යහපාලනයේ දෙවන කොටස හෙවත් එජාපයේ ගෙදර ප්‍රශ්නයට රටේ ප්‍රශ්න බිල්ලට නොදීම‍ – අනුර සුරියබණ්ඩාර

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 2019.08.05 දින, පවසා තිබුණේ, එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජාතික පෙරමුණ අනෙකුත් දේශපාලන පක්ෂ සමග අත්සන් කරනු ලබන ගිවිසුම හෙවත් ගොඩනගන සන්ධානය අගෝස්තු මාසය අවසන් වීමට ප්‍රථම ගොඩනගනු ලබන බවය. ඊට ප්‍රථම කියැවුනේ 2019 අගෝස්තු 05 වන දින සුගතදාස ගාහස්ථ ක්‍රිඩාංගනයේ දී එම සන්ධානය ගොඩනැගීමට නියමිත බවය. එහෙත් එම සංවිධානය ගොනනැඟීම කල්තබනු ලැබු බව අගෝස්තු 04 දින නිවේදනය කරන්නට යෙදුණි.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ දේශපාලන සන්ධානය ගොඩනැගීම මෙසේ කල්යාමට හේතුව එක්සත් ජාතික පක්ෂය තුළ පවතින මත ගැටුම බව මේවන විට පැහැදිලිය.

එක්සත් ජාතික පක්ෂය සමඟ මැතිවරණ පෙරමුණ ගොඩනැගීමට ඉදිරිපත් වී සිටින අනෙකුත් දේශපාලන පක්ෂ මේ වන විට අනුගමනය කරන පිළිවෙත බව පෙනෙන්නේ, එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ගැටුම සමනය කරගත් ඕනෑම මොහොතක එජාපය සමග ගිවිසුම් ගත වීමට ඔවුන් සූදානම් වන බවය.

එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස, තලතා අතුකෝරල, අජිත් පී. පෙරේරා, එරාන් වික්‍රමරත්න, මංගල සමරවීර වැන්නන් විසින් මේ වන විට පක්ෂය තුළ අර්බුදයක් ඇති කර තිබේ. ඔවුන්ගේ උත්සාහය බව පෙනෙන්නේ ඊළග ජනධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා වශයෙන් සජිත් ප්‍රේමදාන මහතා ඉදිරිපත් කිරීමය.

සජිත් ප්‍රේමදාස මහතා පිළිබඳ ප්‍රශ්නයේ දී සජිත් හිතවාදි කණ්ඩායම දරන මතය වන්නේ පක්ෂයේ පහළ මට්ටමේ සහයෝගය ලබා ගැනීමට නැතහොත් සාමාන්‍ය ව්‍යවහාරය අනුව පක්ෂයේ ‘ගැම්ම’ වැඩි කිරීමට සජිත් ප්‍රේමදාන මහතා අවශ්‍ය බවය.

සජිත් ප්‍රේමදාස මහතා පිළිබඳ පක්ෂයට පහළ මට්ටමේ පක්ෂ සාමාජිකත්වයට රනිල් වික්‍රමසිංහ මහතාට වඩා වැඩි ආකර්ෂණයක් තිබේය යන්න සමීක්ෂණයකින් හෝ වෙනත් විද්‍යාත්මක සොයාබැලීමකින් තහවුරු කරගත් කරුණක් නොවේ. එය සැලකිය හැක්කේ එක්තරා අනුමානයක් වශයෙනි. නිදර්ශනයක් වශයෙන් පසුගිය ජනාධිපතිවරණයේ දි පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් කරනු වෙනුවට එක්සත් ජාතික පක්ෂය තම අපේක්ෂකයා වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කරන්නට යෙදුනේ නම් ඉරණම තීරණය වන්නට තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා පරාජයට පත් වී මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කිරීමෙන් බවඉතා පැහැදිලි කරුණකි.

ඉහත කරුණම තවත් ආකාරයකින් විග්‍රහ කර බැලීමට ප්‍රළුවන. එනම් මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවට පසුගිය ජනාධිපතිවරණයේ දි සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කරන්නට යෙදුනේ නම්, කුමක් සිදුවනු ඇතිද යන්නයි. එසේ වුයේ නම් පළමුව සිදුවන්නට තිබුණු දෙය වන්නේ එවර පොදු අපේක්ෂකයාගේ සහය සදහා ඉදිරිපත් වුණු විවිධ පුද්ගලයන් ගේ සහ සංවිධානවල සහයෝගය ඔහුට නොලැබී යාමය. තවත් ආකාරයකින් කියන්නේ නම් පසුගිය ජනාධිපතිවරණයේදි පොදු අපේක්ෂකත්වය සඳහා එක්සත් ජාතික පක්ෂයට පිටතින් තැනැත්තෙකු සොයන්නට මාදුළුවාවේ සෝභිත හිමි ඇතුළු පිරිසට සිදුවුයේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඔවුන්ගේ අවධානයට ලක්වන මට්ටමක මෙන්ම ඔවුන්ගේ විශ්වාසය දිනාගත හැකි මට්ටමක නොසිටි හේතුව නිසාය.

පසුගිය ජනාධිපතිවරණයේ දි එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා කෙරෙහි අනෙකුත් දේශපාලන පක්ෂ තැබු විශ්වාසය තරමේ විශ්වාසයක් හෝ දිනාගන්නට සජිත් ප්‍රේමදාස මහතාට හැකියාවක් තිබුණේ නැත.

ඉදිරි ජනාධිපතිවරණයේ දි එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතුය යන මතය ගොඩනැඟීමට ප්‍රධාන හේතුව, එක්සත් ජාතික පක්ෂය සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර මේ වන විට ගොඩනැගී ඇති ආරවුලය.

පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා ආණ්ඩු පක්ෂයේ තැනැත්තකු නොවු විට අතිවිය හැකි අර්බුදය පිළිබද පළමු නිදර්ශනය ලැබුණේ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් සහ පොදු පෙරමුණේ ජනාධිපති ධුරයක් පැවැති ජනාධිපති චන්ද්‍රිකා, අගමැති රනිල් ආණ්ඩු කාලයේය. පවතින ව්‍යවස්ථාවට අනුව අගමැති එක් පක්ෂයකින හා ජනාධිපති තව පක්ෂයකින් පත්වුව්‍හොත් චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනපති හා රනිල් වික්‍රමසිංහ අගමැති සමයේ නොහොත් මෛත්‍රිපාල සිරිසේන ජනපති – රනිල් වික්‍රමසිංහ අගමැති වශයෙන් ඇති වී තිබෙන ආකාරයේ අර්බුදයක් පැනනැගිය හැකි බව අණ්ඩුක්‍රම විශාරදයන් පෙරත් අනාවැකි පළ කර තිබුණි.

දැනට පවතින මෛත්‍රි – රනිල් අර්බුදය නැතහොත් ජනපති – අගමැති ගැටුම අනුව සලකා බලන විට කවර හෝ පක්ෂයක් තමන්ගේ ජනාධිපතිවරයකු යටතේ තමන්ගේම ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට උත්සාහ කරන්නේ නම් ඊට වරදක් කියන්නටද හැකියාවක් නැත. එහෙත් එහිදි පවතින විෂය මූලික දේශපාලන කරුණු මගහැර හිතළු ඔස්සේ දේශපාලන තීරණ ගැනීමට පක්ෂයක් හෝ පුද්ගලයන් කටයුතු කරනනේ නම් එය අනුමත කළ නොහැකිය.

නිදර්ශනයක් වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා දුර්වල නායකයකුය යන්න රනිල් විරෝධින් විසින් ගොබෙල්ස් න්‍යාය අනුව සමාජ ගත කරනු ලැබු මතයකි. කවර තත්ත්වයක් යටතේ වුවත් රනිල් වික්‍රමසිංහ යනු මහින්ද රාජපක්ෂ හෝ ගෝඨාභය රාජපක්ෂ හෝ මහින්දවාදි අන් කවර නායකයකුට වඩා පිරිසුදු නායකයකු මෙන්ම ඔවුනට වඩා ප්‍රජාතන්ත්‍රවාදි නායකයකු ද වේ. ගැටලුව ඇත්තේ ඒ බව පෙන්වීමට ඔහුගේ පක්ෂයේ අවශේෂ නායකයන් සාමාජිකයන් කටයුතු නොකිරීමය. ඔහුටත් එසේ ප්‍රදර්ශනය වීමට අවශ්‍යතාවක් නැතිවීමය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ අනෙක් විශේෂත්වය වන්නේ බලය දරා සිටියදි තමා දුෂිතයකු නොවන බව ඔප්පුකර තිබිමය. සාමාන්‍යයෙන් සිදු වන්නේ බලයට පත්වීමට පෙර පිරිසුදු මහත්වරුන් ලෙස පෙනෙන තැනැත්තන් බලයට පත් වු පසුව  දූෂිතයන් බව පෙනී යාමය. මහින්ද රාජපක්ෂ මහතා ඒ සඳහා ඇති ආසන්නම සහ හොඳම නිදර්ශනයයි.  

මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදුව ඇති වංචා දුෂණ මිනීමැරුම් සියල්ල තිබියදි ඔහු අසහාය නායකයා ලෙස මාර්කට් කරන්නට මහින්ද වාදින් ගන්නා උත්සාහයෙන් අංශුමාත්‍රයක්වත් එක්සත් ජාතික පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් දරන බවක් පෙනෙන්නට නැත. ඒ වෙනුවට එක්සත් ජාතික පක්ෂයේ ඇතැමුන් කරමින් සිටින්නේ විරුද්ධවාදින්ගේ මතය පෝෂණය කිරිමයි.

ඊළඟ කාරණය වන්නේ සජිත් ප්‍රේමදාස මහතාට මේ වනවිට එල්ල වී ඇති චෝදනා නොසලකා කටයුතු කිරීමය. හෙල්පින් හම්බන්තොට අමතක කර මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්කිරීමෙන් ලැබුණු දරුණුම අත්දැකීම කනින් කොනින් එන දුෂණ කතා තිබියදි සජිත් ප්‍රේමදාස මහතා බලයට පත්කර ශ්‍රී ලාංකික ජනතාව නැවතත් ලබාගත යුතුද යන ප්‍රශ්නය නොසලකා හැරිය නොහැකිය.

සජිත් ප්‍රේමදාස මහතාට වීරත්වයක් ආරෝපනය කිරීම ඔහුගේ විශේෂ දක්ෂතාවක් මත සිදුවුවක් නොවන බවද මෙහිදි වටහාගත යුතුය. අවම වශයෙන් තම පියා රණසිංහ ප්‍රේමදාස මහතා පෙන්වු ආකාරයේ විශේෂ දස්කමක් හෝ සජිත් මහතා ආණ්ඩු කාල දෙකක් ඇමති තනතුරු දැරීමෙන් පසුවවත් මෙතෙක් පෙන්වා නැත. හම්බන්තොටින් එජාපයට විශේෂ ජයග්‍රහණයක් ලබා දීමට නොහැකි වීම  ඔහුගේ දේශපාලන සංවිධායකත්වයේ දුර්වලතාව ඉස්මතු වි පෙනෙන උදාහරණයකි. මෙකී තත්ත්වය යටතේ සජිත් මහතා වීරයකු ලෙස සමාජගත වීමට හේතුව විද්‍යුත් මාධ්‍ය මඟින් විශේෂයෙන් සිරස මාධ්‍ය ජාලය මගින් ඔහුට ලබාදෙන අනවශ්‍ය සහ පමණ ඉක්මවා යන පිම්ඹීම පමණි. රනිල් වික්‍රමසිංහ මහතාගේ නැති අඩුපාඩු පවා ඔසවා තබන සිරස, පසුගිය විගණන වාර්තාවෙන් හෙළි වු සජිත් මහතාගේ දුර්වලතා පිළිබඳ මෙතෙක් වචනයක් හෝ කතාකර නැත. එජාපයට දිනන්නට සජිත් ඕනැ යන මතය දරන්නන් සැලකිය හැක්කේ සජිත් ගේ දුර්වලතා නොදැක මාධ්‍ය සංදර්ශන වලින් නොමග ගිය පිරිසක් වශයෙන් හෝ හුදු රනිල් විරෝධය නිසා සජිත්වාදය කරගසාගෙන යන පිරිසක් ලෙසය. රනිල් ගේ නායකත්වය එක්සත් ජාතික පක්ෂයට නොගැලපේ නම් ඔවුන් තෝරා ගත යුත්තේ රනිල් ඉක්මවා යා හැකි අවංක පිරිසුදු ප්‍රජාතාන්ත්‍රියකයකු මිස හුදු ප්‍රචාරකවාදියකු නොවේ.

එක්සත් ජාතික පක්ෂයට ඊළඟ ජනාධිපතිවරණය සඳහා තමන්ගේ අපේක්ෂකයකු පිළිබඳ කල්පනා කළ හැකි වටපිටාව සැකසී ඇත්තේ ද පසුගිය ජනවාරියේ ජනවාරිවරුන්ගේ මැදිහත් වීමෙත්, පොදු අපේක්ෂකයාගේ ජයග්‍රහණයත් හේතුවෙන් බව එජාපය අමතක නොකළ යුතුය.

ජනවාරි වෙනසට දායක වුවන්ගේ සහයෝගයෙන් තොරව එක්සත් ජාතික පක්ෂයට ඊළඟ මැතිවරණයත් ජයග්‍රහණයකිරීමටද නොහැකි වනු ඇත. එසේ නම් එජාප ය හමුවේ පවතින වත්මන් අභියෝගය වන්නේ ජනවාරි වෙනසට දායකවුවුන්ගේ සහය ලබාගත හැකි මෙන්ම දැනට ඉතිරි වී ඇති යහපාලන අපේක්ෂා මල්පල ගන්වනු ඇති බවට විශ්වාස කළ හැකි අපේක්ෂකයෙක් සමග වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමය. එසේ නොවීමෙන් වාසිය අත්වනු ඇත්තේ රාජපක්ෂ වාදින්ටමය.

අනුර සුරියබණ්ඩාර  

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *