|

ආණ්ඩුවේ ශක්තිය ගැන එජාපය විශ්වාසයෙන්

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවලට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ෙයන් තරගකොට තේරී පත්වූ නියෝජිතයන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දීම පසුගියදා සිදුවුණා. පොළොන්නරුව රාජකීය ප්‍රාථමික විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී මෙම උත්සවය පැවැත්වුණා. දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවලට තේරී පත්වූ 58 දෙනෙකුගේ දිවුරුම් දීම මෙහි දී සිදුවුණා. එහි දී කතා කරමින් ජනාධිපතිතුමා මෙම ජනතා නියෝජිතයන්ට කීවේ කුමන පක්ෂයෙන් බලයට පත්වුවත් දැන් පක්ෂ භේද නොසලකා ජනතාවට සේවය කළ යුතු බවයි.

ඇතැම් පක්ෂ තම තමන්ගේ ජයග්‍රහණය ගැන ලොකුවට කතා කළත් කිසිවකුට සියයට 40 ක ඡන්ද ප්‍රතිශතයක් ඉක්මවා යන්නට නොහැකි වූ බව ජනාධිපතිතුමා මෙහි දී කීවා. එම ඡන්ද ප්‍රතිශතය ගණන් බැලුවොත් පාර්ලිමේන්තු මැතිවරණයක දී ඔවුන්ට හිමිවන්නේ මන්ත්‍රීධුර 102 ක් පමණක් බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. මැතිවරණ කොමිසමෙන් ඡන්ද ප්‍රතිඵල ලබාදෙන්නට ප්‍රථම විවිධ නාලිකා විකෘති ප්‍රතිශත ඉදිරිපත් කළ බව ද ජනාධිපතිතුමා කීවා.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ රජත ජයන්ති උළෙල පසුගිය සඳුදා පැවැත්වුණේ බත්තරමුල්ල ‍වෝටර්ස් ඒජ් හිදීයි. මහ පොළොව, ගහකොළ සහ සතා සීපාවට ආදරය කරමින් ඒවා රැකගැනීමට ඇති ආයතන අතරින් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයටත්, මධ්‍යම පරිසර අධිකාරියටත් විශේෂ වගකීම් හිමිවන බව ජනාධිපතිතුමා එහි දී පෙන්වා දුන්නා. දූෂිත ජාවාරම්කාර ව්‍යාපාරිකයන්ගෙන් පරිසරය රැකගැනීමට රාජ්‍ය ආයතන වගකීමෙන් ක්‍රියාකළ යුතු බව ද ජනාධිපතිතුමා එහි දී පෙන්වා දුන්නා. අමාත්‍ය පාඨලී චම්පික රණවක, නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ 35 වන සමුළුව මෙවර පවත්වන ලද්දේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී. එයට සහභාගිවීමට ජනාධිපතිතුමා පැමිණි විට එහි සභාපතිතුමා ජනාධිපතිතුමා හමුවී ප්‍රකාශ කළේ එදින දිස්ත්‍රික් එකොළහක සංවර්ධන සභා රැස්වන නිසා සංගමයේ සාමාජිකයන් පිරිසකට මෙම සමුළුවට සහභාගිවීමට නොහැකි වී ඇති බවයි. පසුව ජනාධිපතිතුමා තම කතාවේ දී කීවේ දිස්ත්‍රික් සංවර්ධන සභා 11 ක් එකම දිනක දී රැස්වීම ගැන තමන් සතුටුවන බවයි. ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

හැමෝගෙන්ම සියයට සියයක වැඩක් බලාපොරොත්තු විය නොහැකි බවත්, රාජ්‍ය සේවය දේශපාලනය ඇතුළු සෑම තැනකම හරියට වැඩක් නොකරන පිරිසක් සිටින බවත් ජනාධිපති එහි දී ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ සභාපති ධුරයෙන් පිදුම් ලැබ තිබෙන්නේ පූජ්‍ය ගන්තුනේ අස්සජි නාහිමියන් වහන්සේයි. උන්වහන්සේට අක්තපත්‍රය පිළිගැන්වීමේ උළෙල පසුගියදා පැවැත්වුණේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීය. ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් උත්සවය පැවැත්වුණා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගන්තුනේ අස්සජි නාහිමියන් වෙත අක්තපත්‍රය පිළිගැන්වූ අතර විජිනිපත පිළිගැන්වීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදුවුණා. එහි දී කතා කරමින් ජනාධිපතිතුමා පැවැසුවේ පසළොස්වක පොහොය දිනයේ හා ඉරිදා දින උදය වරුවේ පෞද්ගලික පංති පැවැත්වීම පැවැත්වීමට හැකි ව්‍යවස්ථාපිත ක්‍රමවේදයක් ඉදිරියේ දී සකස් කිරීමට අපේක්ෂා කරන බවයි. මෙම කරුණු පිළිබඳව කාලයක් තිස්සේම රටේ වාද විවාද පැවැති බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා.

රංජිත් සියඹලාපිටිය, ගාමිණී ජයවික්‍රම පෙරේරා, ගයන්ත කරුණාතිලක අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියා.

පළාත් පාලන මැතිවරණයේ දී එජාපය මෙන්ම ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිපයද පසුබෑමට ලක්වී පොදුජන පෙරමුණ බහුතර පළාත් පාලන ආයතන ජය ගත්තා. එහෙත් එම ප්‍රතිඵලයේ පදනම 2015 ජනාධිපතිවරණය හා සසැදීමේ දී රාජපක්ෂ පිලට ඡන්ද ලක්ෂ 09 ක් අඩු වී ඇති අතර ප්‍රතිපක්ෂයට එදා ලැබුණු ඡන්ද පදනම ඒ ලෙසට රැකී තිබෙනවා.

එසේම මෙවර ඡන්ද පදනම පාර්ලිමේන්තු මන්ත්‍රීධූර සංඛ්‍යාවට අනුයුක්ත කිරීමේ දී පොදුජන පෙරමුණට 90 ක් එජාපයට 70ක් හා එජනිසයට 30කට ආසන්නව ලැබෙනවා. “එජනිස නොමැතිව අනාගතයේ දී කිසිදු පක්ෂයකට ආණ්ඩු පිහිටවන්න බෑ. ජනපතිවරයා ළඟ දී කීවේ එවැන්නක්”

මැතිවරණ පසුබෑම තුළ ශ්‍රීලනිප බලපෑමෙන් අගමැති රනිල් ඉවත් කිරීමට මෙහෙයුමක් දියත් වූවද 19 වන ව්‍යවස්ථා සංශෝධනය තුළ අගමැති ඉවත් කිරීමට නොහැකි තත්ත්වයක් තිබෙනවා.අනතුරුව ශ්‍රීලනිප පාර්ශ­්වයෙන් පැමිණි විශ්වාස භංග කතාව කරගහගෙන ගියේ ඒකාබද්ධ විපක්ෂයයි. ඒකාබද්ධයේ හා ශ්‍රිලනිප අත්සන් 55 ක් සහිත විශ්වාසභංගය කථානායකට බාර වූයේ ඒ සඳහා එජාපයේද බහුතර සහාය ලැබෙනු ඇත යන විශ්වාසය තුළ වූවද “ එජාප ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීම විනා අගමැති ඉවත් කර ආණ්ඩුව අර්බුදයට යැවීම තම අරමුණ නොවන බව ” එජාප බහුතරයකගේ ස්ථාවරය වනවා. ඒ තුළ විශ්වාස භංගය පහසුවෙන් ජය ගැනීමට සිතා සිටි ඒකාබද්ධයේ අරමුණ දැඩි අභියෝගයකට ලක්වෙලා. තවද මෙහි දී ශ්‍රීලනිප අභ්‍යන්තර අරගලයක්ද නිර්මාණය වී තිබෙනවා. විශ්වාස භංගයට පක්ෂ හා විපක්ෂව ශ්‍රීලනිපය තුළ පැහැදිලි බෙදීමක් පවතින නිසා එම බෙදීම රටට නොපෙනෙන ලෙස සඟවා ගැනීමට ඔවුන් දැඩි වෙහෙසක් ගන්නා බව ද පෙනෙනවා.මුස්ලිම් හා දෙමළ සුළු පක්ෂවල අවසන් තීන්දුව තීරණාත්මක වූවද ඔවුන්ගේ අවසන් තීන්දුව එලි දකිනු ඇත්තේ අවසන් හෝරාවේ බව කියවෙනවා. එහෙත් ජවිපෙ ඍජුවම විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බව ද දෙමළ සන්ධානය ඊට විපක්ෂව ඡන්දය ලබාදෙන බව මේ වන විට ඉගි කොට අවසන්.

“මහනුවර අධිවේගයේ තුන්වැනි අදියර නුසුදුසු සමාගමකට දීලා. මම එය අනුමත කරන්නේ නැහැ.” ජනපති පසුගිය කැබිනට් මණ්ඩලයේ දී ප්‍රකාශ කළේ හිටපු මහා මාර්ග ඇමැති ලක්ෂමන් කිරිඇල්ල දෙස අවධානය යොමු කරමින්.

“අපි දුන්නේ ජපානයේ ඉතාම සුදුසු සමාගමකටයි. ඒ සමාගම කුඩා සබ්කොන්තරත්තුවක් වෙනත් සමාගමකට දීල තියනවා. එහෙම නැතුව අපි ටෙන්ඩරය දුන් සමාගම නුසුදුසුයි කීම වැරදියි. මම සියලු විස්තර සති 02ක් තුළ ඔබතුමාට ඉදිරිපත්කරන්නම්. අපි දීපු සමාගම නුසුදුසුයි නම් ඔබතුමා තීන්දුවක් ගන්න” ලක්ෂ්මන් කිරිඇල්ල කළ පැහැදිලි කිරීම ජනපතිගේද විශේෂ අවධානයට යොමු වුණා.

විශ්වාසභංගය ලබන 04දා පාර්ලිමේන්තුවේ දී විවාද කිරීම හා ඡන්ද විමසීමට අදාළ කරුණු සාකච්ඡා කිරීමට පක්ෂ නායකයන් කථානායක කරූගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තුවේදීරැස්වුණා.

“තිලංග නියෝජ්‍ය කථානායකතුමා ඔබ එස්.බී. තියපු ශ්‍රීලනිප ප්‍රවෘත්ති සාකච්ඡාවට එකතුවෙලා විශ්වාසභංගය ගැන අගමැතිට විරුද්ධව කතාකළා. අගමැතිට විරුද්ධව එස්.බී. කී සියලු දේඔබ අනුමත කළා. නියෝජ්‍ය කථානායක ලෙස ඔබතනතුරේ ගෞරවය හා පාර්ලිමේන්තු සම්ප්‍රදාය හෑල්ලු කළා. එහෙම පහත් වැඩ කරන්න එපා” සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල ගෝරනාඩු කළා.

“ශ්‍රීලනිප කෙනෙක් නිසයි මම ඒකට ගියේ. තනතුරු දැරුවත් මම ශ්‍රීලනිපය නියෝජනය කරන්නේ” තිලංග සුමතිපාල උත්තර බැන්දා.

“එහෙම කරන්න බෑ. කරු කථානායකතුමා ඒතනතුර බාරගත්තට පසු එජාප රැස්වීම්, ප්‍රවෘත්ති සාකච්ඡා තියා සිරිකොතටවත් එන්නේ නෑ. ඒගෞරවනීය ආදර්ශය ඔබ ඉගෙන ගන්න” කිරිඇල්ල යළිත් දැඩිප්‍රහාරයක් එල්ල කළා.

“මම නියෝජ්‍ය කථානායකනම් ඔය ප්‍රවෘත්ති සාකච්ඡාවට යන්නේනෑ” කථානායක කරූද කීවා.

උණුසුම් වාද විවාද මැද නිමාවූ පක්ෂ නායක රැස්වීමේ දී “නම” කතාකොට විශ්වාසභංගයට ඡන්ද විමසීමට ද පක්ෂ නායකයන් තීන්දු කළා.

විශ්වාස භංග ඉදිරිපත් වී තිබුණද අගමැතිවරයා සිටිනුයේ ඉතා සැහැල්ලුවෙන්. යොදාගත් සියලු උත්සවවලටද ඔහු එක්වුණා. දකුණු ආසියානු වානිජ මණ්ඩල සමුළුව හා උතුරේ ගුරුවරුන්ගේ සමුළුව ඒ අතර ප්‍රධාන තැනක් ගත්තා.

බ්‍රහස්පතින්දා පෙරවරුවේ අගමැතිවරයා සිරිකොතට ගියේ විශේෂ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමටයි.

එහි දී ආණ්ඩුව පෙරළා බලය ඩැහැගැනීමේ විපක්ෂ හා ආණ්ඩුව තුළම සිටිනා සුළුපිරිසකගේ මෙහෙවීම පරදවා විශ්වාස භංගය පරාජය කිරීමට අදාළ යෝජනාවක් සම්මත වූයේ කාගේත් එකඟත්වය තුළින්.”ආණ්ඩුව පරද්දන්න එජාපයේ කවුරුවත් ක්‍රියාකරන්නෙ නැහැ. ඒත් විශ්වාසභංගය පැරදවූ දිනට පසුදිනම එජාප ප්‍රතිසංස්කරණ වහාම සිදුකළ යුතුයි. ඒ ගැන ප්‍රතිඥාවක් අවශයි. නැතිනම් අපටත් තීන්දුවක් ගන්න වෙනවා. ඒ මතයේ එජාප හුඟදෙනෙක් ඉන්නවා” සුජීව සේනසිංහ මෙන්ම රංගබණ්ඩාරද කීවේ එකම කතාවක්.

“04දා විශ්වාසභංගය දිනලා 05, 07 හා 08 දිනවල අවශ්‍ය ප්‍රතිසංවිධාන කරනවා. ඊට අදාළව කැඳවූ වාර්තා මම මහලේකම් කබීර්ට බාර දෙනවා” යයි කී අගමැතිවරයා අදාළ වාර්තා කබීර් අතට පත් කළා. කෘත්‍යාධිකාරී රැස්වීම පැයකට වඩා ඇදුන ද කිසිවකු මතභේදාත්මකව කතාකිරීම හෝ ක්‍රියා නොකිරීම කැපීපෙනුණා.

“ වසන්ත සේනානායකගේ දැන් අදහස මොකක්ද දන්නේ නෑ නේද” එජාප නීති නිලධාරියෙක් ඇසුවා. “ මම දන්න තරමට බහුතර මතයට ගරු කරලා එතන හිට ගැනීම ඔහුගේ පිළිවෙත බව ආරංචියි. ” එම නිලධාරියා වැඩි දුරටත් කීවා.

“මුස්ලිම් පක්ෂවල අලුත්ම මතය මොකක්ද ? ඔවුන් පරිස්සමින් හැන්ඩ්ල් කළ යුතු අයයි ” දයා ගමගේ කීවා.

“ දැනට ප්‍රශ්නයක් නෑ.අද දවස එජාපෙ සියලු පක්ෂ නායකයන් මම හමුවෙනවා.” අගමැති කීවා.

“ ශ්‍රීලනිපය විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන්නොත් හෝ ඡන්දය වර්ජනය කළොත් ඒ අයට ආණ්ඩුවෙන් පිටවෙන්න වෙනවා.අපට විකල්පයක් බලන්න වෙනවා. එහෙම වුණොත් තනි ආණ්ඩුවකට අපව තල්ලු කළේ ඔවුන් බව ජනතාව තේරුම් ගනීවි.” මැති ඇමතිවරු කිහිප දෙනකු කී විට අගමැතිවරයා නලළ රැලි ගන්වා ඉතා සැහැල්ලුවෙන් ඉවත බලාගත්තේ මද සිනහවක්ද සමගින්.

වත්මන් උදා ගම්මාන වැඩපිළිවෙළ යටතේ ජනතා අයිතියට පත් කළ 50 වැනි උදාගම්මානය වූයේ අම්පාර දිස්ත්‍රික්කයේ තිරුක්කෝවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සංගමන්කන්ද ග්‍රාමයේහි ඉදි වූ “සංගමන්ග්‍රාමම්” ගමයි. සජිත් ප්‍රේමදාස ඇමතිවරයා උත්සවයට පෙර ඒ ආසන්නයේ වූ පත්තිනි අම්මාන් ‍කෝවිලේ විශේෂ පූජාවකටද සහභාගි වුණා. පූජාවෙන් අනතුරුව ‍කෝවිල වටා ඇවිද ගිය ඇමැතිවරයාට දැකගත හැකි වූයේ එහි පසුපස කොටස ගරා වැටී ඇති ආකාරයයි. එසේ කඩා වැටී තිබූ කොටස් ප්‍රතිසංස්කරණය කර ගැනීමට තරම් මුදලක් කෝවිල සතුව නැති බව වටහා ගත් සජිත් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කරුණාරත්න අතුකෝරළ උප සභාපතිවරයා කැඳවා කීවේ “අද උත්සවය ඉවරවුණු හැටියේම ඇවිත් මේ කෝවිලේ දායක සභාව හමුවෙලා ප්‍රතිසංස්කරණය කටයුතුවලට නිවාස අධිකාරිය උපරිම දායකත්වයක් ලබාදෙන බව දන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න” කියායි. අනතුරුව එහි සිටි පිරිස සජිත් කැටුව ගොස් පෙන් වූ පැරණි සමරු ඵලකයන් දැකීමෙන් සජිත්ට ඇති වූයේ විශ්මයක් මෙන්ම එක්තරා කම්පනයක්. 1981 වසරේ දාතමින් සහිත එම සමරු ඵලකයේ සඳහන් වන්නේ එහි ඇති නිවාස 30 කින් සමන්විත “සංගමන්ග්‍රාම” නැමති උදාගම්මානය රණසිංහ ප්‍රේමදාස. එවක ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා විසින් ජනතා අයිතියට පත්කළ බවයි. එහි පැමිණි දෙමළ ජාතික සන්ධානයේ කෝඩිෂ්වරන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට සජිත් කීවේ “ඔතනම මගේ තාත්තා හදපු ගෙවල් 30ක උදා ගම්මානයකුත් තියෙන බව දැනුයි මං දන්නේ. ඒ ළඟමනේ මේ ගෙවල් 25ක් හදලා තියෙන්නේ. ඒ ගැන මට පුදුම ආඩම්බරයක් දැනුණා” කියායි. කෝඩිෂ්වරන් කීවේ “ඇමැතිතුමා ඔබතුමා වැඩ කරන විදිය බලා ඉන්න කොට අපිටත් හරිම සංතෝෂයි. මීටත් වැඩියෙන් ජනතාවට සේවය කරන්න හැකි වේවා කියලා අපි ආශිර්වාද කරනවා” යනුවෙන් ඊළඟට කෝඩිෂ්වරන් සජිත්ගෙ කනට ළංව කීවේ ප්‍රදේශවාසීන්ගේ ගැටලුවක්. “ මේ පැත්තේ ජනතාවට නිවාස ගැටලුවක් විසඳාගන්න ඕනෑ නම් අම්පාරටම යන්න වෙනවා. කිලෝමීටර් 65 – 70 ක අමාරු ගමනක් ඒක. මේ දුප්පත් මිනිස්සු වෙනුවෙන් මේ පැත්තේ නිවාස අධිකාරියේ ප්‍රාදේශීය කාර්යාලයක් විවෘත කරලා දෙන්න ඇමතිතුමා” කෝඩිෂ්වරන් ඉල්ලීමක් කළා. සජිත් නිවාස අධිකාරියේ ලක්විජය සාගර පලන්සූරිය සභාපතිවරයාට කීවේ “අම්පාර කියන්නේ මේ රටේ විශාලම දිස්ත්‍රික්කයක්. මේකේ අහුමුළුවල ඉන්න දුප්පත් මිනිස්සුන්ට හැමදේටම අම්පාරට යන්න අමාරුයි. ඒ නිසා අධිකාරියේ ප්‍රාදේශීය කාර්යාලයක් මේ ප්‍රදේශයේත් දාලා අපේ සේවාවන් මීට වඩා විධිමත් කරන්න” කියායි.

බ්‍රහස්පතින්දා සවස ගාල්ල මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තේරීපත් වූ නියෝජිතයන් 14 දෙනාත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභිකයන් තුන්දෙනා සහ එක්සත් ජාතික නිදහස් පක්ෂයේ සභිකයාත් පැමිණියා. ඔවුන් සියලු දෙනාම ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට පැමිණි අතර මුස්ලිම් කොංග්‍රසයේ නායක නගර නිර්මාණ හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා, විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්රාන් මහරූෆ් මහතා ද මෙම අවස්ථාවට සහභාගී වුණා. අමාත්‍යාංශයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් නගර සභාවට තේරීපත් වූ සභිකයන් සියලු දෙනා දිවුරුම් දුන් අතර අනේක සිවුදෙනා ඉන් පෙර දිවුරුම් දී පැමිණ තිබුණා. මේ හමුවේ අරමුණ වූයේ පසු දා එනම් 23 වැනි සිකුරාදා ගාල්ල මහා නගර සභාවේ මංගල සභා වාරයේ දී එහි බලය අල්ලා ගැනීමයි.

මැතිවරණය පැවැත්වූ අවස්ථාවේ පටන් ඒ මොහොත දක්වාම පැවැති සාකච්ඡා ගණනාවකින් පසු මේ කණ්ඩායම අතර විශේෂ එකඟතාවක් තිබුණා. ගාල්ල මහ නගර සභාව ජයගත් එක්සත් ජාතික පක්ෂයට මහා නගර සභාවේ නගරාධිපතිධූරය ලබාදීමටත්, නියෝජ්‍ය නගරාධිපතිධූරය එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලබාදීමටත් මෛත්‍රී ගුණරත්න මහතාගේ එක්සත් ජාතික නිදහස් පෙරමුණේ සභිකයාගේ සහාය ඊට ලබා දීමත් මේ එකඟතාවයයි. ඒ අනුව සභිකයන් 18 දෙනකුගෙන් සමන්විත ගාල්ල මහා නගර සභාවේ පැහැදිලි බහුතරය එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ මෙම කණ්ඩායමට තිබුණා.

මැතිවරණය අවසන් වූ මොහොතේ සිට එක්සත් ජාතික පක්ෂයේ නගරාධිපතිවරයා කවුරුන්ද යන්න පිළිබඳ විවිධ මත පළ වූ අතර බොහෝ දෙනකුගේ පිළිගැනීම වූයේ කණ්ඩායමේ සිටි ජ්‍යෙෂ්ඨතමයකු වූ ජිලිත් නිශාන්ත මහතා මෙවර නගරාධිපතිවරයා විය යුතු බවයි. එසේ වුව ද එක්සත් ජාතික පක්ෂයෙන් නගර සභාවට තේරීපත් වූ ෆයාස් ලතීෆ්, ෆවුසුල් නියාස් හා රොෂාන් මන්සූන් තිදෙනා දිගින් දිගටම නගරාධිපති ධූරයට තමන්ට ලබා දෙන්නැයි තනි තනිව ඉල්ලීම් ඉදිරිපත් කර තිබූ අතර රොෂාන් මවුසූන් සමාජ ජාල ඔස්සේ මැතිවරණයේ දී තමන් ලබාගත් ඡන්ද ප්‍රතිශත පවා ඉදිරිපත් කර වෙනත් සටනක් ආරම්භ කර තිබුණා.

නගරාධිපතිවරයා තේරීමේ දී රහස් ඡන්දයක් ප්‍රතික්ෂේප කිරීමට ද එහි දී එකඟතාවයකට එළැඹුණා. උදෑසන සියලු දෙනා එක්ව කිරිබත් කා නගර සභාවට ගිය ද එතැන දී සිදුවූයේ වෙනකක්. නගරාධිපතිවරයා ලෙස ජිලිත් නිශාන්ත මහතාගේ නම යෝජනා කිරීමට පොරොන්දුව සිටි ෆයාස් ලතීෆ් ජිලිත්ගේ නම යෝජනා කළේ නැහැ. ජිලිත්ගේ නම යෝජනා නොවන බව දුටු ගුණසෝම ගමගේ මහතා නැගිට ජිලිත්ගේ නම යෝජනා කළා. අනතුරුව රහස් ඡන්දයක් පවත්වන්නේ ද යන්න පිළිබඳ අදහස් විමසද් දී එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමේ නවකයකු වූ සිරාජ් මොහොමඩ් රහස් ඡන්දයක් අවශ්‍යයැයි කීවා. මෙය පක්ෂයේ මතයට පටහැනිව යාමක් බව දුටු ජිලිත් සභාවේ දී ම සිරාජ් සිරාජ් ඔයා රහස් ඡන්දයක් ද ඉල්ලුවේ යැයි ඇසූ විට. සිරාජ් දැඩිව කීවේ ඔව් යන්නයි. එතැන් සිට එක්සත් ජාතික පක්ෂයේ නවකයන් වූ කමාල් හුසේන් සහ ෆාතිමා රිහානා ද රහස් ඡන්දයක් ඉල්ලුවා.

ඡන්දය පැවැත්වෙන ආකාරය පිළිබඳ කොළඹ සිට අවධානයෙන් පසු වූ වජිර අබේවර්ධන අමාත්‍යවරයා එජාප කණ්ඩායමේ මුස්ලිම් මන්ත්‍රීවරු රහස් ඡන්දයක් ඉල්ලීම කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව දැන ගත්ත ද ඒ වනවිට කරන්නට කිසිවක් ඉතිරිව තිබුණේ නැහැ. අවසානයේ රහස් ඡන්දයකට පක්ෂව ඡන්ද 22 ක් ද රහස් ඡන්දයකට විරුද්ධව ඡන්ද 10ක් ද ලැබී තිබුණා. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු ඡන්දයට කිසිදු කැමැත්තක් ප්‍රකාශ කළේ නැහැ.

පැවැතියේ රහස් ඡන්දයක්. මේ රහස් ඡන්දයෙන් පොහොට්ටුවේ නගරාධිපති අපේක්ෂකයා වූ ප්‍රියන්ත සහබන්දු මහතා ඡන්ද 20ක් ලබාගත් අතර ජිලිත් නිශාන්ත මන්ත්‍රීවරයාට ලැබුණේ ඡන්ද 11 ක්. ඒ අනුව නගරාධිපතිධූරයට පොහොට්ටුවේ ප්‍රියන්ත සහබන්දු මහතා තේරීපත් වුණා.

අවසානයේ එක්සත් ජාතික පක්ෂයේ ෆවුසුල් නියාස් මහතා නියෝජ්‍ය නගරාධිපතිධූරයට පත්කෙරුණු අතර ඔහුගේ නම යෝජනා කරන ලද්දේ නගරාධිපතිවරයා ලෙස පත්වූ ප්‍රියන්ත සහබන්දු මහතා විසින් වීම විශේෂත්වයක්.

නගර සභාව ජයගත් එක්සත් ජාතික පක්ෂයට අවසානයේ නගරාධිපතිධූරය අහිමිවුණා. එක්සත් ජාතික පක්ෂයේ අනෙක් මන්ත්‍රීවරුන්ගේ චෝදනාව වූයේ මුස්ලිම් මන්ත්‍රීවරු මුදලට එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය පාවා දුන් බවයි.

මේ සිදුවීමත් සමඟ කොළඹ ගිනි ගත්තා. ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සිටි ඇමැති වජිරගේ දුරකථනයට විවේකයක් තිබුණේ නැහැ. ඇමතිවරයා ඇමතූ පක්ෂයේ අනෙක් ප්‍රබලයන්ට ඔහු කියා සිටියේ සිංහල මන්ත්‍රීවරයකුට මෙවර ගාල්ල මහා නගර සභාවේ සභාපතිධූරය ලබාදීමේ තීරණය පක්ෂයෙන් ගත් තීරණක් බවයි.

අඟහරුවාදා දිසාපති සමුළුව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. මේ සමුළුව සඳහා සවස් වරුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වූණා. එහි පැමිණි අගමැතිවරයා දිසාපතිවරුන්ට උපදෙස් දුන්නේ පසුගිය වසරේ ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘති සහ මේ වසරේ ආරම්භකරන සංවර්ධන ව්‍යාපෘති සියල්ල නියමිත කාලයේ දී අවසන් කළ යුතු බව කියමින්. එමෙන් ම සංහිදියාව ඇතිකිරීම සඳහා දිසාපතිවරු ප්‍රමුඛත්වය ගෙන ක්‍රියාකළ යුතු බව අගමැතිවරයා කීවා. අලුත් අවුරුදු උත්සවය හා වෙසක් පොහොය උත්සව අප්‍රේල් මාසයේ යෙදී ඇති බැවින් ඒ සම්බන්ධව උනන්දු වී ක්‍රියාකරන ලෙස ද අගමැතිවරයා දිසාපතිවරුන්ගෙන් ඉල්ලා සිටියා.

අගමැතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම විශේෂ සාකච්ඡාවක් පසුගිය සතියේ දී පැවැත්වුණා. ජවිපෙ නායක සහ ජ.වි .පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ ද නායකයා වන අනුර දිසානායක මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වුණා.

දැන් රටේ වෙන කිසි දෙයක් ගැන නෙවෙයි කතා වෙන්නේ විශ්වාසභංගය ගැන. හැමදෙනාගෙම අවධානය මේකට හැරිලා. නමුත් ඒකෙන් ජනතාවට වෙන සෙතක් නම් නැහැ. මේක මහින්දලා මෛත්‍රීලා එකතු වෙලා ගහපු ගේම් එකක් විදියට තමයි පේන්න තියෙන්නේ” විජිත හේරත් කීවා.ඒකාබද්ධ විපක්ෂයෙන් මේක ගේනවා කිවුවට ඇත්තටම වුවමනාව තිබුණේ වෙන කණ්ඩායමකටයි. මේ අත්සන් ඇතුලේ පේන්න නො තිබුණාට මෛත්‍රීපාල ජනාධිපතිගෙත් අත්සන තියෙනවා. මැතිවරණය කාලෙත් ජනාධිපතිතුමා එජාපයට ගැහුව්වා. රාජපක්ෂ කණ්ඩායම එක්ක ආණ්ඩුවක් හදන්න වුවමනාව දිගටම තිබුණේ එතුමට. ඒකයි පහුගිය කාලේ හොරු ආරක්ෂා කළේ.” බිමල් රත්නායක කීවා. ”ඒ කොහොම වුණත් අපේ තීරණය ගැන තමයි ගොඩක් අය අවධානෙන් ඉන්නේ. මේකට අපි සහාය දෙන්න ඕනෑ. මේකේ කරුණු 14ක් වුණාට ඇත්තටම තියෙන්නේ කරුණු දෙකයි. බැඳුම්කර ගනුදෙනුවයි මහනුර දිගන ජාතිවාදී ප්‍රශ්නයයි. නමුත් මේකට ඇතුල් වෙන්න ඕනෑ කරුණු ගණනාවක් තියෙනවා. මේ රටේ ආර්ථිකය තිබුණ තැනින් තවත් කඩා වැට්ටුවා. සම්පූර්ණයෙන් අලූත් හොරු පරණ හොරු දෙගොල්ලම ආරක්ෂා කළා. රටේ ආර්ථික සම්පත් විකුණලා දානවා. මේවත් ඇතුල් වෙන්න ඕනෑ. පාර්ලිමේන්තුවේ විවාදය දවසේ මේ දේවල් ජනතාවට දැනගන්න අපි කියන්න ඕනෑ” අනුර දිසානායක කීවා.

ජනතා විමුක්ති පෙරමුණ විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කිරීමට සූදානම් වන විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ 20වැනි සංශෝධනය මේ වනවිට කෙටුම්පත් කරමින් තිබෙනවා. ජවිපෙ නායකයින්ගේ මැදිහත්වීමෙන් නීතිඥ කණ්ඩායමක් වෙත මෙම කෙටුම්පත සකස් කිරීමට භාර දී තිබෙනවා. මේ සම්බන්ධයෙන් මේ දිනවල විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, නීතිඥයින් ඇතුළු විද්වතුන් සමඟ පුළුල් සංවාදයක් ආරම්භ කෙරෙනවා. ජනාධිපතිවරයාගේ බලතල පාර්ලිමේන්තුවට, කොමිසන් සභාවලට පැවරීම සම්බන්ධයෙන් පළාත් සභාවල ආණ්ඩුකාරවරයාගේ බලතල සම්බන්ධයෙන් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමෙන් අනතුරුව ඇතිවන අන්තර් කාලය සම්බන්ධයෙන් ආදී විවිධ කරුණු පිළිබඳව සංවාදයක් සිදුවෙනවා.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කොට ඇති විශ්වාසභංග යෝජනාව නිසැකවම ජයගන්නා බව දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, උදය ගම්මන්පිල මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පුවත්පත් සාකච්ඡාවක දී කීවේ තරමක් වෙනස් කතාවක්. ඒ මහතා කීවේ විශ්වාසභංගයට ශ්‍රීලනිපය සහය දීම ගැන තවමත් විශ්වාසයක් තැබිය නොහැකි බවයි. ශ්‍රී ලනිප නායකයකු විශ්වාසභංග යෝජනාව ගැන කළ ප්‍රකාශයක් නිසා එම අවිශ්වාසය ගොඩනැඟී ඇති බව පීරිස් මහතා කීවා.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කිරීම සඳහා මේ මොහොතේ ශ්‍රීලනිපය ඡන්දය දිය යුතු බව කී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා කීවේ එසේ නොකළහොත් සිදුවන්නේ මහා ව්‍යසනයක් බවයි.

මේ අතර වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා වෙනත් යෝජනාවක් කර තිබුණා. ඒ මහතා කීවේ විශ්වාසභංග යෝජනාවට සහය දෙන්න ශ්‍රීලනිපයට හැකියාවක් නැතිනම් වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යා යුතු බවයි. ඒ සඳහා අවශ්‍ය නීති සම්මතකර ගැනීමට ඒකාබද්ධ විපක්ෂය සහය දෙන්න සූදානම් බව ද කියා තිබුණා. කෙසේ වෙතත් දැන් පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනසක් නොකර මහ මැතිවරණයක් පැවැත්වීමේ හැකියාවක් නැහැ.

ඒකාබද්ධ විපක්ෂයේ විශ්වාසභංග යෝජනාව භාරදීමෙන් පසුව මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා ද තවත් ප්‍රකාශයක් කර තිබුණා. එනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් තම කණ්ඩායම එයට ආධාර දෙන බවයි. තම කණ්ඩායමේ කිසිවකු ඇමැති ධුර භාර නොගන්නා බවත් එසේ වුවත් විපක්ෂයේ සිට තම සහය ලබාදෙන බවත් රාජපක්ෂ මහතා කියා තිබුණා.

මේ අතර බැසිල් රාජපක්ෂ මහතා මේ දිනවල සිටින්නේ වෙනත් මෙහෙයුමකයි. එය නම් පළාත් පාලන ආයතන වැඩි ගණනක බලය පිහිටුවාගැනීමේ මෙහෙයුමයි. පොදුජන පෙරමුණ සභා වැඩි ගණනක් දිනුවද බොහෝ තැන්වල ඔවුන්ට අවශ්‍ය බහුතරය නැහැ. එජාපය දිනූ තැන්වල ද එම තත්ත්වය තිබෙනවා. බැසිල්ගේ මෙහෙයුම වී තිබෙන්නේ ඒ ආයතන වැඩි ගණනක පොහොට්ටුවේ බලය පිහටුවීමයි. ඒ අනුව ගාල්ල, මීගමුව, කුරුණෑගල වැනි ස්ථානවල බලය පිහිටුවන්නට හැකිවී තිබෙනවා. ඒ අතර තවත් රාශියක බලය අහිමිවී තිබෙනවා. පොහොට්ටුවේ නාමයෝජනා ප්‍රතික්ෂේප වූ තිරප්පනේ ප්‍රාදේශීය සභාව ජයග්‍රහණය කළේ නාගයා ලකුණින් තරග කළ කණ්ඩායමක්. ඒ පොහො‍ට්ටුවේ ආධාරයෙන් ඔවුන් ප්‍රාදේශීය සභාව දිනුවත් අවසානයේ බලය පිහිටවූවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය එකතුවයි. මේ තත්ත්වය තවත් බොහෝ තැන්වල සිදුවෙමින් තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *