තුන්වන ප්‍රයත්නය – එම් ඕ ඒ ද සොයිසා

මේ දිනවල ජනමාධ්‍ය තුළ දෛනිකවම පාහේ සාකච්ඡාවට භාජනය වී ඇති දේශපාලන කරුණක් වන්නේ, මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව තෙවන වරටත් ජනාධිපති ධුරයට තරග කිරීමට නීතිමය බාධාවක් නොමැති බවට ඒකාබද්ධ විපක්‍ෂයේ සමහරු සමාජ ගත කරමින් පවතින අදහසය. මේ අදහස ඉදිරිපත් කරන අයගේ තර්කය වන්නේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පනවන ලද ආකාරය අනුව එය අතීතයට බල නොපාන බවත් ඒ හේතුවෙන් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාට තුන්වන වරට තරග කිරීමේ ව්‍යවස්ථාමය බාධාවක් නොමැති බවත්ය.

නමුත් මේ මතය පිළිනොගන්නා අය කියා සිටින්නේ මහින්ද රාජපක්‍ෂවාදීන් ඉදිරිපත් කරන තර්කය මුළුමණින්ම සාවද්‍ය එකක් වන බවත්, 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව යම් පුද්ගලයකුට තෙ‍වැනිවර ජනාධිපති තනතුර සඳහා තරග කිරීමට ඇති හිමිකම එමගින් අහෝසි කර තිබෙන බවත්ය. අදාළ කරුණ සම්බන්ධයෙන් පක්‍ෂව හා විපක්‍ෂව ඉදිරිපත් වී ඇති තර්ක මුළුමණින්ම පාහේ නීතිමය ස්වරූපයක් ගන්නා බැවින් ඒ පිළිබඳව නීතිය නොදන්නා අයකුට අවසාන නිගමනයක් දීම පහසු කරුණක් නොවේ.

එසේ වූවද අදාළ කරුණ සම්බන්ධ වන්නේ නීතිමය ක්ෂේත්‍රයට පමණක් නොවේ. එහි සදාචාරාත්මක පැත්තක් පවතින බව කරුණු විමසීමේ දී පෙනීයන අතර ඒ අනුව එක්වරම කිව හැක්කේ සදාචාරාත්මක අතින් බලන විට තෙවෙනි වරට ජනාධිපති ධුර තරගයට ඉදිරිපත් වීමට මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා දරන උත්සාහය දේශපාලන සදාචාරයට මුළුමණින්ම නොගැලපෙන බවය.

විධායක ජනාධිපති ක්‍රමය නමින් ශ්‍රී ලංකාවේ දේශපාලන ව්‍යවහාරය තුළ ප්‍රකට වී ඇති ජනාධිපති ආණ්ඩුක්‍රමය ආණ්ඩුක්‍රම මාදිලියක් ලෙස ලෝකයට හඳුන්වා දුන්නේ ඇමරිකානු එක්සත් ජනපදය 1787 වර්ෂයේ දී එරට ස්ථාපිත කළ, 1789 වර්ෂයේ සිට බලාත්මක වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගිනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ආණ්ඩු ක්‍රමයේ විධායක බලතල ක්‍රියාවට නැංවීම ජනතාවගේ ඡන්දයෙන් සිව් වසරක නිල කාලයක් සඳහා තෝරා පත්කර ගන්නා ජනාධිපතිවරයකුට පවරනු ලැබේ. නමුත් එක් පුද්ගලයකුට නිලය සඳහා තේරී පත්විය හැකි වාර ගණන කොතෙක්ද යන්න මූලික ව්‍යවස්ථාවේ සඳහන් වූයේ නැත. එසේ වූවද ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රථම ජනාධිපතිවරයා ලෙස 1789 වර්ෂයේ දී තේරී පත්වන ජෝර්ජ් වොෂින්ටන් දෙවරක් එම තනතුරට තේරීපත් වූ පසු තුන්වන වරට ජනාධිපති තනතුරට තරග කිරීම ප්‍රතික්ෂේප කරන ලද අතර, ඉන් පසුව එළඹෙන අවුරුදු 144 තුළ දී, එනම් 1933 දක්වා බලයට පත්වූ ජනාධිපතිවරුන් 31 දෙනකු ධුරය දැරීම දෙවරකට පමණක් සීමා කිරීම සම්ප්‍රදායක් ලෙස අනුගමනය කරනු ලබයි.

මේ කාලය තුළ දී බලයට පත් වූ කිසිම ජනාධිපතිවරයකු තුන් වරක් හෝ එයට වැඩි කාලයක් නිලය දැරීම පිණිස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට උත්සාහ ගත්තේ නැත. එසේ වූවද 1933 වර්ෂයේ දී ඇමරිකාවේ 32 වන ජනාධිපතිවරයා ලෙස තේරීපත් වන ප්‍රෑන්ක්ලින් ඞී. රූස්වෙලට් තම දෙවන නිල කාලය අවසානයේ දී, එනම් 1941 වර්ෂයෙදී තුන්වන වරටත් 1941 වර්ෂයේ දී පැවැත් වු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීය.

එම මැතිවරණයෙන් රූස්වෙල්ට් ජයග්‍රහණය කිරීම හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ තෙවරක් ජනාධිපති ධුරයට පත් වූ ප්‍රථම තැනැත්තා බවට රූස්වෙල්ට් පත් වීය. රූස්වෙල්ට් ජනාධිපති තනතුරට තිබූ ආශාව තුන්වෙනි වතාවට තේරීපත් වීමෙන් පසුව වුවද අවසාන නොවන අතර, තුන්වන ධුර කාලය අවසානයේ දී රූස්වෙල්ට් ප්‍රකාශ කළේ සිව්වන වතාවටත් ජනාධිපති තනතුර සඳහා ඉදිරිපත් වීමට ඔහු තුළ ඇති අභිලාශය පිළිබඳවය. 1944 පැවැති ජනාධිපතිවරණයෙන් රූස්වෙල්ට් සිව්වන වරටත් ජයග්‍රණය කරන අතර 1945 දී ඔහු අභාවයට පත්වීම හේතුවෙන් රූස්වෙල්ට් පාලන සමය අවසානයට පත් වී 1945 වර්ෂයේ දී හැරී එස්. ටෲමන් ජනාධිපති ධුරයට පත්වේ.

රූස්වෙල්ට් ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපයෙන් ඇමරිකානු ජනතාව ඉගෙන ගත් පාඩම වූයේ එක් පුද්ගලයකුට නියම කරන ලද යම් නිශ්චිත කාල සීමාවකින් තොරව ජනාධිපති තනතුර දැරීමට ඉඩදීම ඇමරිකාව තුළ වර්ධනය වෙමින් පැවැති ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන්ට අහිතකර වන බවය. හේතුව එවැනි තත්ත්වයක් ආණ්ඩුක්‍රමය තුළ තනි පුද්ගල අධිපතිත්වයක් බිහිවීමට බලපෑ හැකිය යන විශ්වාසයයි.

විශේෂයෙන්ම ඇමරිකානු ජනතාවගේ සිහියට ආවේ ප්‍රංශ ජාතික දේශපාලන චින්තකයකු වූ මොන්ටෙස්ක්‍යු විසින් 1748 වර්ෂයේ දී බලතල බෙදීමේ න්‍යාය ඉදිරිපත් කරමින් කරන ලද ප්‍රකාශයයි. ඔහු ප්‍රකාශ කළ ආකාරයට, ‘‘සදාතනික අත්දැකීම් මගින් අපට පෙන්වා දෙන්නේ බලය පවරා දුන් සෑම පුද්ගලයකුම එසේ පවරා දුන් බලය, ඒ හා සමාන තවත් බලයක් මගින් මර්දනය නොකළ හොත් බලය අයථා ලෙස භාවිත කිරීමට නිතැතින්ම පෙළඹෙන බවය. එබැවින් බලය මර්දනය කළ හැක්කේ බලයෙන්ම පමණි’’. ජනාධිපති රූස්වෙල්ට් ගේ ක්‍රියාකලාපයෙන් පෙන්නුම් කළ අනතුර වලක්වා ගනිමින් ඇමරිකානු ආණ්ඩුක්‍රමය තුළ එක් පුද්ගලයකුගේ අධිපතිත්වයක් ඇතිවීම වලක්වාලීම උදෙසා ඇමරිකානු ජනතාව කොන්ග්‍රස් මණ්ඩලය සමඟ එක්ව ගත් උත්සාහයේ ප්‍රතිඵලය වූයේ 1951 වර්ෂයේ දී ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කරන ලද 22 වන සංශෝධනයයි.

මේ සංශෝධනය මගින් එක් පුද්ගලයකුට ජනාධිපති තනතුරට පත්විය හැකි නිල වාර ගණන දෙකකට සීමා කරනු ලැබිණ. වර්තමානයේ ඇමරිකාව තුළ යම් පුද්ගලයෙක් ජනාධිපති තනතුරට තේරීපත් වීම සම්බන්ධයෙන් බලපාන්නේ මේ සංශෝධනයයි. මේ සංශෝධනයේ වැදගත්කම වන්නේ සංශෝධනය ගෙන ඒමට ප්‍රථමයෙන් ජනාධිපති තනතුර දැරූ කිසිවකු එය අතීතයට බලපානවාද නැද්ද යන්න පිළිබඳ අධිකරණය ඉදිරියේ අභියෝග නොකිරීමයි. එමෙන්ම එම සංශෝධනයෙන් පසුව බලයට පත් වූ කිසිම ජනාධිපතිවරයකු දෙවරක නිල කාලය ඉක්මවා බලයේ සිටීම අරමුණු කරගෙන එම සංශෝධනය වෙනස් කිරීමට උත්සාහ නොගැනීමයි.

ඇමරිකානුවන් ප්‍රජාතන්ත්‍රවාදයට සහ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයට කොතරම් ආදරය කරනවාද සහ කොතරම් ගරු කරනවාද සහ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් කොතරම් හොඳින් ආරක්‍ෂා කරනවාද යන්න පෙන්නුම් කිරීමට ඇමරිකානු ආණ්ඩුක්‍රමය ආශ්‍රයෙන් දිය හැකි විශිෂ්ටතම එක් ආදර්ශයක් වන්නේ මෙයයි. 1789 න් පසු කාලය තුළ ජනාධිපති විධායක ආණ්ඩුක්‍රම පිහිටුවා ගත් රාජ්‍යයන් අතුරින් තනි පක්‍ෂ පාලන ක්‍රමයක් පවතින හෝ වෙනත් ආකාරයක ආඥාදායක පාලන ක්‍රමයක් පවතින හෝ රාජ්‍යයන්හි හැරුන විට අනෙක් සෑම රාජ්‍යයක් තූළම දැකිය හැක්කේ තනි පුද්ගලයකුට ජනාධිපති තනතුරට තේරීපත් විය හැකි වාර ගණන දෙකකට සීමාකර තිබීමය.

1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපති විධායක ආණ්ඩුක්‍රමය මෙරටට හඳුන්වා දුන්නේ ජේ. ආර්. ජයවර්ධන විසිනි. එම ආණ්ඩුක්‍රමයේ ජනාධිපති විධායක තනතුර නිර්මාණය කිරීම සඳහා ජේ. ආර්. ජයවර්ධන ආදර්ශයට ගත්තේ ඇමරිකානු ජනාධිපති තනතුරය. 1978 ව්‍යවස්ථාව යටතේ මෙරට ගොඩනැගූ ජනාධිපති තනතුර බලතල අතින්, ඇමරිකානු ජනාධිපති තනතුරට වඩා ශක්තිමත් එකක් වූ අතර විචාරකයින් එය හැඳින්වූයේ විධායක ආඥාදායකත්වයක් ලෙසය.

එසේ වූවද එම තනතුර මගින් ආණ්ඩුක්‍රමය තුළ දිගුකාලීන තනි පුද්ගල ආඥාදායකත්වයක් වර්ධනය වීම වැලැක්වීම සඳහා ජේ. ආර්. ජයවර්ධන විසින් සංරෝධක කීපයක් ව්‍යවස්ථාව තුළ අන්තර්ගත කරනු ලැබීය. ජනාධිපතිවරයා ජනතාවගේ ඡන්දයෙන් තෝරාපත් කරගැනීම, නිල කාලය අවුරුදු හයකට සීමා කිරීම, ධුරය දැරිය හැකි වාර ගණන දෙකකට සීමා කිරීම සහ ව්‍යවස්ථාවෙන් තමන්ට පැවරී ඇති බලතල හා කාර්යයන් ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතුවීම එම සංරෝධකයන් වීය.

තනි පුද්ගල ආඥාදායකත්වයක් ආණ්ඩුක්‍රමය තුළ වර්ධනය වීම වැලැක්වීම සඳහා මේ සංරෝධක අතුරින් වඩාත් වැදගත් වූයේ ජනතාවගේ ඡන්දයෙන් ජනාධිපතිවරයා තෝරා ගැනීම සහ තනි පුද්ගලයකුට නිලය දැරිය හැකි වාර ගණන දෙකකට සීමා කිරීමය. 18 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා අහෝසි කරනු ලැබූයේ එක් පුද්ගලයකුට දෙවරකට වඩා ජනාධිපති තනතුරට තේරීපත් විය නොහැකි බවට විධානය කර තිබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31.2 වගන්තියයි.

මෙසේ කිරීමෙන් හිටපු ජනාධිපතිවරයා කළේ තනි පුද්ගල ආඥාදායකත්වයක් ආණ්ඩුක්‍රමය තුළ පැන නැ‍ඟී තහවුරු වීම වැලැක්වීම අරමුණු කොටගෙන ජේ. ආර්. ජයවර්ධන විසින් දමා තිබූ අතිශය වැදගත් ප්‍රජාතන්ත්‍රවාදී සංවරණයක් නැතිකර දමමින් තමන්ගේ ආධිපතිත්ව බලය හා නායකත්වය ආණ්ඩුක්‍රමය තුළ ස්ථාපිත කර ගැනීමට ප්‍රජාතන්ත්‍ර විරෝධී අයුරින් කටයුතු කිරීම පමණක් නොව තමන්ගෙන් පසුව තමාගේ රජ පෙළපත දිගටම බලයේ තබා ගැනීමට හැකිවන අයුරින් ඒ සඳහා මාර්ගය පාදා ගැනීමය.

2015 වර්ෂයේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කරන ලද 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් කරනු ලැබූයේ මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා විසින් අහෝසි කරන ලද ව්‍යවස්ථාවේ 31.2 වගන්තිය යළි බලාත්මක කිරීමය. එනම් එක් පුද්ගලයකුට දෙවතාවකට වඩා ජනාධිපති ධුරය දැරිය නොහැකි බවට දැක්වෙන ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථා නියමය යළි පණ ගැන්වීමය. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 4.2 වගන්තියේ ඒ ගැන දැක්වෙන්නේ මෙසේය. ‘‘ජනතාව විසින් ජනාධිපති ධුරයට දෙවරක් තෝරා පත් කර ගනු ලැබූ තැනැත්තකු ජනතාව විසින් නැවත එකී ධුරය සඳහා තෝරා පත් කර ගනු ලැබීමට සුදුස්සකු නොවන්නේය’’. අද මහින්ද රාජපක්‍ෂවාදීන්, මහින්ද රාජපක්‍ෂ යළි බලයට ගෙන ඒම සඳහා දඩමීමා කරගෙන තිබෙන්නේ මෙම වගන්තියයි.

ඔවුන් තර්ක කරන්නේ මේ වගන්තිය අතීතය කෙරෙහි බල නොපාන බවත් ඒ අනුව මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාට 2020 පැවැත්වෙන ජනාධිපතිවරණයට යළි තරග කළ හැකි බවත්ය. මෙම තර්ක දෙස බලන විට පෙනී යන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ සමස්ත හරය අමතක කොට එහි අංශුමාත්‍රයක් පමණක් අල්ලා ගෙන මහින්ද රාජපක්‍ෂවාදීන් ජනතාව මුලා කිරීමේ උත්සාහයක යෙදෙන බවය. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ සමස්ත හරය වන්නේ මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා ආපසු බලයට පැමිණීම වැලැක්වීම නොව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය තහවුරු කිරීම සහ ආණඩුක්‍රමය තුළ තනි පුද්ගල අධිපතිත්වයක් ඇතිවීම වලක්වාලීමය. මෙය මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාට පමණක් නොව, ජනාධිපති තනතුරට පත්වන ඕනෑම පුද්ගලයකුට අදාළ වන දෙයක් වේ.

එවැනි ස්ථිරසාර දේශපාලන සම්ප්‍රදායකට රට සහ ජනතාව අනුගත වුවහොත් පමණක් මේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් ගොඩනගා ගත හැකිය. එමෙන්ම ස්ථිරසාර ව්‍යවස්ථානුකූලවාදයක් රට තුළ ගොඩනගා ගත හැකිය. එසේනම් අද මහින්ද රාජපක්‍ෂවාදීන් නිෂ්ඵල තර්ක ඉදිරිපත් කරමින් උත්සාහ ගන්නේ ප්‍රජාතන්තත්‍රවාදී පාලනය නැති කොට එක් පුද්ගලයකුගේ නායකත්වය යටතේ රටතුළ ආඥදායක පාලනයක් යළි ගොඩ නැ‍ඟීමටය.

මෙම කූඨ ප්‍රයත්නයට ඉඩදිය යුතුද? ප්‍රජාතන්ත්‍රවාදයට ආදරය කරන කොයි කවුරුත් තමන්ගේ හදවතට ආයාචනය කරමින් අද දවසේ ඇසිය යුතු වැදගත්ම දේශපාලන ප්‍රශ්නය වන්නේ එයයි. මෙයින් එක් දෙයක් තේරුම් ගත යුතුය. දේශපාලනයට නීතිමය පදනමක් මෙන්ම සදාචාරාත්මක පදනමක්ද තිබෙන බවය. මහින්ද රාජපක්‍ෂවාදීන් අද තර්ක කරන්නේ දේශපාලනයේ සදාචාරාත්මක පදනම අමතක කර දමමිනි. රටක පාලනය බාරදිය යුත්තේ මෙවැනි විරාචාරවාදී කණ්ඩායමකටද යන්න ජනතාව සිහි බුද්ධියෙන් කල්පනා කර බැලිය යුතුය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *