ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී සීතා රංජනීගේ මාධ්‍ය දිවියට දශක හතරක් සපිරේ – “විමර්ශී” ජනගත කිරීම අදයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී සීතා රංජනී විසින් රචිත “විමර්ශී” මානුෂවාදී ගැටලු වාර්තාකරණයේදී ජනමාධ්‍ය සතු සමාජ වගකීම ඉටු කළ ආකාරය නම් තීරු ලිපි සංග්‍රහය මාර්තු 8 ජගත් කාන්තා දිනයේදී ජනගත කෙරේ.
අංක 96, බර්නාඩ් සොයිසා මාවත, කිරුළ පාර, කොළඹ 5. (නාරාහේන්පිට පිහිටි), ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ දී අද පස්වරු 3 ට එම කෘතිය ජනගත කිරීමට නියමිතය.
මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය ආචාර්ය දීපිකා උඩගම, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය එම්.ජේ.ආර්. ඩේවිඩ්, සම්මානනීය සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර, කාන්තා ක්‍රියාකාරිනී කුමුදුණී සැමුවෙල් සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳම්වුකරු සී දොඩාවත්ත යනාදීන් එහිදී අදහස් දැක්වීමට නියමිතය.
අවසන් යුද්ධය පැවැති සමය සහ එයින් පසු (පශ්චාත් යුද) මාස කිහිපයක් ඇතුළත් වසරකට ආසන්න කාලයක් පුරා මේ රටේ පුවත්පත් නිරීක්ෂණය කරමින් ඇය විසින් රචිත තීරු ලිපි 38ක් මෙම කෘතියට ඇතුළත් ය.
ඇයගේ නිරීක්ෂණයට ප්රමුඛ වී ඇත්තේ අදාළ කාලය තුළ මානුෂවාදී පුවත් වාර්තා කළ ආකාරයයි. සුවිශේෂී සිදුවීම් කිහිපයක් ද එහිදී විශේෂ අවධානයට ලක්වී ඇති බව සදහන්.
“2009 වසරේ අවසන් යුද්ධය හා යුද්ධයෙන් පසු මාස කිහිපයක් ඇතුළත් වන පරිදි වසරක කාලයක් පුරා මම, මානුෂවාදී පුවත් වාර්තාකරණය ගැන පුවත්පත් නිරීක්ෂණය කරමින් තීරු ලිපි මාලාවක් ලිව්වා. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ මාධ ්ය ඒකකය වෙනුවෙන් එම කටයුත්ත එකල සිදු කරනු ලැබුවේ. එය සිංහලෙන් පළ කරන්නට කතා කරගත් ලංකාදීප පුවත්පත කොටස් 7කින් විතර පසු, සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්රමතුංගගේ ඝාතනයෙන් පසු බයත් සමඟ එය නතර කළා. ඉන්පසු එය විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ වෙබ් අඩවියේ විමර්ශී නමින් පළ වූවා. එහි දෙමළ පරිවර්තනය දිගටම තිනක්කුරල් පත්තරයේ සතිපතා පළ වූවා. සිංහල තීරු ලිපි මාලාව තමයි මං මේ අවස්ථාවේ පොතක් විදිහට කරන්න සූදානම් කළේ.” “විමර්ශී” කෘතිය ගැන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී සීතා රංජනී පවසන්නේ එවැන්නකි.
තීරණාත්මක වකවානුවක මාධ්‍ය හැසිරීම පිළිබඳ අදහසක් ඇති කර ගන්නටත්, එසේ වීමට හේතු ගැන තක්සේරුවක් කරන්නටත්, ජනතාවගේ ප්රතිබිම්බයේ ද, මනෝභාවයේ ද පිළිබිඹුව ලෙස පුවත්පත් හැසිරෙන්නේදැයි විමසා බැලීමටත් “විමර්ශී” තීරු ලිපි සංග්‍රහය මාර්ගෝපදේශයක් වනු ඇත.
CR
