|

බටලන්දෙන් උගත යුතු පාඩම් – සී ජේ අමරතුංග 

 

දැන් ප්‍රධාන විවාදය බවට පත්ව තිබෙන්නේ බටලන්දයි. බටලන්ද කොමිසන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ආණ්ඩුවෙන් ඉදිරිපත් කොට විවාදයකට ද දින නියම කොට තිබේ.

මෙරට දේශපාලනයේ පැවති සහ පවතින බොහෝ ප්‍රශ්න සහ ඛේදනීය තත්ත්වයන් අවබෝධ කරගැනීම සඳහා බටලන්ද කොමිසන් සභා වාර්තාව වැදගත් ලේඛනයකි. එය මෙරට පැවති භීෂණ යුගයක එක් නිදර්ශකයකි. එම යුගයේ රටේ දේශපාලන ප්‍රචණ්ඩත්වය ඉහළ ම මට්ටමකට හිස ඔසවා තිබු අතර දේශපාලන මිනීමැරීම් විශාල ලෙස සිදුවෙමින් පැවතිනි.

බටලන්ද යනු එක් වධකාගාරයක් පමණකි. එවැනි ම සහ ඊට වඩා විශාල වධකාගාර එකල තිබිණි. කොළඹ නීති පීටයේ පැවතියේ ඉන් විශාල ම එකකි. දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේ දී කීවේ වධකාගාර 46 ක් තිබුණු බව යි. නමුත් කොමිසන් පත්කළේ සහ වාර්තා තිබෙන්නේ බටලන්ද ගැන පමණකි. එයට ද හේතුව දේශපාලනය යි. රනිල් වික්‍රමසිංහ මහතා 1994 දී මෙරට විපක්ෂ නායක වීම බටලන්ද කොමිසමක් පත්වීමට සහ වාර්තාවක් නිකුත්වීමට හේතුව වී ය.

කෙසේ වෙතත්, අප කළ යුතු වන්නේ මෙම වාර්තා දේශපාලන බල පොරයට යොදාගැනීම නොව එමගින් ලබාදෙන පාඩම් හඳුනාගැනීමට උත්සහ දැරීම යි.

බටලන්ද වාර්තාව විවිධ පැතිවලින් සාකච්ඡා කොට බොහෝ දේ තේරුම් ගත හැකි ය. මෙම ලිපියෙන් උත්සහ දරන්නේ එම යුගයේ දේශපාලන උපායමාර්ග පිළිබඳ දෘෂ්ටි කෝණයකින් ප්‍රශ්නය සාකච්ඡා කිරීමට ය.

එකල ප්‍රචණ්ඩ බලය උපයෝගී කරගෙන රාජ්‍ය බලයට අභියෝග කිරීමට උතුරේ සහ දකුණේ කණ්ඩායම් ගණනාවක් ක්‍රියාත්මක වී ය. එයින් වඩාත් ප්‍රබල සංවිධාන වුයේ උතුරේ එල් ටී ටී ඊ සංවිධානය සහ දකුණේ ජනතා විමුක්ති පෙරමුණ යි. මෙම සංවිධාන දෙක දේශපාලන වශයෙන් බලවත් වීම සඳහා භාවිතා කළේ බොහෝ දුරට එක සමාන ක්‍රියාමාර්ගයකි. එනම්, ප්‍රචණ්ඩත්වය මගින් අනෙක් දේශපාලන බලවේග සහ ජනතාව බියපත් කොට තමන්ගේ දේශපාලන ආධිපත්‍යය ගොඩනගා ගැනීම යි.

එල් ටී ටී ඊ ය උතුරේ ප්‍රබල සහ ජනප්‍රිය දේශපාලඥයින් ඝාතනය කළේ ය. යාපනයේ නගරාධිපති දොරේ අප්පාගේ සිට, අමිර්තලිංගම් ,නීලන් තිරුචෙල්වම් ආදීහු ඝාතනය කරනු ලැබුහ. එමෙන් ම ප්ලොට්, ටෙලෝ, ඊ පී ආර් එල් එෆ් වැනි සංවිධානවලට පහර දී නායකයින් ඝාතනය කළේ ය. එලෙස මුළු සමාජය බියපත් කොට ඔවුන්ගේ ආධිපත්‍යය ගොඩනගා ගැනීමට ඔවුහු සමත් වුහ.

දකුණේ දී ජනතා විමුක්ති පෙරමුණ ද උත්සහ කළේ එලෙස සමාජය බියපත් කොට තම ආධිපත්‍යය ගොඩනගා ගැනීමට ය. ඔවුන්ගේ ක්‍රමය වුයේ ප්‍රබල චරිත මරා දැමීම යි. දයා පතිරණ , නන්දන මාරසිංහ, විජය කුමාරතුංග ආදී විශාල පිරිසක් ඝාතනය කළේ ඒ අනුව ය.

කලා ලෝකයේ දී ඔවුන් තෝරා ගත්තේ ප්‍රේමකීර්ති ද අල්විස්, සාගරිකා ගෝමස් වැනි අය යි. වෘත්තියවේදීන් අතර පටුවතවිතාන, ස්ටැන්ලි විජේසුන්දර, ග්ලඩිස්  ජයවර්ධන වැනි අය ඝාතනය කළේය.

තම නියෝග නොපිළිගත් සාමාන්‍ය මිනිසුන් මරා හිස් කපා වැටවල්වල ගසා ප්‍රදර්ශනය කළේ සමස්ත සමාජය බිය වැද්දීම සඳහා ය.

ජවිපෙ දැන් කියන්න හදන්නේ ආණ්ඩුවේ මර්දනයට එරෙහිව අවි ගත් බව යි. එසේ කීවත්, ඔවුන් එදා මරා දැමුවේ නිරායුධ මිනිසුන් ය. ආරක්ෂාවක් නොතිබූ විශාල පිරිසක් එලෙස ඝාතනයට ලක්කරනු ලැබුහ. එහි අරමුණ වුයේ සමාජය බියපත් කොට තම ආධිපත්‍යය තහවුරු කරගැනීම යි.

ජවිපෙ මර්දනයට ආණ්ඩුව ද භාවිතා කළේ මෙම උපායමාර්ගය ම ය. කැරලිකරුවන් මරා ප්‍රසිද්ධ ස්ථානවල පුළුස්සන ලද්දේ ගංගාවල පා කරන ලද්දේ බොහෝ දෙනාට පෙනෙන පරිදි ය. කැරලිකරුවන්ට පහසු මරණයක් නොදී වධදීම ද කළේ බියපත්කිරීම සඳහා ය. රට පුරා පොලිස් ස්ථාන,  හමුදා කඳවුරු ආදියට අමතරව විශේෂ වධ කඳවුරු ද ඇතිකරන ලද්දේ ඒ සඳහා ය.

මේ කඳවුරු පවත්වාගෙන ගියේ රහසිගතව නොවන බව ද තේරුම් ගත යුතු කාරණයකි. බියපත් කිරීම සඳහා මේවා පවතින බව කැරලිකරුවන් සහ සමාජය දැනගත යුතු වී ය. බිය පැතිරෙන්නේ එවිට ය. මෙම කඳවුරුවලින් ඇතැම් අය නිදහස් කර යවන්නට ඇත්තේ ද ඒ සඳහා විය හැකි ය.

එල් ටී ටී ඊ ය සහ ජවිපෙ තමන්ගේ ඝාතන ක්‍රියාමාර්ග නිවැරදි ලෙස කල්පනා කළේ තමන්ගේ අවසන් අරමුණ නිවැරදි ය නැතහොත් උතුම් ය යන විශ්වාසයෙනි.  දෙපිරිස ම කීවේ තමන් ජනතාවගේ විමික්තිය සඳහා සටන් කරන බව යි. එම අරමුණ කරා යෑමේ දී තමන් කරන ඕනෑම දෙයක් නිවැරදි වන්නේ ය යන්න ඔවුහු විශ්වාස කළෝය.

මෙය විස්තර කරන්නේ “අන්තය විසින් මාර්ගය සාධාරණීකරණය කරන්නේ ය.” යන තර්කය වශයෙනි.

එම තර්කයට අනුව නිරායුධ මිනිසුන් ඝාතනය කිරීම වරදක් වුවත් තමන්ගේ අරමුණ උතුම් නිසා එය නිවැරදි ලෙස ඔවුහු කල්පනා කරති.

එම අවස්ථාවේ රජය ද කල්පනා කළේ ඒ ආකාරයෙන් ම ය. ඔවුන් සිතුවේ කැරැල්ල දරුණු මර්දනයකට ලක් කරන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් රැක ගැනීමට බව යි. ඔවුන් සිතුවේ තමන්ගේ අවසන් අරමුණ මිනිස් නිදහස ආරක්ෂා කිරීම නිසා ඒ මොහොතේ එම මර්දන ක්‍රියාවලිය නිවැරදි බව යි.

ඒ අවස්ථාවේ ඇතැම් වාමාංශික කණ්ඩායම් ද කල්පනා කළේ එයට සමාන ආකාරයෙනි. ඔවුන් කීවේ දකුණේ සිංහල ජාතිවාදී ෆැසිස්ට් රාජ්‍යයක් සහ උතුරේ දෙමළ ජාතිවාදී ෆැසිස්ට් රාජ්‍යයක් ඇතිවීමේ අවදානම තුරන් කිරීම සඳහා ජවිපෙට ප්‍රචණ්ඩ ලෙස මුහුණ දීම අවශ්‍ය බව යි. මහජන විප්ලවකාරී රතු හමුදාව හෙවත් ප්‍රා (PEOPLES RECOLUTIONARAY RED ARMY – PRRA) සමාජවාදී විප්ලවකාරී රතු හමුදාව හෙවත් ශ්‍රා ( SOCIALIST RECOLUTIONARAY RED ARMY – SRAA ) ආදී සංවිධාන බිහිවන්නේ ඒ අනුව ය. මෙම සංවිධාන ද රජය සමග එක්ව කටයුතු කළේය.

භීෂණකාරී මර්දනයක් දියත්කළ රජයට තමන් එසේ කිරීමෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස සහ මානව හිමිකම් දිගුකාලීන ලෙස රැකගත් බව කීමේ හැකියාව තිබිණි. එමෙන් ම භීෂණ යුගයෙන් පසු ආණ්ඩුව මැතිවරණ පවත්වා ජයග්‍රහණය කළේය. 1994 දී ප්‍රජාතන්ත්‍රවාදී බල හුවමාරුවක් සිදුවීය. ජනතා විමුක්ති පෙරමුණට ද ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එක්වීමට අවස්ථාව ලැබිණි. මානව හිමිකම් ගැන ක්‍රියා කරන්නට දිගුකාලීන ඉඩකඩක් විවෘත විය.

තමන්ගේ ක්‍රියාවේ ප්‍රතිඵලය උසස් නිසා තමන්ගේ ක්‍රියා සාධාරණ යැයි කියන්නට රජයට හා එවක ආණ්ඩු බලය දැරූ අයට ද අවස්ථාව තිබේ.

එසේ වුවත්, තර්කයක් ලෙස මෙය පිළිගැනීම භයානක ය. අරමුණ උතුම් නම් ඒ සඳහා කරන ඕනෑම දෙයක් සාධාරණ ය යන තර්කය පිළිගැනීමේ ප්‍රතිඵල අති භයානක විය හැකිය. ඒ සඳහා ලෝක ඉතිහාසයේ ඕනෑ තරම් උදාහරණ තිබේ.

ඇතැම් තත්ත්වයන් තුළ අපට වළකා ගත නොහැකි තත්ත්වයන් ඇතිවිය හැකිය. ඒවා සැලකිය යුත්තේ ව්‍යතිරේඛ වශයෙනි. ඒවා අමතක කර දැමීමට සමාජය සුදානම් ය.

ඇත්ත වශයෙන් ම ජවිපෙ භීෂණය මෙන් ම රජයේ භීෂණය ද මෙරට ජනයා මෙන් ම දේශපාලන පක්ෂ විසින් ද අමතක කර දමා තිබිණි. ඒ එය වේදනාකාරී බව දන්නා නිසා ය. දැන් එය අවුස්සාගෙන ඇත්තේ දේශපාලන හේතු නිසා ය. මෙවැනි තත්ත්වයන් සඳහා අවශ්‍ය වන්නේ කරුණු තේරුම් ගනිමින් සමාජයක් ලෙස සුවපත් කිරීමේ ක්‍රියා මාර්ගයන් ය.

කෙසේ වෙතත්, අන්තය මගින් මාර්ගය සාධාරණීකරණය කරන්නේය යන තර්කය පිළිගැනීම භයානක ය. භීෂණයට හෝ ප්‍රචණ්ඩත්වයට හෝ පමණක් නොව එදිනෙදා දේශපාලනයට ද එය වලංගු ය. තම අරමුණ උතුම් නිසා ඒ කරා යාමට බොරු කීම, අපහාස කිරීම, මඩ ගැසීම, කරුණු විකෘති කිරීම ආදී ඕනෑ දෙයක් කිරීම සාධාරණ ලෙස සමහරු කල්පනා කරති. නමුත් එයින් සිදුවන්නේ ඔවුන් ද දුෂිතයින් වී උතුම් අරමුණු ද විනාශ වී යාම පමණකි.

යහපත් ලොවක් සඳහා යන මාර්ගය ද යහපත් විය යුතුය. අප පෙනී සිටිය යුත්තේ එම ප්‍රතිපත්තිය වෙනුවෙනි.

හැම විටම එලෙස කටයුතු කළ නොහැකි වන්නේය යන්න සත්‍යයකි. නමුත් අපගේ උත්සාහය විය යුත්තේ හැකිතාක් දුරට නිවැරදි ම මාර්ගයේ ගමන් කිරීමට ය.

සී ජේ අමරතුංග

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *