ලංකාවේ බලාපොරොත්තු තිබෙන්නේ එදිරිවාදී වාතාවරණයකයි – ජෝර්ජ් සෝරෝස්

‘ශ්‍රී ලංකාව ධරණීය හා ඇතුළත් කරගන්නාසුළු සංවර්ධනයක් දෙසට‘ යන මැයෙන් සංසදයක් 2016 ජනවාරි දා කොළඹදී පැවැත්වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍ර‍මසිංහගේ අනුග්‍ර‍හයෙන් පැවැත්වුණු මෙම සංසදය සංවිධානය කරනු ලැබුවේ ජෝර්ජ් සෝරෝස් පදනම විසිනුයි.

ජාත්‍යන්තර ව්‍යාපාරික ජෝර්ජ් සෝරෝස්, නොබෙල් සම්මානලාභී ජෝසප් ස්ටිග්ලිට්ස් හා හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ උගතකු වන රිකාඩෝ හවුස්මන් මෙම සම්මන්ත්‍ර‍ණයේදී සංවර්ධනය පිළිබද සිය අදහස් ඉදිරිපත් කළා.

ජෝර්ජ් සෝරෝස් පදනම මෙම සම්මන්ත්‍ර‍ණය සංවිධානය කිරීමට හේතුව ආණ්ඩුව කෙටි කාලයක් තුළ අත් කරගෙන තිබෙන දෙය තමන්ගේ සිත් ගැනීම බව සෝරෝස් පැවසුවා. “රජය වඩා විවෘත සමාජයක් වෙත ගමන් කර තිබෙනවා. ඒ සඳහා හැකි උදව්වක් ම කරන්නට මම කැමතියි. ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සොයන අය මෙහි ගෙන්වා තිබෙනවා.

“මම ශ්‍රී ලංකාව ගැන කතා කරන්නට දන්නේ නැහැ. එහෙත් මට පිටත ලෝකය හා ශ්‍රී ලංකාවට මුහුණ දෙන්නට සිදු වන පීඩනයන් ගැන කතා කරන්නට පුළුවන්. එහෙත් මම ඔබට නරක ආරංචියක් ගෙන එන දූතයෙක් වෙන්න සිදු වෙනවා. ඔබ මුහුණ දෙමින් සිටින්නේ ඉතා ම එදිරිවාදී බාහිර වාතාවරණයකටයි. චීනයේ පමණක් නෙමෙයි සියලු රටවල ආර්ථික වර්ධන වේගය අඩු වී තිබෙනවා. එය කලින් අවුරුදුවලට වඩා බරපතලයි.”

වර්තමානයේ ඇති වී තිබෙන අසමතුලිතතාවන් 1930 දශකයේ අග පැවති උද්ධමනය සිහිපත් කරවන බව සෝරෝස් පැවසුවා. එම මහා අවපාතය විසින් නිලධාරීන්ට යම් දුරකට වළක්වා ගත හැකි දේ ගැන ඉගැන්වූ බව ද, උද්ධමනය අවපාතයක් බවට පත්වීම වළක්වා ගන්නට අනුගමනය කළ යුතු දැඩි පියවර වෙත ලොව පුරා මහ බැංකු යොමු කළ බව ද සෝරෝස් පෙන්වා දුන්නා.

“එක්සත් ජනපදය හා බ්‍රිතාන්‍යය මෙම පාඩම් අනුව පියවර ගත් මුල් ම රටවල් වන අතර දැන් ඔවුන් සිය ආර්ථිකයන් වර්ධනය කර ගන්නට හා අතිධාවනකාරිත්වයන් නිවැරදි කර ගන්නටත් ආසන්නයි. පොළී අනුපාතිකයන් සකස් කරගෙන සුබවාදී අනුපාතික කරා ආපසු යන්නට ඔවුහු සූදානම්. එහෙත්, එමගින් සංවර්ධනය වෙමින් පවතින ලෝකයට ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඔවුන් වාසි ලබන්නේ අමුද්‍රව්‍යවලට ඇති ඉහළ ඉල්ලුමෙන් වීමයි එයට හේතුව. චීනයේ වර්ධන රැල්ලෙන් ඔවුහු වාසි ලැබුවා. එහෙත් දැන් එයට අලුත් වර්ධන මාදිලි සකසා ගැනීම ගැටලුවක් වෙලා.

“චීනය වේගයෙන් වර්ධනය වුණා. එහෙත් දැන් එයට පහළ මට්ටමේ වර්ධන වේගයකට අනුගත වෙන්නට සිදු වී තිබෙනවා. එමගින් පාරිභෝගික භාණ්ඩ මිළ සම්බන්ධයෙන් නිශේධාත්මක ප්‍රතිඵලයක් ඇති වී තිබෙනවා. අවාසනාවකට මෙන් චීනය තත්වයන්ට හැඩගැසීමේ බරපතල ගැටලුවකට මුහුණ දෙනවා. එරට ඉදිරියේ තිබෙන්නේ රළු තෝරාගැනීම් ටිකක්. චීනය සිය ප්‍රශ්න සෙසු ලෝකයටත් බෙදා දෙනවා. මෙය පසුගිය මාස කීපය තුළ ම සිදු වුණා. අපි ඉතා බරපතල සංක්‍රාමීය ප්‍රශ්නයකට මුහුණ දී සිටිනවා.”

බාහිර අංශය සාරාංශගත කරමින් සෝරෝස් පැවසුවේ එය අර්බුදයක් බවයි. ඉහළ බලාපොරොත්තු තබාගෙන අමාරුවේ නො වැටෙන ලෙස සෝරෝස් ලංකාවට උපදෙස් දුන්නා.

“එය අර්බුදයක් බවට පත් වෙමින් තිබෙන බව මම කියන්නට කැමතියි. එහි මුල්‍ය වෙළඳපොළ දෙස බලනවිට මට බරපතල අභියෝගයක් පෙනෙනවා. එය මට සිහිපත් කරන්නේ 2008දී අප මුහුණ දුන් අර්බුදයයි. මම මගේ ආයෝජක කාර්ය මණ්ඩලයට උපදෙස් දුන්නේ ඉතා ම පරිස්සමෙන් කටයුතු කරන්නටයි. මන්ද, උද්ධමනය ඇති විට ගෘහ ඒකකවලට වාසියක් ඇති වෙනවා. ඒවාට අතිරේක ආදායම් ලැබෙනවා. ඒවා වැය කරනවා වෙනුවට ඔවුන් එය ඉතිරි කරනවා. එය ප්‍රාග්ධන වෙළඳපොළට හොඳ නැහැ.

“බැංකු ණය දීම අඩු කරනවා. හොඳට හෝ නරකට ශ්‍රී ලංකාව අයත් වන්නේ අරමුදල් අවශ්‍ය රටවලටයි. මම හිතන අන්දමට ශ්‍රී ලංකාව දීප්තිමත් තැනක්. ජාතික සමගි ආණ්ඩුවේ ජයග්‍රහණ හේතුවෙන් තත්වය හඳුනා ගැනීමේ හැකියාව හා වෙනත් බොහෝ රටවල් මුහුණ දෙන ඉරණම වළක්වා ගනිමින් ආයෝජන ආකර්ශනය කර ගන්නටත් ශ්‍රී ලංකාවට හැකි පුළුවන්. මා සිතන පරිදි සංචාරක කර්මාන්තයේ දැවැන්ත අවස්ථා තිබෙනවා. මන්ද, වෙනත් ආකර්ශනීය රටවල අභ්‍යන්තර අර්බුද නිසා ඒවායේ තරගකාරිත්වය නැති වී ගොස් තිබෙනවා. මෙම තත්වය තුළ ඉදිරියට යන්නට පුළුවන්. එහෙත් රළු යථාර්ථයට මුහුණ දෙන්නට සිදු වෙනවා. ඔබ නිවැරදි දිශාවේ ඉදිරියට යමින් සිටින නිසා ව්‍යතිරේඛයක් සිදු වෙන්නට පුළුවන්. ලෝකයේ වෙනත් තැන්වලට මෙන් නොව, ඔබට මුදල් ගලා එන්නට පුළුවන්. බැංකු විසින් මුදල් එළියට අදිමිනුයි සිටින්නේ.”

විකල්ප අරමුදල් සම්පාදනය දුෂ්කර කාර්යයක් වුවත්, ශ්‍රී ලංකාව වෙනත් ආයෝජන මූලාශ්‍ර‍ සොයා ගත යුතු බව සෝරෝස් දුන් අවවාදයයි.

“මෙම සමුළුවෙන් අවදි කරන ලද කාරණය වන්නේ ඔබට ඔබගේ බලාපොරොත්තු පහත හෙළන්නට සිදු වී තිබෙන බවයි. අනෙක් පැත්තෙන්, ඔබගේ ජයග්‍ර‍හණ ගැන පමණක් උදම් වන්නේ නැතිව ඔබ මෙය තේරුම් ගත යුතුයි. මෙය මුල්‍ය වෙළපොළවල් කඩා වැටීමේ ආරම්භය පමණයි. ඒ වගේ ම මෙය ශ්‍රී ලංකාව ව්‍යතිරේඛයක් වීමේ ද ආරම්භයයි.”

ජෝර්ජ් සෝරෝස් සිය කතාව අවසන් කළේ එය ටිකක් බලාපොරොත්තු සුන් කරනසුළු එකක් වීම ගැන සමාව අයදිමිනුයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *