සරම ඇඳපු අගමැතිගේ බරට ,හාල්, හකුරු ,සූකිරි පුජාවක් !
පසුගියදා ශ්‍රී ලංකාවේ 15 වන අපනයන කලාපය අගමැතිවරයා අතින් බිංගිරියේ දී විවෘත විය. ආරම්භක අවස්ථාවේදීම ආයෝජයයින් 13 දෙනෙකු ඊට එක් වීමද විශේෂත්වයක් විය. මෙවර අයවැයෙන්ද එම කලාපය සදහා රු. මිලියන 500 ක් වෙන් කොට තිබිණ.
“ලංකාව තමයි ආසියාවේ අපනයන ගම්මාන ආරම්භ කිරීමට 77 දී මූලිකත්වය ගත්තේ. ඒත් අපට තාම විවෘත කරගන්න පුළුවන් වුනේ කලාප 15 යි. මහදැනමුත්තා මිරිජ්ජවිලදී පටන් ගත්ත එකේ කර්මාන්ත 10ක් වත් නෑ.ඒත් අද වියට්නාමයේ කලාප 315 ක් ඉඩම් අක්කර දෙලක්ෂ විසිපන් දහසක් පුරා පැතිරිලා තියෙනවා. අපේ ඉඩම් අක්කර 100 ක් වෙන් කරන්න ගියත් අවස්ථාවාදීන් විරුද්ධ වෙනවා. 77 දී ඇගළුම් පටන් ගන්න කොට ටේලර් සාප්පු දානවා කියලා සුද්දන්ට ජංගි මහනවා කියලා මඩ ගැහැව්වා. අද ලොව හොදම ජංගි හදන්නේ අපි. ඕන නම් වික්ටෝරියා සීක්රට් එක එළි කරගෙන බලන්න.එක්තෝම්බර් 26 අපි මේක දාලා ගියා නම් රටට බිංගිරිය කලාපයත් අහිමි වෙනවා” අගමැතිවරයා බිංගිරිය කලාපය විවෘත කරමින් කීවේය.
බ්‍රහස්පතින්දා අරලිය ගහ මැදුරට අගමැතිවරයා පැමිණියේ පාර්ලිමේන්තු යාමට පෙර රාජකාරී කිහිපයක් ඉටු කිරීමටය. එහිදී පැමිණ සිටි මැති ඇමතිවරු නිළධාරීන් හා මාධ්‍යකරුවන් සමගද සුපුරුදු පරිදි කතා බහ කිරීමට අගමැතිවරයා අමතක කලේ නැත.
“ආණ්ඩුවට සල්ලි නෑ කියලා හිතල අනාථ බජට් එකක් දේවි කියලයි විපක්ෂය බලාගෙන හිටියේ.මංගලයි නිලධාරීනුයි සෑහෙන හොදට වැඩේ කරල තිබුන. ” සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල සුපුරුදු පරිදි කතාව ආරම්භ කලේය.
“ මේක ආකර්ෂණීය බජට් එකක් බව නාමල් රාජපක්ෂත් කිව්වා. කුමාර වෙල්ගම කිව්වෙත් බජට් එක ඉතා හොද බවයි. දුමින්ද දිසානායක කිව්වෙ ශ්‍රිලනිපයට අයවැයට විපක්ෂව ඡන්දය දීමේ හැකියාවක් නැති බවයි” චමින්ද විජේසිරිගේ කතාව සියළු දෙනා අනුමත කළහ.
“ ගම් පෙරළියට රු.මිලියන 48,000 ක්, පාසැල් යටිතල වලට මිලි.32,000ක්, සරසවි යටිතල වලට මිලි.25,000ක්, වෛදඨ පීඨ දියුණුවට මිලි.25,000ක් සෞඛ්‍ය යටිතල වලට මිලියන 24,750ක්, පාරවල් වලට මිලි.10,000ක්,සමෘද්ධි පවුල් ලක්ෂ 06 කට අලුතින් දෙන්න මිලි.10000ක්, අරුවක්කාලු කසල ව්‍යාපෘතියට මිලි.7,500ක් කඩුවෙල කොළඹ සැහැල්ලු දුම්රියට මිලි.5000ක් විතරක් නෙමෙයි ගෝඨාභය හැදුවා කියපු කොළඹ ගංවතුර පාලනය හා වෙනත් අත්‍යවශ්‍ය කටයුතු වලට මිලියන 18,700ක් වගේ දැවැන්ත මුදලක් මේ අයවැයෙන් වෙන් කර තිබීම ප්රාතිහාර්යක්” හේෂා විතානගේ විස්තර කලේය.
“දින 52 දී මහින්ද විශේෂ කැබිනට් පත්‍රිකාවක් දාලා ගමේ දියුණුව වලක්වන්න අපේ ගම් පෙරළිය නැවැත්වූවා. එහෙම කෙනා හම්බන්තොට ලොස්ඇන්ජලීස් වගේ පාරවල් සම්මන්ත්රණ ශාලා ගුවන්තොටුපල හා වරායවල් හැදුවට ඒ පැත්තේ ලක්ෂයක් දෙනාට වැසිකිලි පහසුකම්වත් දීල නැහැ කියල මංගල ඇමතිතුමා කිව්වා ” නවීන් දිසානායක කීවේ කාගේත් සිනා මැදය.
“ඒ විතරක්ද රජයේ සේවකයන්ට රු.2500ක පඩි වැඩිවීම වගේම විශ්‍රාමිකයන්ටත් විශාල සහන යෝජනා වුණා. රාජපක්ෂලා ආරක්ෂක අංශ තම දේශපාලනයට යොදා ගත්තද වසර 20කින් ඔවුන්ට කිසිම සහනයක් දීලා නෑ. ඒ නිසා කමාන්ඩෝ දීමනාව රු.1000 සිට 5000 දක්වා වැඩි කරලා ගෙවල් කුලී 100% කින් වැඩි කරලා නිළ ඇදුම් හා වෙනත් දීමනාත් මෙවර දෙගුණයකටත් වඩා වැඩි කලා. ඒ වගේම අබාධිත හා අවශ්‍යතා ඇති අයගේ ගෙවීම් රු.3000 සිට 5000 දක්වාත්, ආගමික ස්ථාන වලට දෙන මුදල ලක්ෂ 5 සිට 10 දක්වාත් ඉහළ දැමීම අගය කල යුතුයි. ” ගයන්ත කරුණාතිලක කීවේය.
“ මිනිස්සුන්ට බරක් දාන්නේ නැතිව අළුතින් ණය ගන්නෙත් නැතුව සංවර්ධනය වේගවත් කරලා රාජපක්ෂ ණය වාරිකත් ගෙවලා මෙහෙම බජට් එකක් දෙන්න ලැබීම වටිනවා. සංවර්ධනය වූ රටවල මේ වගේ විශේෂ බජට් නෑ. යමක මිල අඩු වැඩි වෙන එක හෝ විකල්ප දෙන එක ආණ්ඩුවට වඩා සමාජය හා වෙළෙදපොල මගිනුයි තීන්දු වෙන්නේ. ”අගමැතිවරයා පැහැදිලි කලේය.
“ අගමැතිතුමා තිරුපති ගිහිල්ලා තරාදියක වාඩි වෙලා ඉන්න හොද ෆොටෝ එකක් ෆේස් බුක් එකේ දැක්කා. බර බැලන්ස් කරන්න තරාදියේ අනිත් පැත්තට දාලා තිබුනේ රන් රිදී මුතු මැණික් කියලත් ප්‍රචාරයක් යනවා. නවීන් දිසානායක ඇසුවේ කාගේත් මුවගට මද සිනහවක් නගමිනි.
“මගේ බරට රත්‍රං දෙන්න මම එච්චර පොහොසෙතෙක් නෙවේ. අපේ රටේ පරණ හා අළුත් කාසි වර්ග ,හාල්, හකුරු ,සූකිරි ඇතුළු කෑම වර්ගයි දැම්මේ. ” අගමැතිවරයා පිළතුරු දුන්නේද මද සිනහවක් සමගිනි.
“පොහොට්ටුවේ අය උපහාසෙට වගේ අගමැතිතුමාගේ තරාදි ෆොටෝ එක දානවත් එක්කම මහින්ද ඒ තරාදියේම වාඩි වෙලා ඉන්න ෆොටෝත් ෆේස් බුක් එකේ එන්න පටන් ගත්තා” රංජිත් අළු විහාරේ ඊට තවත් යමක් එකතු කලේය.
“ සමහරු හිතන් ඉන්නේ මම සරම් අදින්නේ නෑ මට සරම් අදින්න දන්නේ නෑ කියලයි මම ඒකත් ඇදල පෙන්නුවා. ඒ ඉන්දියාවේ ඇදුම සරම නිසයි. ඒත එංගලන්තෙදි මම සරම අදින්නේ නෑ. මම ෆේස් බුක් එකට ස්තූති කරනවා මගේ සරම් ඇදීමයි පන්සල් යාමයි දරුවන්ට ආදරේ කිරීමයි පෙන්නන එකට.තව මට මොනවද කරන්න කියන්නේ. ” අගමැතිවරයා කීවේ කාගේත් සිනා මැදය.
“ ජනාධිපතිගේ එදිනෙදා වියදම් වලට අදාල වැය ශීර්ෂය පරද්දන්න ඕන කියල ආණ්ඩුව ඇතුලේ නැගල යන මතවාදය හරි ප්‍රබලයි.ඒ වැය ශීර්ෂය පැරදුනොත් ආණ්ඩුව වැටෙනවා කියල දැන් ජනාධිපතිගේ පැත්තෙන් බය වෙලා අදෝනා දෙනවා. පුද්ගලිකව මම නම් තාම ඒ වැඩේට එකග නැහැ. ඒ වැය ශීර්ෂය අපි පැරැද්දුවොත් ආණ්ඩුව වැටෙන්නේ නෑ බජට් එකෙන් රු. 10ක් කැපෙනවා විතරයි. ” නවීන් දිසානායක කීවේය.
“ලක්ෂ 45 ක පාසැල් දරුවන්ගේ සුරක්ෂා රක්ෂණයට ජනාධිපතිතුමා හරස් වීම පුදුමයක්. ආණ්ඩුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට මේක දෙන්න උත්සහ කලාම මිල ගණන් තීන්දු කිරීමේ කමිටුවයි එලායන්ස් රක්ෂණ සමාගමට මේක දෙන්න තීන්දු කරල තියෙන්නේ. මෙච්චර කල් සද්ද නැතුව ඉදල එතුමා දරුවන්ගේ රක්ෂණය එක්කත් පටු දේශපාලනය කරන්න ඒම ඉතා පුදුමයි. ” චමින්ද විජේසිරිගේ අදහසට කාගේත් එකගත්වය පල විය.
“අගමැතිතුමා තිරුපති ගියේ බජට් එක ගොඩ දාගන්න කියලා විපක්ෂය මෝඩ චූන් ගන්නවා. 2/3 කට කිට්ටු ඡන්දයකින් අපි අයවැය සම්මත කලාම මෙයාලට දුවන්න පාරවල් මදි වේවි. ” හේෂා විතානගේ කී විට පිරිස කොක් හඩලන්නට විය.
