විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය කි විට රටේ ඇති වූ ප්‍රතිචාරය – මනෝජ් රූපසිංහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජනතා නිදහස් සන්ධානය හෙවත් පොහොට්ටු පක්ෂයත් පසුගිය දිනවල සන්ධානයක් ගොඩනැගීමේ සාකච්ඡාවල නිරත වෙනු ජනමාධ්‍ය මගින් ජනතාවට අසන්නට දකින්නට ලැබුණි. එම පක්ෂදෙකේ සාමාජිකත්වය මෙන්ම දේශපාලනය ගැන උනන්දු සෙසු ජනතාවද බලාසිටියේ එම සන්ධානය පිහිටුවා මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපති වරණයේ විපක්ෂ පිළේ ජනාධිපති අපේක්ෂක කවුද කියා දැනගැනීමටයි.

පසුගිය සතිඅන්ත පුවත්පත් වාර්ථාකර තිබුණේ රාජපක්ෂවරුන්ගේ හමුවක දී ජනාධිපති අපේක්ෂක ලෙස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂක ලෙස නම් කළ බවකි. එහෙත් එය පළකර තිබුණේ අනුමාන පුවතක් වශයෙන් මිස නිශ්චිත පුවතක් වශයෙන් නොවේ. එමෙන්ම එය උණුසුම් පුවතක් නොවීම ද දක්නට ලැබුණ විශේෂත්වයකි.

2015 රාජපක්ෂ බලකඳවුර බිදදැමීමට නොයිවසිල්ලෙන් සිටි ජනතාව පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වන්නේ කවුරුන්දැයි නොයිවසිල්ලෙන් බලා සිටි තීරණාත්මක වකවානුව හා පොදු අපේක්ෂකයා පත් වූ පසු ජනතාව ඔහු වටා එක් වූ ආකාරය තවමත් මතක ඇත.

එහෙත් පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වූ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාත් සන්ධාන ආණ්ඩුවත් එකට එක්වී ගමන් නොකිරීම නිසා ඇති වූ පරස්පරයන් මත එම ඉතිහාසික සංසිද්ධියේ වටිනාකම ශේෂ වී ගියේය. ඒ සමගම එක්සත් ජාතික සන්ධානයට ආණ්ඩුව පවත්වාගෙන යෑමට විටින්විට නොයෙක් බාදා ඇති විය. දින 52 නීත්‍යනුකූල බලහත්කාර ආණ්ඩුව එහි උච්චතම අවස්ථාව විය.

එහෙත් විපක්ෂයේ අපේක්ෂකයා ගෝඨාභය බවට නිල නොවන වශයෙන් පළවූ පුවත පොදු ජනතාව පමණක් නොව පාක්ෂිකයන් පවා උත්තේජනය කිරීමට සමත් නොවූ බව පෙනීගියේය. දැක ගත හැකි වූ විශේෂය නම් රාජපක්ෂ කදවුරට හිතවත් විද්‍යුත් මාධ්‍ය මගින් ඊයේ (17) දිනයේ දී මහින්ද ගෝඨාභය රාජපක්ෂ අයිය මලෝ විහාරස්ථාන කීපයකට ගොස් සිටින අයුරු රූපරාමු සහිතව විකාශය කිරීමයි. එහෙත් සමාජ මාධ්‍යජලා වලට නම්, ගෝඨාභය ජනාධිපති අපේක්ෂක බවට නම් කළ නිල නොවන පුවත පුවතක් නොවුන තරම්ය.

රාජපක්ෂවරු මේ ඒකපාර්ශවික තීරණය ගන්නා විට ජනාධිපතිතුමා සිටියේ විදේශගතවය. අඩුම වශයෙන් දැනට ගොඩ නගන්නට යන සන්ධානයේ ප්‍රධාන හවුල්කාර එක් පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාවත් මේ තීරණයට එකග බවක් ප්‍රකාශ නොකිරීම කැපී පෙනෙන සිද්ධියකි.

විද්‍යු මාධ්‍ය මගින් දේශපාලඥයන්ගෙන් මේ පිළිබදව විමසීමේ දී ලැබුනේ මෙවන් ප්‍රතිචාරයකි;

ප්‍රසන්න රණතුංග –  ‘මම දැක්කා ඊයේ පෙරේදා දයාසිරි ජයසේකර උන්නැහැ අපේ වැඩපිළිවල විවේචනය කරනව. එතුමට පුළුවන්ද එහෙම විවේචනය කරන්න. එතුමා කවුද? මහතා මීළග ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නේ පොහොට්ටුවෙන් මිසක් වෙන නායකයෙක් නෙමෙයි., ඉහත උපුටා ගනු ලැබුයේ ඊයේ රාත්‍රි රූපවාහිනි මාධ්‍යයකින් විකාශය වූ පොහොට්ටුවේ ප්‍රබලයකු ප්‍රසන්න රණතුංග මහතා ගේ කතාවකින් කොටසකි. ඒ මහතා මීළඟ ජනාධිපතිවරණයේ ඔවුන්ගේ අපේක්ෂකයා ගෝඨාභය බව ප්‍රකාශ කළේ නැත.

සරත් ඒකනායක – උතුරුමැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා ප්‍රකාශ කර සිටියේ ‘අපි කොහොම ද එක බලවේගයක් හැටියට ඉදිරියට ගෙනියන්නෙ? එකෙදි අර පක්ෂ මේ පක්ෂය කිය කිය ඉන්නේ නැතුව එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ අපි එක්කොමල්ලා එක ගොන්නකට ගන්නෙ කොහොමක කියන එක ගැන තමයි මේ වෙනකොට මහන්සිවෙලා කටයුතු කරන්නෙ.

කුමාර වෙල්ගම – මේ ආණ්ඩුව පෙරළන්න කරන්න තියෙන හැම දෙයක්ම අපි කරනව. මේ ආණ්ඩුව පෙරලන්න අපි කරන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන ඒ වගේම මේ රටේ මිනිස්සුන්ට කාව විවේචනය කෙරුවත් කරදරයක් නැතුව ගෙදර නිදාගන්න පුළුවන් කෙනෙක් ඉදිරිපත් වුණොත්, මහින්ද මහත්තයවගේ කෙනෙක් ඉදිරිපත් වුණොත් අද වගේම හෙටත් මහින්ද මහත්තයට සහයෝගය ලබාදෙනව.

රෝහිත අබේගුණවර්ධන – අනීවාර්යෙන් ඒ අපේක්ෂකයා කවුද කියල රටම හඬගාලා කියන්න ඕනෙ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. හැබැයි මේ රෝහිත අබේගුණවර්ධනගෙ පපුවෙත් ඉන්නව. මගේ පෞද්ගලික මතය මේ රටේ ඊළඟ ජනාධිපතිවරයා විය යුත්තේ අපි ඉල්ලන ගෝඨාභය රාජපක්ෂ.

මිජිබර් රහුමාන් – ඒ සන්ධානය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලාපොරොත්තු වුණේ සිරිසේන ජනාධිපතිතුමාව අපේක්ෂකයා කරන්න. අද වෙනකොට බැසිල් රාජපක්ෂ මහත්තයා පැහැදිලිව කියල තියෙනව පොහොට්ටුවෙ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ කියල අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුවෙ වලිගයක් බවට පත්වෙලා.

නලීන් බණ්ඩාර – ඒ ගොල්ලන්ගෙ අපේක්ෂකයා කවුරු වුණත් අපිට ප්‍රශ්නයක් නැහැ. දිනන්න පුළුවන් අපේක්ෂකයා හා අපේක්ෂකයෝ ඉන්නේ අපිගාව. ඉතින් වඩාත්ම හොඳ එක්කෙනා දානවා අපි වෙලාවට. අපි කලබල වෙන්නෙ නැහැ. ඒ ගොල්ලො තමයි කලබලවෙලා ඇන ගන්නෙ. දැන් දෙතුන් පාරක් ඇන ගත්තා. අපි දිනන්න පුලුවන් හොඳම අපේක්ෂකයා දානවා හරි වෙලාවට.

ඉහත උපුටාගැනීම් අනුව පෙනීයන්නේ කිසිවෙකුගේ කතාවලින් ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂකයා බවට කළ ප්‍රකාශය පිළිබඳ එතරම් තැකීමක් නොකළ බවය. එසේම මාධ්‍ය තුළින් පමණක් චරිත ගොඩනැගිය නොහැකි බවත්, ජනතා පිළිගැනීම මත චරිත ගොඩනැගෙන බවත් ඉතිහාසය තුළින් ඔප්පුවේ.

මේ අතර සතිඅන්ත පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව සමඟ යළි පැරණි මිත්‍රත්වය ආරම්භ වන බවට ඉඟියක් කර තිබුණි.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *