භික්ෂු විනය සහ ආණ්ඩුව ගැන – සම්පත් අමරසිංහ
විශ්වාසභංග හැලහැප්පීම් මැද; ත්‍රෛනිකායික මහ නා හිමිවරුන් වන තිබ්බටුවාවේ ශී සුමංගල මල්වතු පාර්ශ්වයේ මහ නා හිමි, වරකාගොඩ ශ්‍රී ඤානරතන අස්ගිරි පාර්ශ්වයේ මහ නා හිමි, කොටුගොඩ ධම්මාවාස අමරපුර මහා නිකායේ උත්තරීතර මහ නා හිමි, සහ නා පාන පේමසිරි රාමඤ්ඤ මහ නිකායේ මහ නාහිමිවරුන්ගේ අත්සනින් යුතුව මහත් කාලීන ඉල්ලීමක් ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බව ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය. එනම් මහන වෙස් ගෙන ශාසන විරෝධී කටයුතු වල නිරත වන්නන් හඳුනාගෙන ඔවුන් සසුනින් බැහැර කිරීමට අවශ්‍ය කටයුතු කිරීම කෙරෙහි ජනාධිපති වරයාගේ අවධානය යොමු කරනු පිණිසය. එවැනි මහණ වෙස් ගත්තන් සසුනින් පිටමං කර සසුන පිරිසුදු කිරීම සංඝ නායකත්වයට පමණක් කළ නොහැකි කටයුත්තක් බව ද මහ නා හිමිවරුන් අවධාරණය කර තිබුණාහ.
අද වන විට ශාසන විරෝධී ලෙස වරෙන්තුකරුවන් පවා මහණ වෙස් ගෙන තැනින් තැන හිගමන් යන යාචකයන් වශයෙන් ද, තවත් නොයෙක් ආකාරයෙන් ද ශාසන විරෝධී කටයුතුවල යෙදෙමින් භික්ෂු සංඝයා වහන්සේට මෙන්ම සසුනට අපහාස වන ආකාරයට හැසිරෙන බව ද උන්වහන්සේලා විසින් පෙන්වා දෙනු ලැබ තිබිණ.
ත්‍රෛයිනිකායික මහ නා හිමිවරුන් මෙහි දී මහණ වෙස් ගත්තවුන්ගේ සාසන විරෝධී කටයුතු පෙන්වා දී ඇත්තේ තමන් වහන්සේගේ සීමාවනට යටත්ව සාසනයේත් භික්ෂුවගේත් ගෞරවය නොකෙළෙසෙන තරමින් බව පැහැදිලිය. උන්වහන්සේට පවා ප්‍රසිද්ධියේ කිවනොහැකි සමාජ හා සාසන විරෝධී භික්ෂු කියාකාරකම් පවතින බව ප්‍රකට රහසකි.
මහනුවර ගැටුම පිළිබද සොයා බැලීමට පැමිණි යුරෝපා තනාපතිවරුන් පවා මුස්ලිම්වරුන්ට පහරදීම් ගිනි තැබීම් පිටුපස භික්ෂුන් සිටින බව රූපරාමු ආදියෙහි දැක්වෙන බව මහ නා හිමිවරුන් හමුවෙහි පවසා තිබුණි. එහි දී උන්වන්සේ සමස්ත භික්ෂු පරම්පරාවේ ගෞරවය ආරක්ෂාවන පරිදි කරුණු පැහැදිලි කළ නමුත් ශ්‍රී ලාංකිකයන් හා බෞද්ධයන් වශයෙන් දිගන සිද්ධියේ දී පහර දීම් පිටුපස ඇතැම් භික්ෂුන්ගේ අදිසි හස්ථයක් පැවැති බව බැහැර කළ හැකි වන්නේ නැත. ගැටුමට සම්බන්ධ වූවන් කෙරෙහි නීතිය ක්‍රියාත්මක වීමේ දී පවා චීවරය හමුවේ නීතිය නැමුණු බව කණගාටුවෙන් වුවද පිළිගන්නට සිදුවේ.
නිදසුනක් වශයෙන් දක්වන්නේ නම් මහනුවර ගැටුමට සම්බන්ධ පිරිසක් විහාරස්ථානයක දී අත්අඩංගුවට ගන්නා ආකාරය දිගන සිද්ධියට ආසන්න දිනයක රාවය පුවත්පතෙහි පින්තූරයක් පළකර තිබුණි. අත්අඩංගුවට ගැනුණු පිරිස ප්‍රදේශයේ වැසියන් නොව පිට පළාත්වලින් පැමිණි උදවිය බවද සදහන් විය. එහි අදහස වන්නේ මහනුවර ගැටුම් සදහා පිටතින් පැමිණි පුද්ගලයනට ප්‍රදේශයේ විහාරස්ථානයක සෙවණ හෝ රැකවරණය සැපයී ඇති බවයි. එසේ නම් අදාළ විහාරස්ථානය ද ගැටුමට වක්‍රව හෝ ඍජුව සම්බන්ධ බව පැහැදිලිය. එසේ හෙයින් අදාළ විහාරස්ථානයේ භික්ෂුව හෝ භික්ෂුන්ද අත්අඩංගුවට පත්විය යුතුය. නමුත් වැන්නක් සිදුවූයේ නැත. එකී භික්ෂුව වෙනුවෙන් සංඝ සමාජයෙන් ද පියවරක් ගැනුණේ නැත.
අලුත්ගම ප්‍රදේශයේ ගැටුම් පිටුපස ද සිවුරු තිබුණු බව පැහැදිලි ය. අන්තර් ජාලය ඔස්සේ ප්‍රචාරය වන එක්තරා භික්ෂුවකගේ ප්‍රකාශයකින් කියැවෙන්නේ 2050 පමණ වන විට මෙරට මුස්ලිම් පුරජාව බහුතරය බවට පත්වන බවයි. මෙතෙක් මේ රටේ ජන අනුපාතයෙන් 10%ක් ඉක්මවා යාමට මුස්ලිම්වරුනට නොහැකිව ඇති තත්ත්වයක සහ ඉතිහාසය පුරා සිංහල ජන අනුපාතය 70% මට්ටමේ තිබිය දී එම චීවරධාරියාගේ ප්‍රකාශය බහුතර සිංහල ජනතාව මුස්ලිම් වරුනට විරුද්ධව කුලප්පු කිරීමකි. එවැනි භික්ෂුන් ගැන පියවරක් ගැනීමට භික්ෂු නායකත්වයට නොහැකි හේතුව පැහැදිලි නැත.
යන්ත්‍ර මන්ත්‍ර කටයුතු වැනි භික්ෂු විනය විරෝධී කටයුතු කිරීම පමණක් නොව උසාවියට අපහාස කිරීම් බාධා කිරීම් වැනි බරපතළ අනීතික කටයුතුවල යෙදුණු භික්ෂුන් මෑත කාලයේ දී මෙරට ජනතාවට දක්නට ලැබුණි. එවැනි භික්ෂුන් උසාවි නියෝග මායිම් නොකර විදේශ සංචාරයන්හි නිරත වූ බවද දැනගන්නට ලැබුණි. පන්සල්වල දේපළ අවභාවිතය පුරාවස්තු කොල්ල ආදිය සම්බන්ධයෙන් ද භික්ෂූන්ගේ නම් සදහන් වුණ අවස්ථා තිබේ. ඇතෙකු මරා දළ ගලවා ගැනීම පිටුපස සිටි භික්ෂුවක් ගැන ද කියැවුණේ දුර අතීතයක දී නොවේ.
පිරිසුදු ථෙරවාදි සම්බුදු සසුන සුරැකිව පවතින රටක් වශයෙන් අපරට දිනාගත් කිර්ති නාමය ආරක්ෂා කර දීමට සුදුසු ක්‍රියාමාර්ග ගැනීම රජය සහ සෙසු පාර්ශ්ව එක්ව කළ යුතු බව නායක හිමිවරුනගේ අදහසයි. ඒ සදහා කෙටි කාලීන පියවරක් ලෙස භික්ෂු හැදුනුම් පත වඩාත් විධිමත් කොට මහණ වෙස් ගත්තවුන් හදුනාගෙන සසුනින් බැහැර කළ යුතු බව මහ නා හිමිවරුන්ගේ මතයයි.
හැදුනුම් පත විධිමත් කිරීම එක් පියවරක් ලෙස යෝජනා වුව ද එය කොතෙක් ප්‍රායොගික ද යන්න සාකච්ඡා කළ යුතුව තිබේ. නිදසුනක් ලෙස මීට දින කිහිපයකට ඉහත දේශපාලකයකුගේ හැදුනුම් පතක් පරීක්ෂාකරන්නට ගිය පොලිස් නිලධාරියකු මුහුණ දුන් තත්ත්වය ගත හැකිය.
උසාවියේ බැන්චිය ඉදිරියේ නීතියටත් විනිසුරුටත් අභියෝග කරන තරමට නොදැමුණු, අමාත්‍යාංශවලට කඩා පනින, අන්යජාතිකයාට විරුද්ධව පොලු මුගුරු රැගෙන පාරට බසින භික්ෂු හික්මවීම හැදුණුම් පතකට කළ හැකි ද යන්න කල්පනා කළ යුතුය. මහණවෙස් ගත් එවැනි තැනැත්තෙකුගේ හැදුනුම්පත පිරික්සන්නට යන පොලිස් නිලධාරියා හෝ වෙනත් නිලධාරියා මුහුණ දෙනු ඇත්තේ කවර ඉරණමකට ද?
ඉහත ආකාරයට උසාවියට නිගරු කළ භික්ෂුව වෙනුවෙන් මහ නා හිමිවරුන් ගේ අතින් සංඝ සභාවේ නීතියක් ක්‍රියාත්මක වූයේ නැත. උන්වහන්සේ ගෙන් වැද සමාවගත් එකී හිමිනම බෝතල් පහර වැදී මියගිය දිගන තැනැත්තා ගේ මළගමට සහභාගි වූයේ හුදු අවමගුලකට සහභාගි වීමේ අරමුණ ඇතිවම ද යන්න විමසිය යුතුය. එකී මරණයට අදාළ පහර දීම සිදු වූයේ සිංහලයකු අතින්නම් එම භික්ෂුව එකී අවමගුලට සහභාගී වනු ඇතිද යන්න ද සිතා බැලිය යුතුය.
පවතින තත්ත්වය තුළ භික්ෂු සසුන පවිත්‍ර කිරීමේ දී වැඩි බලයක් සහ වගකීමක් ඇත්තේ ජනාධිපතිවරයාට හෝ ආණ්ඩුවට නොව මහ නා හිමිවරුන්ටමය. ඒ සදහා මූලික පියවරක් ගතයුතු වන්නේ මහ නා හිමිවරුන් විසින් ම ය. ආණ්ඩුව පාර්ශ්වයෙන් කළ හැකි වනු ඇත්තේ ඒ සදහා අවශ්‍ය උපකාර සහ පහසුකම් සම්පාදනය ය. සංඝ කතිකාවක් වැනි ක්‍රියාමාර්ගයක් ඔස්සේ සාසනයට එරෙහිව කටයුතු කරන භික්ෂු නාම ලේඛනයක් පරකාශයට පත් කිරීම වැනි ක්‍රියාමාර්ගයකට වුව යාමට උන්වහන්සේලාට නොහැකියාවක් නැත.
සම්පත් අමරසිංහ
