දරුවන්ව හිංසනයට පත් කිරීමෙන් වළක්වා ගන්නා අධ්‍යාපනයක් අපි ගෙන එනවා – අනුර කුමාර දිසානායක

නවය පන්තියේ දී විභාගයක් පවත්වනවා. දරුවා, දරුවාගේ අම්මා, තාත්තා, දරුවාගේ ගුරුවරයා කියන අය එකතු වී සාකච්ඡා කරලා, අර විභාගයෙන් ලබා ගන්නා ප්‍රතිඵල එක්ක සංසන්දනය කරලා, දරුවාගේ අධ්‍යාපනය යොමු කළ යුතු දිශාවට යොමු කරන්න කියලා පාර කියලා දෙනවා. ඒ අධ්‍යාපන ධාරාවෙන් දරුවා උඩට ගේනවා. අධ්‍යාපනය නාමයෙන් දරුවන්ව අධිකාරී බලයකට යටත් කරන්න එපා. මවුපියන්, ගුරුවරුන් දරුවන්ට පහර දෙන්න එපා. අද මනෝවිද්‍යාත්මකව ඔප්පු කොට තිබෙන්නේ, අධිකාරීමය බලයකින් දරුවන් ගොඩනඟන්න බැරි බවයි. ගෙදර අධිකාරී බලයකට යටත් කරන දරුවා සමාජය ඇතුළේ නිතර ම හැකිළීමට පුරුදු වෙනවා. මවුපියන්ටත්, මහජනතාවටත් පොදු, දරුවන්ව හිංසනයට පත් කිරීමෙන් වළක්වා ගන්නා අධ්‍යාපනයක් අපි ගෙන එනවා. භය කරලා දරුවන් හදන්න එපා. පවතින පීඩනයෙන් අපේ දරුවන්ව මුදා ගන්න බවට සහතික වෙනවා. ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක එසේ ප්‍රකාශ කළේ පසුගියදා :9* වාරියපොළ නගරයේ පැවති ජනාධිපතිවරණ ප්‍රචාර රැළියක් අමතමිනිග එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද කීවේයග
දැන් මැතිවරණ ව්‍යාපාරය අවසන් අදියරට ඇවිල්ලා තියෙන්නේ. මැතිවරණ ව්‍යාපාරය තුළ ඒ ඒ දේශපාලන ව්‍යාපාරවල හැසිරීම් දිහා බැලුවොත්, ඔබට තීන්දුවක් ගන්න ඕනෑවටත් වඩා කරුණු තියෙනවා. ලංකා ඉතිහාසයේ කවර හෝ දේශපාලන වේදිකාවක තමන්ගේ අපේක්ෂකයාගේ සහායට එන අයට හූ කියනවා දැකලා තියෙනවා ද? විශේෂයෙන් යාපහුවේ දී, ගල්ගමුවේ දී, හෙට්ටිපොළ දී මේ බව දැකගන්න ලැබුණා. තමන්ගේ අපේක්ෂකයාට සහාය දෙන්න වේදිකාවට නඟින කෙනා අප්පුඩි ගහලා පිළිගන්නවා වෙනුවට හූ කිව්වා. ඒ වාගේ ම කතා අහන්න එන ආධාරකරුවන්ට ගෞරවයක් ගෙන දෙනවා වෙනුවට ආරක්ෂක වැට පැනලා, ඒ අයට ගහන හැටි අපි දැක්කා. මහින්ද මහත්තයා තමන් ම විසින් කැඳවලා ඉන්න බලවේගය ගැන සහතිකයක් දුන්නා. මීට පස්සේ දවල් රැස්වීම් නොතියා, උදේ රැස්වීම් තියන්න ඕනෑ බව කිව්වා. ඒ වේදිකාවල ඉන්නෙත්, අරක්කු කම්හල් අයිති අය, බාර් අයිති අය, නීති විරෝධී ගල් වළවල් කරන අය, නීති විරෝධී පතල් කපන අය වාගේ බන්ධනාගාරවල ඉන්න ඕනෑ අය වේදිකාවේ ඉන්නවා.
මේ අය වේදිකාවේ දී කියන්නේ මොනවා ද? මැතිවරණ පොරොන්දු තරගයට දෙන හැටි දැක්කා. ඒ අයට සහයෝගය දක්වන රූපවාහිනී නාළිකා තියෙනවා. ඒ නාළිකාවලට ගිහිල්ලා, අඩු ම තරමේ මේ අපේක්ෂකයන්ව ප්‍රශ්න කරන්නවත් අවස්ථාවක් තිබුණේ නැහැ. රට ගැන, රටේ අනාගතය ගැන, ගොඩනැඟීමේ සැලැස්ම ගැන කිසි ම දෙයක් නැහැ. ප්‍රශ්නයකට පැහැදිලි කිරීමක් නැහැ. උත්තරයක් දෙන්න බැහැ. මාධ්‍ය විසින් පුම්බන ලද ‘මෆට්ලා’ ඉන්නේ. ජනතාවට ප්‍රශ්න කරන්න බැරි කණ්ඩායමක් ඉදිරිපත් වී ඉන්නේ. ප්‍රතිපත්ති ප්‍රකාශන රට ගොඩනැඟීමේ දැක්මක් නොවෙයි. යන යන තැන ඔහේ මොනවා හරි කියනවා විතරයි. අපේ ප්රතිපාක්ෂික මැතිවරණ වේදිකාවේ පොදු තත්ත්වය ඕක.
හැබැයි, අපේ මැතිවරණ වේදිකාවේ අදහස් දක්වනවා. එතැනට සහභාගී වෙලා ඉන්න අයට ගෙදර අරගෙන යන්න කරුණු ප්‍රමාණයක් ලබා දෙනවා. සහභාගී වන ජනතාව මීයට පිම්බා වාගේ ඒ කරුණු අහගෙන ඉන්නවා. මේ රටට වෙලා තියෙන විනාශයත්, ඒ විනාශයෙන් රට ගොඩනැඟීම ගැනත් අපි කරුණු ඉදිරිපත් කරනවා. අපේ ප්‍රතිපත්ති ප්රකාශනය රට ගොඩනැඟීමේ දියුණුතම වැඩපිළිවෙළක් බවට අපේ ප්රතිපාක්ෂිකයෝ පවා පිළිගන්නවා. ලංකාව ගොඩනැඟිය හැකි අතිදක්ෂ, කැප කිරීම් කළ හැකි දියුණුතම පුද්ගලයන්ගෙන් අපේ වේදිකාව පිරිලා තියෙනවා. ජනතාව කෙරෙහි ඇත්ත ආදරයක්, ළෙන්ගතුකමක් තියෙන, ජනතාවගේ දේපළ හොරා නොකාපු අය මේ වේදිකාවේ ඉන්නේ. මා ඇතුළු අපේ කණ්ඩායම ඕනෑ ම මොහොතක මාධ්‍ය ඉදිරිපිටට ගිහිල්ලා, අපේ පණිවුඩය නිරවුල්ව ඉදිරිපත් කරන්නත්, අපිව ප්‍රශ්න කරන්නත් අවස්ථාව ලබා දීලා තියෙනවා. අපේ තියෙන්නේ, තිර පිටපත ලියලා, කරන රඟදැක්වීම් නොවෙයි. බොහෝ ඒවා සජීවීව අපිව ප්‍රශ්න කරන්න ඉඩ දෙමින්. මේ ප්‍රශ්නවලින් අපේ අඩුපාඩුකම් මතු කරනවා නම්, භාර ගනිමින්, ප්‍රතික්ෂේප කරන ඒවා තියෙනවා නම්, ප්‍රතික්ෂේප කරමින් අදාළ ප්‍රශ්නයට නිවැරැදි විසැඳුම් ලබා දෙන පුළුල්තම සංවාදයක් කළ හැකි කණ්ඩායමක් අපට ඉන්නවා. ලංකා ඉතිහාසයේ පහත් අඩියක සිටින මැතිවරණ වේදිකා ප්රබුද්ධ තලයකට ඔසවා තබන්න ජාතික ජන බලවේගයේ මැතිවරණ ව්‍යාපාරය සමත් වී තිබෙනවා.
අපේ රටේ දේශපාලන වේදිකාව ප්රබුද්ධ සහ විනයානුකූල තත්ත්වයකට ගෙන ඒමේ පරිවර්තනය සිදු කර අවසන්. ඒක අපි ලබපු විශාල ජයග්‍රහණයක්. මැතිවරණ ව්‍යාපාරය වෙනස් කරන ලද අපට පමණයි මේ රට වෙනස් කළ හැකි වන්නේ. මේ රට හදන්න අප ඉදිරිපත් කරන වැඩපිළිවෙළ ගැන අපි දීර්ඝ වශයෙන් මේ දක්වා පැහැදිලි කරලා ඉවරයි. රාජ්‍ය පරිපාලනය පවත්වාගෙන යාම ආණ්ඩුවකට පැවරෙන එක වගකීමක්. අනෙක් පැත්තෙන් රටේ ඉන්න සියලු ම පුරවැසියන් රැකබලා ගැනීමේ වගකීමක් තිබෙනවා. රටක සංවර්ධනය පිළිබඳ වගකීමක් තියෙනවා වාගේ ම ජනතාවගේ ජීවිත ආරක්ෂා කර රැකබලා ගැනීමත් පාලනයක වගකීමක්. මේ සමාජයේ ජීවත් වන සෑම තරාතිරමක ම පුද්ගලයකුගේ ම ජීවිත රැකබලා ගන්නවා කියන සහතිකය අපි ඔබට දෙනවා. ඒ අතුරින් ප්‍රමුඛතම වෙන්නේ අපේ රටේ දරුවෝ.
අපේ රටේ දරුවෝ විශාල පීඩනයකට පත් වී සිටිනවා. ඒ අතුරින් ප්‍රමුඛතම වෙලා තියෙන්නේ අධ්‍යාපනය. කටේ කිරි සුවඳ යන්න කලින් ශිෂ්‍යත්ව විභාගය. ඊට පස්සේ සාමාන්‍ය පෙළ. ඊට පස්සේ උසස් පෙළ. ඔය කියන විභාග තුනට දරුවන්ව හඹාගෙන යාමට සැලැස්වීමක් තියෙන්නේ. විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක්. මේ ව්‍යසනයෙන් අපේ දරුවන් නිදහස් කර ගන්න බවට මවුපියන්ට සහතික වෙනවා. ටියුෂන් එකෙන් ඉස්කෝලෙට, ඉස්කෝලෙන් ටියුෂන් එකට වශයෙන් යන ළමා කාලය අහිමි කළ දරුවන්ව එයින් මුදා ගන්නවා. උසස් පෙළ පන්තියක ළමයි දාහක් ඉන්න තැනක අඩු ම තරමේ පනහකටවත් මානසික වෛද්‍යවරුන් හමු වන්න සිදු වෙලා. දරුවෝ මානසික ආතතියෙන් පෙළෙනවා. මේ අධ්‍යාපන ක්‍රමයෙන් ඒ පීඩාව ඇති කරලා තියෙනවා. දරුවන් මත හෙළා තිබෙන මානසික පීඩනයෙන් අපේ දරුවන් මුදා ගන්න අධ්‍යාපන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බවට අපි ඔබට සහතික වෙනවා. අද පාසලෙන් එළියේ තිබෙන අධ්‍යාපනය යළිත් පාසලට ගෙන එනවා. අපේ ප්‍රතිසංස්කරණවල එක යෝජනාවක් මම ඔබට කියන්නම්. පළමුවැනි පන්තියේ ඉඳලා පහේ පන්තිය දක්වා කිසිදු විභාගයක් තියන්නේ නැහැ. පහේ පන්තියේ ඉඳලා නවය පන්තිය දක්වා විභාග පවත්වනවා. නමුත්, පළමුවැනි, දෙවැනි, තුන්වැනි තැන් තෝරන්නේ නැහැ.
නවය පන්තියේ දී විභාගයක් පවත්වනවා. දරුවා, දරුවාගේ අම්මා, තාත්තා, දරුවාගේ ගුරුවරයා කියන අය එකතු වී සාකච්ඡා කරලා, අර විභාගයෙන් ලබා ගන්නා ප්‍රතිඵල එක්ක සංසන්දනය කරලා, දරුවාගේ අධ්‍යාපනය යොමු කළ යුතු දිශාවට යොමු කරන්න කියලා පාර කියලා දෙනවා. ඒ අධ්‍යාපන ධාරාවෙන් දරුවා උඩට ගේනවා. අධ්‍යාපනය නාමයෙන් දරුවන්ව අධිකාරී බලයකට යටත් කරන්න එපා. මවුපියන්, ගුරුවරුන් දරුවන්ට පහර දෙන්න එපා. අද මනෝවිද්‍යාත්මකව ඔප්පු කොට තිබෙන්නේ, අධිකාරීමය බලයකින් දරුවන් ගොඩනඟන්න බැරි බවයි. ගෙදර අධිකාරී බලයකට යටත් කරන දරුවා සමාජය ඇතුළේ නිතර ම හැකිළීමට පුරුදු වෙනවා. මවුපියන්ටත්, මහජනතාවටත් පොදු, දරුවන්ව හිංසනයට පත් කිරීමෙන් වළක්වා ගන්නා අධ්‍යාපනයක් අපි ගෙන එනවා. භය කරලා දරුවන් හදන්න එපා. පවතින පීඩනයෙන් අපේ දරුවන්ව මුදා ගන්න බවට සහතික වෙනවා.
ඊ ළඟට අපේ තරුණයන්. තරුණයා හැම වෙලේ ම පෙළැඹෙන්නේ මේ රට දාලා යන්න. අම්මලාට, අක්කලාට අමතරව තරුණයනුත් රට දාලා යනවා. මූලික අරමුණු තුනක් වෙනුවෙන් ඒ යන්නේ. ගෙයක් හදා ගන්න, දරුවන්ට උගන්වන්න, වාහනයක් ගන්න. විදෙස්ගත වෙලා මේ කරුණු තුන ඉටු කර ගත් අය ඉන්නේ කී දෙනා ද? ගේ හදා ගන්න හීනය හැබෑ වෙලා නෑ. දරුවාට ආරක්ෂාව, රැකවරණය ලැබුණෙත් නැහැ. ආදරය, සෙනෙහස ලැබෙන්නේ නැහැ. ඒ නිසා දරුවෝ මුරණ්ඩු වෙනවා. අම්මා රට ඉඳන් එනකොට දරුවාගේ ජීවිතෙත් විනාශ වෙලා. ස්වාමියා එක්කෝ බේබදුකමට ඇබ්බැහි වෙලා, නැත් නම් අනියම් සම්බන්ධතාවක පැටළිලා. පවුල් විනාශ වෙලා. ලීසිං කරලා වාහනයක් ගත්තත්, මාස හත අටක් යන කොට ඒක උස්සනවා. රට ඉඳලා එන්නේ, ආයේ නම් යන්නේ නෑ කියලා. මෙහෙ ඇවිල්ලා, අවුරුදු දෙක තුනක් යන කොට ආයෙත් යන්න සිද්ධ වෙනවා. තරුණ, තරුණියන්ට අවස්ථා නිර්මාණය වෙලා නැහැ. අපේ වැඩපිළිවෙළ තියෙන්නේ, ගම ඇතුළේ ම තරුණ, තරුණියන් තියලා ආර්ථික හයියක් ලබා දෙන්න. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක පැලැන්තියක් අපේ රටේ තරුණයන්ගෙන් නිර්මාණය කරනවා. ඒ වෙනුවෙන් නව ආර්ථික ක්ෂේත්‍ර හඳුන්වා දෙනවා. අන්න ඒ අනුව තමන්ගේ ආර්ථිකයත්, ජීවන තත්ත්වයත් ඉහළ දමා ගන්නා ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනවා.
ඊ ළඟට වැඩිහිටියන් සම්බන්ධයෙන් තත්ත්වය මොකක් ද? අපේ ජීවිත සංකීර්ණ වෙලා තියෙන්නේ. දෙන්නා ම රස්සාවලට යනවා. මහලු අම්මා, තාත්තා බලා ගන්න බැරි වෙලා. සමහර විට තමන්ගේ දරුවෝ බලා ගන්නත් බැරි වෙලා. සෙනෙහස නැතිව නොවෙයි, බලා ගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. සමහර තාත්තලා බලු කූඩුවලට දාලා තිබුණු ප්රවෘත්ති අපි දැක්කා. අපේ රටේ එක තාත්තා කෙනකුටවත් මෙහෙම වෙන්න ඕනෑ ද? අම්මලාව මහමඟ දාලා යනවා. අපේ රටේ එක අම්මා කෙනකුටවත් මෙහෙම වෙන්න ඕනැ ද? එහෙම නම්, ඒක මිනිස් සමාජයක් නොවෙයි. වැඩිහිටියන්ට රැකවරණයත් එක්ක සුරක්ෂිත මානසික සුවයක් ලබා දෙන පාලනයක් අපි ඇති කරනවා. ආණ්ඩු හදන්නේ ඒවාට. ආණ්ඩුවේ නායකයෝ ඉහළ ම සුඛවිහරණ සහිත ජීවිත ගත කරමින්, වැඩිහිටියන්ව පාරේ දමලා යන තත්ත්වයක් ඇති කරන්න නොවෙයි, අපි ආණ්ඩු හදන්න ඕනෑ.
ඊ ළඟට අපේ කාන්තාවෝ. ඔවුන්ගේ ජීවිත හරි ම ඛේදවාචක. මූලික වශයෙන් ම දෙයාකාරයකට ඔවුන් පීඩාවට පත් වෙනවා. එකක් පොදුවේ ආර්ථික පීඩාව. අනෙක් එක කාන්තාවක වූ නිසා ම ඇති වන පීඩනය. රුහුණු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපති, මහාචාර්ය උපාලි පන්නිල මට වාර්තාවක් පෙන්නුවා. ලංකාවේ බස් එක, කෝච්චිය පාවිච්චි කරන කාන්තාවන්ගෙන් සියයට අනූවක් එකසැරයක්වත් ලිංගික හිංසනයට ලක් වෙලා. එයින් සියයට හැත්තෑවක් පොදු ප්රවාහණය ඇතුළේ ශාරීරික හිංසනයට ලක් වෙලා. අපේ දියණිය, අපේ නැඟණිය, අපේ සහෝදරිය මේ තත්ත්වයට පත් වෙන රටක් අපට ඕනෑ ද? ඒ වාගේ ම මහමඟට බහින කාන්තාවන්ට පාවිච්චි කරන්න පිරිසිදු සහ සෞඛ්යාරක්ෂක වැසිකිළි නැහැ. අම්මා හරි අක්කා හරි පාරේ යන කොට වතුර බොන්නෙ නැතිව යන්න වෙච්ච රටක් නම්, යුක්තිසහගත ද? කාන්තාවන්ට හැදෙන පියයුරු පිළිකා සහ ගැබ් ගෙල පිළිකා ප්‍රධාන පිළිකා වර්ග දෙකක්. ගැබ් ගෙල පිළිකා හැදෙන්නේ, අපිරිසිදු වැසිකිළි පාවිච්චියෙන්.
දවසකට අපේ රටේ වාර්තා වන නීති විරෝධී ගබ්සා කිරීම් හයසිය පනස්අටක් තියෙනවා. මීට හේතු තුනක් බලපානවා. දරුවන් දෙදෙනා අතර පරතරය අඩු වීම, දරුවන් සංඛ්‍යාව වැඩි වීම සහ විදෙස්ගත රැකියාවක් සඳහා පිටත්ව යාමට කළලය විනාශ කරනවා. ආර්ථික ප්‍රශ්න නිසා රට අත්හැරලා යන්න මෙඩිකල් රිපෝට් එකක් දෙන්න ඕනෑ. ඒ වෙනුවෙන් ගබ්සාවක් කර ගන්නවා. කිසිදු පුහුණුවක් නැති පුද්ගලයන් විසින් අපිරිසිදු කාමරවල, අපිරිසිදු උපකරණ පාවිච්චි කරමින්, කුසේ ඉන්න කළලය විනාශ කරනවා. මේ නිසා මාසයකට වැඩි කාලයක් යනකම් හරියට ඇවිද ගන්නවත් බැහැ. අපේ සහෝදරියන් පත් වී තිබෙන මේ තත්ත්වය යුක්තිසහගත ද? රටක් හැටියට මේ ප්‍රශ්නවලට අවධානය යොමු කරන්න ඕනෑ නැද්ද? අපේ රටේ කාන්තාවන්ගේ සිදු වන අස්වාභාවික මරණවලින් වැඩි ම මරණ ප්‍රමාණයක් සිදු වී තිබෙන්නේ එක්කෝ ස්වාමියා, නැත් නම්, ළඟ ම ඥාතියා පහර දීමෙන්. මෙවැනි සමාජයක් ඔබ අනුමත කරනවා ද? ඒ වාර්තාවේ සඳහන් කර තිබෙන්නේ, එවැනි පහර දීම්වලට මූලික හේතුව බිරිඳට වෙන සබඳතාවක් තිබෙන බවට ස්වාමියා සැක කිරීමයි. සමීක්ෂණවලින් ඉදිරිපත් වෙච්ච වාර්තා ගැන මම මේ කියන්නේ. මෙහෙම සමාජයක් ඔබ පිළිගන්නවා ද?
රජයේ කාර්යාලවල දී ඉහළ නිලධාරීන්ගේ පීඩනයට ලක් වුණු කාන්තාවන් බහුලයි. ඔහුගේ විවිධ අවශ්‍යතාවන්වලට නැඹුරු වුණේ නැත් නම්, විශාල රාජකාරි ප්‍රමාණයක් පවරලා පීඩාවට ලක් කරනවා. අනෙකුත් කාර්ය මණ්ඩලය ඉදිරියේ අපහසුතාවට ලක් කරනවා. ගෙදර ගිහින් ස්වාමියාට කියන්නත් බැහැ. තමන්ට දරාගෙන ඉන්නත් බැහැ. අපේ සහෝදරියන් මේ වාගේ තත්ත්වයකට මුහුණ දෙන්න ඕනෑ ද? අපේ දියණියට, අපේ නැඟණියට, අපේ සොහොයුරියට මේ ඇති වී තිබෙන විනාශය ඔබ පිළිගන්නවා ද? අපේ සහෝදරියන් අවුරුදු හැත්තෑවක් ජීවත් වුණොත්, අවුරුදු හතළිහක්වත් අඬනවා. අපේ අම්මලා, අක්කලා මාසයකට කී දවසක් අඬලා ඇද්ද? ඇයට ජීවිතයක් ලබා දීම ආණ්ඩුවක වගකීමක් නොවෙයි ද?
පොදු ආර්ථික පීඩනයත් ඇයට පැටවෙනවා. අධ්‍යාපනය කඩාවැටිලා, පීඩනයට පත් වෙලා, දරුවා අසමත් වුණා ම වැඩියෙන් ම කම්පාවට පත් වෙන්නේ අම්මලා. ශිෂ්‍යත්ව විභාගය අම්මලාගේ විභාගය කියන්නේ ඒ නිසා. දරුවන්ගේ අධ්‍යාපනය කඩාවැටීම වාගේ ම තමන්ගේ අම්මා, තාත්තාගේ ලෙඩට, දුකට බෙහෙතක් ගන්න බැරි වීමෙනුත්, ඇය පීඩනයට පත් වෙලා. ආණ්ඩුවේ ඉස්පිරිතාලයට ගියා ම පරීක්ෂණ ටික කර ගන්න, බෙහෙත් ටික ගන්න බැරි වෙලා. ඇයට ජීවිතය රසවිඳීමේ අවස්ථාවක් නැහැ. ගෙදරින් ඉස්සෙල්ලා ම අවදි වෙන්නේත්, අන්තිමට ම නිඳා ගන්නේත් ඇය. නැඟිටිනවා, උයනවා, වළං පිඟන් හෝදනවා, රෙදි හෝදනවා. මේ චක්‍රය දිගට ම යනවා. වේදිකා නාට්‍යයක් බලන්න, චිත්‍රපටයක් බලන්න, තමන්ගේ මිතුරියන් එක්ක විනෝද ගමනක් යන්න කිසි ම අවස්ථාවක් නැහැ. කුලී වැඩක් කරන පුරුෂයන් අඩු ම ගාණේ හවසට එන කොට රුපියල් හයසීයකවත් බීලා එනවා. ඒකෙ පීඩාවත් කාන්තාවන්ට. මෙය අතිශය අසාධාරණ ගෘහ ජීවිතයක්.
ගොවි ගෙදරකත් ඒ වාගේ. කුඹුරේ ගොයම් ටික කපන කොට කෑම උයන පිහන එක, තේ ගෙනියන එක. මේ වාගේ ඔක්කො ම වැඩ කරන්නේ කාන්තාව. වී ටික ගෙදර ගෙනැල්ලා දැම්මාට පස්සේ ඊ ළඟට බත් උයන එක දක්වා ක්‍රියාවලිය තියෙන්නෙත් කාන්තාවන්ට. මම මේ කිව්වේ, අපේ සහෝදරියන් ආකාර ගණනාවකින් ම පීඩාවට පත් වෙන හැටි. ඒ නිසා අපේ රටේ පරිවර්තනය ඇති කරන්න ඉදිරියට ම එන්න ඕනෑ අපේ අම්මලා, අක්කලා, නංගිලා කියලා මම විශ්වාස කරනවා. වෙනදාට වඩා වැඩියෙන් දැන් අපේ වේදිකා ඉදිරිපිට සහෝදරියන් විශාල ප්‍රමාණයක් සහභාගි වී සිටීම විශාල ආස්වාදයක්. මේ පරිවර්තනය කිරීම සඳහා ගම් ඇතුළේ පෙරටුගාමී කාර්යභාරයක් කරන්න කියලා ආරාධනා කරනවා. අප අතර තියෙන්නේ, ජීව විද්‍යාත්මක වෙනස්කමක් විතරයි. ඒ ජීව විද්‍යාත්මක වෙනස්කම අනෙකාව පීඩනයට පත් කරන්න, අනෙකාව හෙළාදකින්න, අනෙකාව අසීරුතාවට පත් කරන්න තිබෙන වටාපිටාවෙන් අපේ මවු පරපුර නිදහස් කරගෙන මානසික සුවයක් සහිත ජීවිතයක් ලබා දීම අපේ ආණ්ඩුවක මූලික වගකීමක් බව ඔබට සහතික කරනවා.
අපේ රටේ ආබාධිත තත්ත්වයට පත් වූ ලක්ෂ දාහතක් ඉන්නවා, ජනගහනයෙන් සියයට අටයි දශම පහක්. ඇස් නොපෙනීම, කන් නො ඇසීම, අත්-පා නිසි පරිදි චලනය කර ගත නොහැකි වීම වාගේ විවිධ ආකාරයෙන් ආබාධිත වූවන්. මේ අය වෙනුවෙන් පොදු ප්‍රවාහණ සේවය තුළ අවස්ථා ලබා දෙන්න ඕනෑ. ඔවුන්ටත් යුක්තිසහගත ජීවිතයක් ලබා දිය යුතුයි. අපේ රටේ ආබාධිත වූ ජනතාවට කිසිදු ජීවිතයක් නැහැ. අම්මා, තාත්තලාට බරක් වෙලා, අපි මැරුණා ම අපේ දරුවාට මොකක් වෙයි ද කියලා හූල්ලන අම්මා තාත්තලා ඉන්නවා. සමාජ රැකවරණයක් නැහැ. රටක ආණ්ඩු පිහිටුවන්න ඕනෑ ඕවාට උත්තර හොයන්න. ආබාධිත සියලු ජන ප්‍රජාවට සුරක්ෂිත, ඔවුන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කරන පාලනයක් අපි නිර්මාණය කරනවා. ඒ පුරවැසියන් බලා ගැනීමත් අපේ වගකීමක් ලෙස භාර ගන්නවා.
අපේ රටේ සෞඛ්‍ය සේවය ස්ථාපනය කරලා තියෙන්නේ, රෝගීන් වෙනුවෙන්. හැබැයි, සෞඛ්‍ය සේවයේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන්වදින්නේ, වෛද්‍යවරුන්, හෙද නිලධාරීන්, අනෙකුත් කාර්ය මණ්ඩල. මම ඒ සටන් අවතක්සේරු කරනවා හෝ වැරැදියි කියනවා නොවෙයි. හැබැයි, සෞඛ්‍ය සේවය තියෙන්නේ, රෝගීන් වෙනුවෙන්. හැබැයි, සටන් තියෙන්නේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අයිතිවාසිකම් වෙනුවෙන්. රෝගීන්ගේ අයිතිවාසිකම් පිළිබඳව කොහෙවත් සඳහන් වෙනවා ද? නේවාසික රෝගියකුට ඇඳක් ලැබීම ඔහුගේ හෝ ඇයගේ අයිතියක්. රෝගියාට නියමිත පරීක්ෂණ ටික රජයේ රෝහලෙන් කරලා දෙන්න ඕනෑ. ඒකත් රෝගියාගේ අයිතියක්. රෝගීන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ප්රඥප්තියක් අපි ඇති කරන බවට අපේ ප්‍රතිපත්ති ප්රකාශනයේ ඇතුළත් කර තිබෙනවා. ඒක අපි නීතිගත කරනවා. අද සෞඛ්‍ය සේවයේ අවතක්සේරුවට ලක් කර තිබෙන්නේ, රෝගියාව. අපි මේ තත්ත්වය සහමුලින් ම වෙනස් කරනවා. අපි හදන පාලනය මනුෂ්‍යත්වයේ පාලනයක්. කාන්තාවක් ද, දරුවෙක් ද, වැඩිහිටියෙක් ද, ආබාධිතයෙක් ද, රෝගියෙක් ද කියලා කිසිදු භේදයක් නැතිව සියලු මිනිසුන්ට මනුෂ්‍යත්වයෙන් සලකන මනුෂ්‍යත්වයෙන් පිරුණු පාලනයක් ගොඩනඟන්නේ. මනුෂ්‍යත්වයේ රැකවරණය තිබෙන පාලනයක් ගොඩනඟන්නේ.
හැබැයි, අපේ රටේ ජනාධිපති, අපේ රටේ අගමැති, අපේ රටේ විපක්ෂනායක පාවිච්චි කරන්නේ, ලෝකයේ මිල අධික ම බෙන්ස් කාර්. මේ වෙලාවේ තිබෙන මිල අධික ම කාර්. මේ ළඟ දී ජනාධිපතිවරයා ගෙන් වූ කාර් එකේ බද්ද විතරක් කෝටි දහයයි. ඒ බද්දෙන් විතරක් රෝහල්වලට ඇම්බියුලන්ස් දහයක් විතර ගත්තහැකි. විශ්‍රාම යන කොට ගෙදර යන්න මේ කාර් එක ගෙනාවේ. මේක මනුෂ්‍යත්වය තිබෙන පාලනයක් ද? ඉස්පිරිතාලෙට ඇම්බියුලන්ස් එකක් නැත් නම්, ගමේ දරුවාට ඉස්කෝලේ යන්න බස් එකක් නැත් නම්, රටේ පාලකයාට ලෝකයේ ඉහළ ම සැපපහසුකම් තිබෙන වාහන පාවිච්චි කරන්න පුළුවන් ද? හොරකම, වංචාව විතරක් නොවෙයි, මේ පාලකයෝ මානුෂිකවාදීත් නැහැ. පුරවැසියන්ගේ බදු සල්ලිවලින් මේවා ගන්නේ. තමන්ට දැනෙන්න ඕනෑ මේක ලැජ්ජාසහගත වැඩක් කියලා. මේ වෙනුවට අපි ගොඩනඟන්නේ, මනුෂ්‍යත්වයෙන් පිරුණු පාලනයක් සහ මනුෂ්‍යත්වයෙන් පිරි පාලකයෙක්. ජනතාවගේ ප්‍රශ්න විසඳීම අපේ ප්‍රමුඛතම කාර්යයයි. ඒ වෙනුවෙන් ජනතාව සූදානම් ද කියන එකයි ප්රශ්නය. දිනන පැත්තට අප්පුඩියක් ගහලා එවැනි පාලනයක් ගොඩනඟා ගන්න බැහැ. ජනතාව ඇත්තට ම දිනන පාලනයක් ගොඩනඟා ගන්න හැකි වෙන්නේ මාලිමාව දිනුවොත් විතරයි. ඒ වෙනුවෙන් ඡන්දය භාවිත කරන්න අධිෂ්ඨානශීලීව මැදිහත් වෙන්න කියලා ආරාධනා කරනවා. ඒ සුවිශේෂී ජයග්‍රහණය ඔබේ ම ජයග්‍රහණයක්.
මනෝජ් රූපසිංහ
