තිබෙන්නේ ඒ සඳහා ඉවත්වීමට මුල දී පොරොන්දු වී සිටි මන්ත්රීවරුන් තනතුරුවලින් ඉවත් නො වී වෙනත් අය ඉවත් කර වීමට උත්සාහ දැරීම නිසා ය.
බැසිල් වෙනුවෙන් මහාචාර්ය රන්ජිත් බණ්ඩාර මහතා ඉවත් වන බව වරෙක ප්රකාශ වූ අතර එය සාර්ථක නො වූ විට ෆලීල් මර්ජාන් මන්ත්රීවරයා ඉවත් කිරීමට උත්සහ දරා තිබේ. එහි දී, ඔවුන් ඉල්ලා අස්වන බවට ප්රචාර ගෙන ගියේ ඔවුන්ගේ කැමැත්තකින් තොරව බව කියති.
ඉල්ලා අස්වන්නේ නම් මහ බැංකු සභාපති තනතුර මහාචාර්ය රන්ජිත් බණ්ඩාර මහතාට ලබා දෙන බව මුල දී ප්රකාශ කළ ද, ඒ මහතාට එබඳු පොරොන්දුවක් නිශ්චිතව ලබා දී නැත.
පසුව මහින්ද රාජපක්ෂ මහතාගේ හිතවතෙකු වන ෆලිල් මර්ජාන් මහතා ඉවත් කිරීමට උත්සාහ දර ඇත්තේ පාර්ලිමේන්තුවේ කටයුතුවලට ඔහුගේ දායකත්වය ප්රමාණවත් නැති බව කියමිනි. කෙසේ වෙතත් ඉවත් නොවන ලෙස ෆලීල් මර්ජාන් මහතාට අගමැති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී ඇති බව වාර්තා වෙයි. එම උපදෙස් ලැබී ඇත්තේ ඉල්ලා අස්වන ලෙසට ඔහුට එල්ල වී ඇති බලබපෑම් ගැන මස්ජාන් මහතා අගමැතිතුමා දැනුවත් කිරීමෙන් පසුව ය.
මෙම තත්ත්වය උදා වී ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු පැමිණීමට ඉල්ලා අස්වන බවට පොරොන්දු වී මන්ත්රී තනතුරු ලබාගත් උදවිය අද එම තනතුරුවලින් ඉල්ලා අස්වීමට කැමැත්තක් නොදැක්වීම නිසා බව අපේ ආරංචි මාර්ග කියයි.
ජයන්ත කැටගොඩ මහතාට ජාතික ලැයිස්තුවෙන් මන්ත්රී ධුරයක් ලබා දුන්නේ බැසිල් වෙනුවෙන් ඉල්ලා අස්වන බවට පොරොන්දුවක් මත බව කියති. දැන් එම පොරොන්දුව ඉටු කිරීමට ඒ මහතා මැලිකමක් දක්වන බවත්, තම හිතවතා තබගෙන වෙනත් අයෙකු ඉවත් කිරීමට බැසිල් රාජපක්ෂ මහතා උත්සාහ දැරීම ද වත්මන් අවුලට හේතු වී ඇති බව කියති.
බැසිල් වෙනුවෙන් ඉල්ලා අස්වන්න ජාතික ලයිස්තුවේ බොහෝ දෙනා සුදානම් බව ප්රසිද්ධියේ කීව ද, සියලු දෙනා යටින් උත්සහ දරන්නේ තම තමන්ගේ මන්ත්රී ධුර රැක ගැනීමට බව ද කියති.
ඉල්ලා අස්වන අයෙකුට රජයේ ඉහළ තනතුරක් දීමට යෝජනා වී ඇතත් , ඒ සඳහා කිසිදු පොරොන්දුවක් දීමට ජනාධිපතිතුමා ඉදිරිපත් නොවන බව ද දැනගන්නට ඇත.
