විශ්වාසභංගයේ ඇතුළාන්තය – එම් ඕ ඒ ද සොයිසා
රටේ දේශපාලන ක්ෂේත්රය තුළ ඉමහත් ආන්දෝලනයක් ඇතිකළ අගමැතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව අග්‍රාමාත්‍යවරයා විසින් වැඩි ඡන්ද 46 න් ජයග්‍රහණය කිරීමෙන් පසුව නිමාවට පත්විය. යෝජනාවට ඡන්දය විමසු අවස්ථාවේ දී එයට විපක්ෂව ඡන්ද 122 ක් ලැබුණු අතර පක්ෂව ලැබුණේ ඡන්ද 76 ක් පමණි. ඡන්දය දීමෙන් වැළකී සිටි මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 26 ක් විය. මේ අනුව වැඩි ඡන්ද 46 න් යෝජනාව පරාජයට පත්විය. අගමැතිවරයා විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කළද එය එතනින් නිමා වූ බවක් පෙනෙන්නට නැත. හේතුව එමගින් ඇතිකළ අලුත් දේශපාලන ප්‍රශ්න කිහිපයක් හේතුවෙන් දේශපාලන ක්ෂේත්රය යළි උණුසුම් වී ඇති ස්වභාවයක් පෙන්නුම් කිරීමය.
මෙයින් පළමු සහ ඉතාමත්ම වැදගත් ප්රශ්නය වන්නේ විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට සැබෑ වශයෙන්ම මුල පිරුවේ කවුරුන්ද යන්නය. බැලූ බැල්මට පෙනී යන්නේ එයට මුල පිරුවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම බවය. නමුත් මෙමගින් සැබෑ යථාර්ථය පිළිබිඹු වනවාද යන සැකය මතු වේ.හේතුව පසුගිය මාස දෙකක වැනි කාලය තුළ අගමැතිවරයා තනතුරින් පන්නා දැමීමේ දැඩි උවමනාවක් හා අවශ්‍යතාවයක් තිබුණේ ඒකාබද්ධ විපක්ෂයට වඩා ජනාධිපතිවරයා නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වීමය.
විශ්වාසභංග යෝජනාව ගෙන එන තෙක්ම අගමැතිවරයා තනතුරින් ඉවත් කිරීම කෙරෙහි ඒකාබද්ධ විපක්ෂය එතරම් සැලකිල්ලක් දැක්වූයේ නැත. මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අගමැතිවරයාට විවිධ චෝදනා එල්ල කළද අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමක් ගැන ඔවුන් කථා කළේ නැත. ඒකාබද්ධ විපක්ෂය නිරන්තරයෙන්ම අවධාරණය කළේ ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවෙන් ඉවත් වී ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්ව එක්සත් ජාතික පක්ෂය නමැති පොදු සතුරාට එරෙහිව පෙලගැසී පොදු සතුරා පරාජය කොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනි ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳවය.
මෙයට පරස්පරව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනෙක් මැති ඇමතිවරුන් අගමැතිවරයා කෙරෙහි අනුගමනය කළේ ඒකාබද්ධ විපක්ෂය අනුගමනය කළ ප්‍රතිපත්තියට හාත්පසින්ම වෙනස් ප්‍රතිපත්තියක්ය. කාලවකවානු නිශ්චිත වශයෙන් සඳහන් කළ නොහැකි වූවද අගමැතිවරයා සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වැඩ කිරීමට නොහැකි බවත් එබැවින් අගමැතිවරයා තනතුරින් ඉවත් කොට ඔවුනට ගැලපෙන ආකාරයේ අගමැතිවරයකු පත්කර ගත යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන්ගෙන් විවෘතව මෙන්ම ආවෘතවද ප්‍රකාශ වීමට පටන් ගත්තේ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් වීමට මාස හත අටකට වැඩි කාලයක පටන්ය.
මෙයට මාස අටකට පමණ ඉහත දී මට හමු වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරයකු මා සමඟ කථාබස් කරමින් සිටිය දී කියා සිටියේ අගමැති සමඟ වැඩකළ නොහැකි බවත් ඔහු හැකි ඉක්මනින් තනතුරෙන් ඉවත් නොකරන්නේ නම් මේ ආණ්ඩුවට ඉදිරියට යාමට නොහැකි බවත්ය. එපමණක් නොව කෙසේ හෝ අගමැතිවරයා තනතුරින් ඉවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරන බවත් ඒ සඳහා දැනටමත් එක්සත් ජාතික පක්ෂයේ සමහර අය සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මේ කාලය තුළදීම රුපවාහිනී සහ ගුවන් විදුලි වැඩ සටහන් කිහිපයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සහභාගි වූ ජනාධිපතිවරයාගේ උපදේශකවරයෙක් විවාදයන්හි දී නිරන්තරයෙන්ම පල කළ අදහසක් වූයේ ආණ්ඩුව ඉදිරියට පවත්වා ගෙන යාමට නම් ආණ්ඩුවේ රූපාන්තර වෙනස් කිරීමේ අවශ්‍යතාවක් පැනනැඟී තිබෙන බවය.
රූපාන්තර යනුවෙන් ඔහු අදහස් කළේ පුද්ගලයන්ය. බහු වචනයක් යොදා ගත්තද ඔහුගේ කථාවෙන් පෙනී ගියේ රූපාන්තර යනුවෙන් අදහස් කරන්නේ පුද්ගලයින් කිහිප දෙනකු නොව තනි පුද්ගලයකු බවත් ඒ වූ කලී වෙනත් අයකු නොව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වන බවත්ය. මෙසේ කිරීමට හේතු මොනවාද යන්න සම්බන්ධයෙන් විමසූ විට ඔහු කියා සිටියේ අගමැතිවරයා විසින් ජාතික ආර්ථිකය හසුරුවන ආකාරය පිළිබඳව ජනාධිපතිවරයා බෙහෙවින්ම අසතුටට පත්ව සිටින බවත් උද්ගතව තිබෙන මේ තත්ත්වයෙන් ජාතික ආර්ථිකය බේරා ගැනීමට නම් ජාතික ආර්ථිකය අගමැතිවරයාගෙන් බේරා ගතයුතු බවත් එය කළ හැක්කේ අගමැතිවරයා තනතුරින් ඉවත් කිරීමෙන් පමණක් බවත්ය.වඩාත්ම වැදගත් කරුණ ඔහුගේ මුවින් පිට වන්නේ මීළඟටය.
ඒ වූ කලී 2020 දී පැවැත්වෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ඔහු කළ සඳහනය. විවෘතවම නොකීවද ඔහුගේ අදහස්වලින් තේරුම් ගියේ 2020 ජනාධිපතිවරණය සඳහා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ඉදිරිපත් වන බවත් එයට ඇති ලොකුම බාධකය රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා වන බවත්ය. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා තනතුරින් ඉවත් කොට ජනාධිපතිවරයාට අවශ්‍ය ආකාරයට හැසිරෙන එක්සත් ජාතික පක්ෂයේ වෙනත් අයෙක් අගමැති තනතුරට පත්කර ගතහොත් එම ප්රශ්නය නිරාකරණය කරගත හැකි බවත් ඔහුගේ කථාවෙන් තවදුරටත් පැහැදිලි විය. මෙම සංවාදයේ දී පැහැදිලිවම පෙනීගියේ ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශ්වය සහ අගමැතිවරයා අතර විරසකයට බලපා ඇති වඩාත්ම වැදගත් හේතුව 2020 ජනාධිපතිවරණය බවත් එය ආවරණය කිරීමේ කඩතුරාවක් හැටියට ජාතික ආර්ථිකය පිළිබඳ ප්රශ්නය ඉදිරියට දමා ඇති බවත්ය.
මහබැංකු බැඳුම්කර කොමිෂන් සභාව පත්කිරීම සහ එහි වාර්තාව නිකුත් වීම සිදුවන්නේ මෙම අර්බුදකාරී පරිසරය තුළය. ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශ්වයේ අය තදින්ම විශ්වාස කළේ කොමිෂන් සභා වාර්තාව මගින් අගමැතිවරයා චූදිතයෙක් කිරීමට ඉඩ තිබෙන බවත් එසේ වුවහොත් එය පදනම් කරගෙන පහසුවෙන් අගමැතිවරයා තනතුරින් පන්නා හැරිය හැකි බවත්ය. නමුත් කොමිෂන් සභා වාර්තාව එම බලාපොරොත්තුව පුස්සක් බවට පත් කළේය.
බැඳුම්කර ගනුදෙනුවට නියම හෝ අනියම් ආකාරයෙන් හෝ අගමැතිවරයාගේ සම්බන්ධයක් නොමැති බව කොමිෂන් සභා වාර්තාවෙන් පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අගමැතිවරයා තනතුරින් පන්නා හැරීමේ අරගලය විවෘත දේශපාලනයට ගෙන එන්නේ මින් පසුවය. පෙබරවාරි මාසයේ පැවැති පළාත් පාලන මැතිවරණයේ දී ජනාධිපතිවරයා මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරු විවෘතවම අගමැතිවරයාට පහර පිට පහර එල්ල කළේය. අගමැතිවරයා බැඳුම්කර සිද්ධියට කෙළින්ම සම්බන්ධ බව විවෘතවම ප්‍රකාශ කළේය. මෙම දේශපාලන ප්‍රහාර මගින් අපේක්ෂා කළේ අගමැතිවරයා තනතුරින් ඉවත් කිරීම සඳහා ඉදිරියේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත සැලැස්මට පක්ෂව ජනතා මතයක් ගොඩනගා ගැනීමය.
අගමැතිවරයා තනතුරින් පහ කිරීමේ සටන මුහුණට මුහුණ ලා කරන සටනක් බවට පත් වන්නේ පළාත් පාලන මැතිවරණයෙන් පසුවය. අගමැතිවරයා තනතුරින් ඉවත්විය යුතු බව ජනාධිපතිවරයා නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම විවෘතවම කියා සිටියේය. අගමැතිවරයා එයට අවනත නොවන විට ඔවුන් නීතියේ පිළිසරණ පැතීය. මෙම උත්සාහයද අසාර්ථක වූවද සටන අත් නොහැරියේය. ඔවුනට අවශ්‍ය වූයේ කෙක්කෙන් බැරිනම් කොක්කෙන් හෝ අගමැතිවරයා තනතුරින් පන්නා හැරීමටය.විශ්වාසභංග යෝජනාව පිළිබඳ කථාබහ කරළියට පැමිණෙන්නේ මෙම පසුබිම තුළය.
එකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ කථාබස්වලින් පෙනීගියේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගේ ආශිර්වාදය මැද විශ්වාසභංග යෝජනාව ගෙන එන බවය. එබැවින් එය බහුතර ඡන්දයෙන් ජයග්‍රහණය කිරීම පිළිබඳව එකිනෙකා පරයමින් ඔවුන් වහසිබස් දෙඩීය. ඔවුන්ගේ මෙම විශ්වාසය ව්‍යාජ එකක් නොවන බව පෙනීගියේ ශ්ර්රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන නියෝජ්‍ය ඇමතිවරයෙක් සහ මන්ත්‍රීවරයෙක් ඊට අස්සන් කර තිබීම සහ එම පක්ෂයේ සමහර මැති ඇමතිවරු යෝජනාවට පක්ෂව තමන් ඡන්දය ප්‍රකාශ කරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම හේතුවෙන්ය. පැහැදිලිවම පෙනීගියේ ජනාධිපතිවරයාද අනියම් ආකාරයෙන් එයට සහාය දෙන බවය. ද්‍රවිඩ සන්ධානය සමඟ ඔහු පැවැත්වූ සාකච්ඡාව මෙයට එක් නිදසුනක්ය.
කොපමන උත්සහ දැරූවද අවසානයේ දී ජනාධිපතිවරයා ප්‍රධාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය පරදවමින් අගමැතිවරයා වැඩි ඡන්ද 46 න් විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කළේය. සටනේ අවසාන ප්‍රතිඵල කිහිපයක් විය. එකක් අගමැතිවරයා තනතුරින් ඉවත් කිරීමේ සටන දෙවන වරටත් පරාජයට පත් වීමය. දෙවැන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කණ්ඩායම් දෙකකට බෙ දී යාමය. එම පක්ෂයේ කැබිනට් අමාත්‍යවරුන් හය දෙනෙක් සහ නියෝජ්‍ය කථානායක ධුරය දරන මන්ත්‍රීවරයා දේශපාලන වේදිකාව මත ප්‍රසිද්ධියේම නිරුවත් වීමය. වචන හරඹයෙන් නිරුවත වසා ගැනීම සඳහා දේශපාලන වචන පිටුපස හඹා යාමට ඔවුන් පටන් ගැනීමය. තුන්වැන්න ඒකාබද්ධ විපක්ෂයද දේශපාලන ක්ෂෙත්රය තුළ නන්නත්තාර වීමය. ලැජ්ජාව වසා ගැනීම සඳහා දැන් ඔවුන් ජනාධිපතිවරයාට ඇඟිල් දිගු කිරීමට පටන් ගැනීමය. ඔවුන් කියා සිටින්නේ ජනාධිපතිවරයා විසින් විශ්වාසය කඩකිරීම සහ පාවාදීම හේතුවෙන් විශ්වාසභංග යෝජනාව පරාජය වූ බවය. සිවුවැන්න නීතිමය වශයෙන් මෙන්ම දේශපාලන වශයෙන්ද අගමැතිවරයා ශක්තිමත් වීමය.
මාස ගණනක් පුර පැවැති අගමැතිවරයා පන්නා හැරීමේ සටනින් දෙයාකාර ජයග්‍රහණයක් අගමැතිවරයා අයිති කරගත් බව පැහැදිලිවම පෙනේ. මෙයන් එකක් වන්නේ නීතිමය වශයෙන් ඔහු අයත් කරගත් ජයග්‍රහණයයි. පවතින පාර්ලිමේන්තුවට වසර හතරහමාරක් ගතවන තුරු අගමැතිවරයා තනතුරින් පහ කිරීමට ජනාධිපතිවරයාට බලය නොමැති බව ඔප්පු වීම නීතිමය අංශයෙන් ලබාගත් ජයග්‍රහණයයි. දෙවැන්න වන්නේ වන්නේ බහුතර ජනතා බලය තවමත් අගමැතිවරයාට තිබෙන බවය. අද ඉන්නේ නීතියෙන් මෙන්ම ජනතා බලය අතින්ද ශක්තිමත් වූ අගමැතිවරයෙක්ය.
විශ්වාසභංග යෝජනාවට ඡන්ද විමසීමේ දී එයට විපක්ෂව පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් 122 ක් අගමැතිවරයාට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් එය පැහැහදිලි විය. මේ තත්ත්වය නොසලකා හරිමින් කටයුතු කිරීමට කිසිවකුට නොහැක. යහපාලන ආණ්ඩුවේ ඉදිරි වසර දෙකහමාර පවත්වා ගෙනයාම සම්බන්ධයෙන් මෙම තේරුම් ගැනීම බෙහෙවින්ම වැදගත් වේ. මෙහි දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42.1 වගන්තිය සහ 42.2 වගන්තිය තේරුම් ගත යුතුය. 42.1 වගන්තියේ සඳහන් වන්නේ ජනරජයේ ආණ්ඩුවේ පාලනය මෙහෙයවීම සහ ඒ පාලනය පිළිබඳ විධානය භාර අමාත්‍ය මණ්ඩලයක් සිටින බවය.
42.2 වගන්තියෙන් කියැවෙන්නේ අමාත්‍ය මණ්ඩලය සාමූහිකව පාර්ලිමේන්තුවට වගකීමට හා පිළිතුරු දීමට බැඳී සිටින බවය. මෙයින් අදහස් වන්නේ ආණ්ඩුව පවත්වා ගෙනයාම සම්බන්ධයෙන් අගමැතිවරයාට සහ අමාත්‍යවරුන්ටද යම් කාර්ය කොටසක් කිරීමට තිබෙන බවත් ඒ පිළිබඳව ඔවුන් පාර්ලිමේන්තුවට වගකීමට බැඳී සිටින බවත්ය. මෙයින් පෙනී යන්නේ අගමැතිවරයා සහ අමාත්‍යවරුන් හුදෙක් ජනාධිපතිවරයාට අවශ්‍ය අයුරින් නැටවිය හැකි රූකඩ නොවන බවය. ජනාධිපතිවරයා මෙයද තේරුම් ගැනීම අවශ්‍යයෙන්ම කළයුතු බව අවසාන වශයෙන් කිව යුතුය.

