පියා පෙන්වා ගෝඨා බේරීම – සම්පත් අමරසිංහ

පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා විසින් පොතක් ප්‍රකාශයට පත්කර තිබේ. එය නම්කර ඇත්තේ ” සුදුවෑන් සංස්කෘතිය හෙවත් ශිෂ්ඨත්වයට එරෙහි අශිෂ්ටත්වය” යනුවෙනි. එම පොත පසුගිය 29 වනදා එලි දක්වන්නට යෙදුණු අතර එහිදි කතා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා කියා තිබුණේ සුදු වෑන් සංස්කෘතියේ ආරම්භය අසූව දශකයේ මුල් වකවානුව දක්වා දිවෙන බවයි. මන්ත්‍රීවරයා එහිදී තවදුරටත් පවසා ඇත්තේ එදා එම සුදුවෑන් සංස්කෘතිය නිර්මාණය කළ අය වර්තමානයේ සුදුවෑන් පිළිබඳ අභූත චෝදනාවක් ගෝඨාභය රාජපක්ෂ මහතාට එල්ල කරන බවයි’

ඉහත කරුණු අනුව බන්දුල ගුණවර්ධන සහ ඩලස් අලහප්පෙරුම යන මන්ත්‍රීවරුන් උත්සාහ කරන්නේ සුදු වෑන් පිළිබඳ චෝදනාවෙන් කොටසක් සජිත් ප්‍රේමදාස මහතාගේ සිරුර එල්ලන්නට බව පෙනේ.

සුදු වෑන් පිළිබඳ කථාවේ ආරම්භය 1980 දශකය දක්වා දිවෙන බව ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලනය ගැන දන්නා අයට අමුතුවෙන් මතක් කර දෙන්නට අවශ්‍ය නැත. සුදුවෑන් පිළිබඳ යම් චෝදනාවක් හිටපු ජනපති ආර්. ප්‍රේමදාස මහතාට එල්ල වූ බව ද සත්‍යයකි.

එක මංගල සමරවීර, මහින්ද විජේසේකර වැනි මහතුන් සමග එක්ව මහින්ද රාජපක්ෂ මහතා එදා පැවති තත්වයට විරුද්ධව අරගල කළ බවද සත්‍යයකි. ප්‍රේමදාස ජනාධිපතිවරයා ගේ මරණයෙන් පසුව මෙරට ජනතාව චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව බලයට පත් කර ගනු ලැබුවේ පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ එකී දුර්වලතා පිටුදැක මානව හිමිකම් ආරක්ෂා කෙරෙන පාලනයක් රට තුළ ගොඩනගා ගැනීමේ අරමුණ පෙරදැරිවය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගෙන් පසුව ජනාධිපති ධුරයට තරග කළ අවස්ථාවේ මහින්ද රාජපක්ෂ මහතා බලය ලබා ලබාගැනීම පිණිස මහත් ඉහළින් ආයෝජනය කරනු ලැබූවේ ආර්. ප්‍රේමදාස ආණ්ඩුව සමයේ තමා විසින් ගන්නා ලද මානව හිමිකම් ආරක්ෂා කිරීමේ පියවරයන්ය. මහින්ද රාජපක්ෂ මහතා බලයට පත් කිරීම මගින් දකුණේ ජනතාව විශේෂයෙන් අපේක්ෂා කරනු ලැබුවේ මෙරට මානව හිමිකම් තත්ත්වය වඩාත් යහපත් වනු ඇති බවයි.

බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ පොත එළිදැක්වීමට සහභාගිවෙමින් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබුණේ රට මරණයේ සෙවනැලි වලින් වැසී තිබුණු කාලයක ඔවුන් පත්තරකාරයන් වශයෙන් සාධාරණත්වය වෙනුවෙන් සටන් කළ බවයි.

අලහප්පෙරුම මන්ත්‍රීවරයා කියන සමයේ රට මරණය සෙවණැලිවලින් වැසී තිබුණේ හුදෙක් එකල පැවති ආණ්ඩුවේ වරදක් නිසාම නොවන බවද මන්ත්‍රීවරයා එහිදී කියන්නේ නැත. 1988 1989 වකවානුව යනු ජනතා විමුක්ති පෙරමුණ විසින් රට තුල ආයුධ සන්නද්ධ කැරැල්ල අවුළුවා තිබුණු සමයකි. ජනතා විමුක්ති පෙර පෙරමුණෙහි එම කැරැල්ලේ ම්ලේච්චත්වය අතින් උතුරේ එල්ටීටීඊ සන්නද්ධ ව්‍යාපාරය ට වඩා අඩු වන්නේ නම් ඒ ඉතා අඩුවෙනි. එකළ ජනතා විමුක්ති පෙරමුණ හැර වෙනත් පක්ෂයක ශාඛා සමිතියක නිලයක් දැරීම පවා නාඳුනන තුවක්කු කරුවන් ගේ ගොදුරක් බවට පත්වීමට හේතුවක් වී තිබුණි. ජවිපෙ සන්නද්ධ සාමාජිකයන් අතින් ඝාතනයට ලක්වූවන් අතරින් බහුතරය හමුදා සෙබළුන් හෝ පොලිස් නිලධාරීන් ද නොවූහ. එසේ ඝාතනයට ලක් වූවන් අතරින් බහුතරය ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ නියුතුව සිටි නිරායුධ මිනිසුන්ය. එකල පැවති ආණ්ඩුව සන්නද්ධ අරගලයක් සන්නද්ධ ආකාරයෙන්ම අවසන් කරන්නට කටයුතු කළේය. එහිදී ජනතාවගේ සහාය ද ඊට ලැබුණු බව රහසක් නොවේ. එකී කටයුත්තේ දී ආණ්ඩුව සීමාව ඉක්මවා මර්දනය ක්‍රියාවේ යෙදවූ බව ද සත්‍යයකි. පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව වෙනුවට ශ්‍රීලනිපය ප්‍රමුඛ ආණ්ඩුවක් බලයට පත්කර ගැනීමට ජනතාව කටයුතු කරනු ලැබුවේ ද එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ එම දුර්වලතාව නිසා ය.

මහින්ද රාජපක්ෂ මහතා බලයට පත් වනු ලබන්නේ එසේ එජාපය වෙනුවට පත්කර කරගන්නා ලද ශ්‍රිලනිප ප්‍රමුඛ ආණ්ඩුවේ ම දිගුවක් වශයෙනි. මුලින් කළ පරිදි මහින්ද රාජපක්ෂ මහතා විසින් බලයට පත්වීම සඳහා ඉහළින්ම ආයෝජනය කරනු ලැබූ කරුණ වූයේ තම මානව හිමිකම් සටන්කාමියා චරිතය බවට බොරුවක් නොවේ. එහිදී මහින්ද රාජපක්ෂ මහතා චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුවේ ඇතැම් කටයුතු පවා නිර්දය විවේචනයට ලක් කරමින් චන්ද්‍රිකා පාලනයටත් වඩා ඉහළින් මානව හිමිකම් සපිරුණු ආණ්ඩුවක් පිළිබඳ විශ්වාසයක් ජනතාව තුළ දල්වනු ලැබුණි.

මහින්ද රාජපක්ෂ පාලන යුගය අවසන් වූයේ එකී බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම විනාශ කර දමමිනි. සුදු වෑන් සංස්කෘතියේ භීෂණයට ගොදුරු වන්නට ජනතාවට නැවතත් සිද්ධ කරමිනි.

විශේෂයෙන් කිව යුතු කරුණ වන්නේ මහින්ද රාජපක්ෂ යුගයේ සුදු වෑන් නිවෙස්වලට පැමිණියේ ත්‍රස්තවාදීන් හෝ සන්නද්ධ සටන්කරුවන් සොයා නොව නිරායුධ මිනිසුන් සොයා බවයි. ඒ ඉතාමත් සාමකාමී වටපිටාවක් තුළ ය.

මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහෝදරයන් දෙදෙනාගේ සුදුවෑන් භීෂණයට ලක් වූවෝ සත්‍ය වෙනුවෙන් පෙනී සිටි ඇත්ත රටට හෙළි කළ මාධ්‍යවේදීයෝය. මානව හිමිකම් ක්‍රියාකාරිකයන්ට ද වෘත්තීය සමිති ක්‍රියාධරයන්ට ද එම භීෂණයෙන් මිදිය නොහැකි විය . එපමණක් නොවේ කප්පම් ලබා ගැනීමේ අරමුණෙන් යුතුව ද අහිංසක මිනිසුන් සුදු වෑන් යොදවා පැහැර ගනු ලැබිණ. වරද වන්නේ ජනතාව වෙනුවෙන් ලිව්වාය කියන පත්තරකාරයන් වන ඩලස් අලහප්පෙරුම ඒ සියල්ල දකිමින් මුනිවත රැකීම සහ එම ඝාතන, පැහැර ගැනීම්, අතුරුදහන් කිරීම් වලට අනුබල දීමය.

මහින්ද යුගයේ සුදු වෑන් සම්බන්ධයෙන් ගෝඨාභය මහතාගේ සම්බන්ධයක් නැතැයි කියන්නට මේ වන විට පොහොට්ටු වාදීහු නිරර්ථක වූ උත්සාහයක නියැළිය සිටිති. වසර දහයකට ආසන්න තම පාලන සමය තුළ සිදු වූ ඝාතන, පැහැර ගැනීම් , අතපය කඩා දැමීමේ්, අතුරුදහන් කිරීම්, කප්පම් ගැනීම් සම්බන්ධව අවම වශයෙන් පරීක්ෂණයක් වත් නොකිරීම ගැන ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන පමණක් නොව එම කණ්ඩායමේ කිසිවකු කතා කරන්නේ පවා නැත. තමන්ගේ ආණ්ඩුවක් යටතේ මිනිසුන් ඝාතනය වන තුරු, අතුරුදහන් වන තුරු මිනිසුන්ගේ අත්පය කඩා දමන තුරු, කප්පම් සඳහා මිනිසුන් පැහැර ගන්නා තුරු නිහඬව බලා සිටි ජනාධිපති අයියත්, ආරක්ෂක ලේකම් මල්ලිත් නිදහස් කරන්නට සජිත් ප්‍රේමදාස මහතාගේ තාත්තගේ යුගයේ සුදු වෑන් තිබුණු බවට කීමට තරම්දේශපාලන ජඩ බවක් තවත් තිබේ දැයි ජනතාව කල්පනා කළ යුතුය. තාත්තා කළ වැරදි ඇතැයි කියා තමන්ගේ වැරදි වසා ගැනීමට උත්සාහ කිරීම දේශපාලන තුප්පහි කමකි.

ඩලස්ලාගේ එකී උත්සාහය තුළ කියැවෙන තවත් වැදගත් කරුණක් වන්නේ පියාට ඇඟිල්ල දිගු කිරීම හැරෙන්නට සජිත් මහතාගේ වරදක් පෙන්වා දෙන්නට විරුද්ධවාදීන්ට නොහැකිව ඇති බව ය. එයම සජිත් මහතාගේ ජයග්‍රහණයකි.

එහෙයින් සජිත් මහතාට ඇඟිල්ල දිගු කරන විට ඇඟිලි හතරක් ම තමන් දෙසට යොමුවන බව ගෝඨාභය වාදීන් වටහා ගත යුතුය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *