ඔබද විපක්ෂ නායක මමද විපක්ෂ නායක – සම්පත් අමරසිංහ

විපක්ෂ නායකවරයා පත් කිරීම් සම්බන්ධව මේ වන විට එක්සත් ජාතික පක්ෂයෙන් ලිපි දෙකක් ලැබී ඇති බව කියැවේ. ඉන් එක ලිපියක් එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක ධුරයට පත් කළ යුතුය කියමිනි අනෙක් ලිපියෙහි සඳහන්ව ඇත්තේ පරාජිත ජනාධිපති අපේක්ෂක නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක ධුරයට පත්කළ යුතුය යන්නය

ලිපි දෙකෙහිම සඳහන්ව ඇත්තේ විපක්ෂ නායක ධුරය සම්බන්ධව වුවද ලිපි දෙකක් මගින් පැහැදිලි වන්නේ ජාතික පක්ෂය තුළ මේ වන විටත් පැහැදිලි බෙදීමක් පවතින බවයි.

මැතිවරණ පරාජයක් ලැබීමෙන් පසුව යම් පක්ෂයක යම් පමණකට හෝ ආරවුල් ඇතිවීම සාමාන්‍ය තත්වයකි. පක්ෂයක සාර්ථකත්වය රඳා පවතින්නේ පරාජයෙන් පසුව වුවද මතුවිය හැකි ආරවුල් යම් ආකාරයකින් සමනය කර ගනිමින් ඉදිරියට යාමට දක්වනු ලබන සමත්කම අනුවය. නමුත් එක්සත් ජාතික පක්ෂයේ විසින් මේ වන විට පෙන්නුම් කරමින් සිටින්නේ එම පක්ෂය ඉටුකරමින් සිටින්නේ ආරවුල් සංසිදුවා ගැනීමට නොව නැති අවුලක් ඇතිකරගැනීමෙන් පක්ෂය අර්බුදයකින් වඩාත් බරපතළ අර්බුදයකට ඇද දැමීමට බවයි.

මෙකී අර්බුධය ඇති කිරීමෙ වරදෙහි වැඩි කොටස සජිත් ප්‍රේමදාස පාර්ශ්වය විසින් භාරගත යුතු බව ද එසේ ම කිව යුතුව තිබේ. පාර්ලිමේන්තුවේ සිරිත අනුව විපක්ෂ නායක ධූරය හොබවනු ලබන්නේ පාර්ලිමේන්තුවේ දෙවන බහුතරය නියෝජනය කරනු ලබන කණ්ඩායමටය . එහිදී එම කණ්ඩායමේ නායකයා කෙරෙහි ප්‍රමුඛතාවය හිමි වනු ලැබේ.

ජනාධිපතිවරණයෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට පාර්ලිමේන්තුවේ බලය හුවමාරු වී තිබේ. එසේ වුවද මේ වන විටත් පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි කණ්ඩායම නියෝජනය වන්නේ එක්සත් ජාතික පක්ෂය මගින්ය. එසේම අවශ්‍ය වී නම් එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ බලය අල්ලා ගෙන ඉන්නට හැකියාවක් පවා තිබුනි එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු බලය සහ අගමැතිධූරය ඇතුළු අමාත්‍ය ධුර අත් හැරීම මගින් එම පක්ෂයේ අතීතයේ පටන් ප්‍රජාතන්ත්‍රික ලිබරල් මතවාදය තවමත් කිලිටි කර ගෙන නොමැති බව තහවුරු කරනු ලැබීය.

එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණ ප්‍රතිඵලයට හිස නවා බලය අතහැරීමේ ප්‍රජාතන්ත්‍රික භාවය සහ මහත්මා දේශපාලන ගුණය වඩාත් හොදින් තහවුරු කරගත හැකි වන්නේ දින 52 දේශපාලන පෙරළිය සමයෙහි ඒකාබද්ධ විපක්ෂය කටයුතු කරනු ලැබූ ආකාරයයට සාපේක්ෂව කල්පනා කරන බලන විටදීය.

කෙසේ වුවද දැන් එක්සත් ජාතික පක්ෂය තුළ විපක්ෂ නායක ධුරයට ඇති බලපෑම් හේතුවෙන් පැහැදිලි පුපුරා යාමක් සිදුවී තිබේ. එම තත්ත්වය පක්ෂයේේ අනාගතයට පමණක් නොව ඉදිරි මහ මැතිවරණයේ දී පක්ෂයේ ඉරණමට සහ රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය සහ පැවැත්මට ද හිතකර නැත

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය තවමත් ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා වෙතය. ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා යනු එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ ද නායකයා වන්නේය. ඒ ඒ මහතා මේ වන විටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන බැවිනි. ඒ අනුව විපක්ෂ නායක ධුරය අයිති වන්නේ එක්සත් ජාතික පක්ෂයට නම් ඊට සුදුසු තැනැත්තා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතාය

මීළඟට විමසා බැලිය යුතු වන්නේ විපක්ෂ නායකධූරය එක්සත් ජාතික පක්ෂයට හිමිවන විට ඒ සඳහා රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවට සජිත් ප්‍රේමදාස මහතා වඩාත් සුදුසු යැයි සජිත් පාර්ශ්වය කල්පනා කරන්නේ නම් ඔවුන් කටයුතු කළ යුතු වන්නේ කෙසේද යන්නයි. විපක්ෂ නායක ධූරයට රනිල් වික්‍රමසිංහ මහතා සුදුසු නැත යනුවෙන් හෝ රනිල් වික්‍රමසිංහ මහතාට වඩා සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක ධුරයට සුදුසු යැයි මතයක් හෝ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම තුළ පවතී නම් සජිත් ප්‍රේමදාස මහතාට තිබුණේ පක්ෂයේ ආරවුලක් ඇති නොවන ආකාරයට කටයුතු කර තමන් වෙතට විපක්ෂනායකධූරය ලබාගැනීමය.

විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් ප්‍රශ්නයේදී සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කරන්නේ මීට පෙර වතාවක එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට ගල් ගැසූ ආකාරයෙන්ම බව පෙනෙන්නේට තිබේ.

පෙනෙන්නට තිබෙන කරුණු අනුව විපක්ෂ නායකධූරය සම්බන්ධව එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවක් සිදු වී නැත. එවැනි සාකච්ඡාවක් සිදුවන්නේ නම් ඊට මුල පිරිය යුතුව තිබුනේ සජිත් ප්‍රේමදාස මහතා විසිනි. එසේ නැතහොත් සජිත් ප්‍රේමදාස මහතා නියෝජනය කරනු ලබන පාර්ශවය විසිනි මක්නිසාදයත් එවැනි සාකච්ඡාවක් පක්ෂය තුළ නොපවතින අවස්ථාවක විපක්ෂයේ මහ ලේකම්වරයා වශයෙන් තම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම වෙනුවෙන් විපක්ෂනායකධූරයට සිය පක්ෂයේ නායකයා පත් කරන්නැයි කතානායකවරයාගේ ගෙන් ඉල්ලීමේ වරදක් නැති බැවිනි

සජිත් ප්‍රේමදාස මහතා කර ඇත්තේ කුමක්ද? නීතියට අනුව හෝ සම්ප්‍රදාය අනුව තමන්ට හිමි නොවන පාර්ලිමේන්තුවේ තනතුරකට පස්සා දොරෙන් හොර පාරෙන් ඇතුළුවීම සඳහා තමා හිතෛෂිවන්තයන් මගින් කතානායකවරයාට ලිපියක් යැවීමය. එමගින් සජිත් පාර්ශවය විසින් පක්ෂය තුළ මෙතෙක් නොතිබූ අර්බුදයක් අලුතින් ඇතිකර තිබේ.

ජනාධිපති ධූර අපේක්ෂකත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය තුළ තිබුණේ අර්බුදකාරී තත්ත්වයකි. මෙම අර්බුදයට හේතුව වූයේද සජිත් පාර්ශ්වයේ හැසිරීමය. හොරාට පෙර කෙහෙල් කැන වැට පැන්නා සේ සජිත් මහතා ඇතුළු පිරිස එළියෙ රැස්වීම් පවත්වමින් තමන්ට ජනාධිපති ධූර අපේක්ෂකත්වය අවශ්‍ය බවට ඝෝෂා කරන්නට පටන්ගත්තේය. ඉන් සිදුවූයේ එජාප අභ්‍යන්තරයේ ඇති අවුල පිටතට ප්‍රදර්ශනය වීම ය. එමගින් වාසිය ඇති වුයේ එක්සත් ජාතික පක්ෂයට ප්‍රතිවාදී අපේක්ෂකයාටය එම අර්බුදය කෙළවර වූයේ සජිත් ප්‍රේමදාස මහතාට පරාජය අත්කර දෙමිනි

පරාජය හමුවේ වුවද එක්සත් ජාතික පක්ෂයට ඉදිරි මහමැතිවරණයට ශක්තිමත්ව මුහුණ දිය හැකි වාතාවරණයක් ජනාදිපතිවරනය විසින් ගොඩ නගා දෙනු ලැබිණි. ඒ පක්ෂයේ සියලු කල්ලි කණ්ඩායම්වලට නාමිකව හෝ එක්ව වැඩ කළ හැකි පසුබිමක් ජනාධිපතිවරණය විසින් ගොඩනඟා දෙනු ලැබූ බැවිනි. එක්සත් ජාතික පක්ෂයේ විපක්ෂ නායක පොරය විසින් බිඳ වැටෙමින් පවතින්නේ එකී සමුහිකත්වයය. එම තත්ත්වය ඉදිරි මහ මැතිවරණයේදී එජාපයට කෙසේ බලපානු ඇත් දැයි කීමට තවමත් ඉක්මන් වැඩි නමුත්, එමගින් පක්ෂයකට අවාසියක් මිස වාසියක් නැති බව නම් නිසැකවම කියන්නට පුළුවන

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *