රෑට නින්ද යන්නේ නෑ අනේ
යුද ඇඳුම අඳින ෆොන්සේකා කැබිනට් මණ්ඩලයේ වාඩි කරවීම මිල්ටරි වැඩක් කියල පිවිතුරු නැති උදයා කියා තිබෙනු දැක මුදලාලි ඉස්කෝල මහත්තයාගෙන් මේ ඒ කාලේ හිටපු උදයා ම ද කියා ඇසුවේය.
පෙනුම නම් ඒ වගේ තමයි මුදලාලි ඒත් මේ හදයා ඒ කොලේ හිටපු උදය ද? වෙනත් කෙනෙක් ද? කියල මටත් සැකයි කියා ඉස්කෝල මහත්තයාද කීවේය.
අයියෝ මහත්තයෝ පොර අර සතෙන් සතේ ඉතුරු කරල ඡන්ද කොරල ඇටෝනියකුත් විකුණපු උදයම තමයි පේන්නැද්ද මකර කට වගේ හැකර කටින්ම අදුනගන්න පුළුවන් නේද කියා කියූ කඩේ ළමයා මුදලාලිටයි ඉස්කෝල මහත්තයිටයි දෙන්නටම උදයා හඳයා වාගේ පෙන්න ගත්තේ මොකද කියා ඇසුවේය.
නෑ මම අහන්නේ යුද ඇඳුම් අඳින ෆොන්සේකා මහත්තයා කැබිනට් මණ්ඩලයේ වාඩි කරවීම මිල්ටරි වැඩක් නම් ගරිල්ලා ඇඳුම් ඇඳපු කරුණා අම්මාන්, පිල්ලේයාන් ඇමති පටුවල වාඩි කිරීම මොන වැඩක් ද කියා මුදලාලි කීවේය.
අප්පට සිරි ගජ ඇත්තම නේන්නම් මාධ්‍යය සිය යුතුකම ඉටු කරනකොට රනිල් මාධ්‍යයට කඩාගෙන පනිනවා කියලත් පිවිතුරුවා කිව්වා කියල තියෙනවා නේදැයි කඩේ ළමයා අසුවේ මුදලාලි බලමින් සිටි පවත්පතට එබී බලමිනි.
ඇත්තටම රනිල් මහත්තයා මාධ්‍යයට දොස් කියද්දි පිවිතුරු නැති උදයට මළ පනිනවා ඇති. මොකද රනිල් මහත්තයා ‘ආචාර්ය මර්වින් ඇමති වගේ මාධ්‍ය ආයතනවලට කඩා පනිනේවත්, බයගෝතාවගේ මාධ්‍ය වේදිනියන්ට බණින්නේවත්, පොද්දල ජයන්තට වගේ සුදු වෑන් වලින් ට්‍රාන්ස්පෝර්ට් දෙන්නෙවත් නැත්තේ කියා’ ඉස්කෝලේ මහත්තයා කීවේය.
මම එතන හිටියනම් ලසන්ත වික්‍රමතුංග මහත්යා මැරුණෙ, එක්නැලිගොඩ අතුරුදන් වුණේ රනිල් මහත්තයය මාධ්‍යයට කඩා පැනලද කියල අහන්න තිබුණ කියා කඩේ ළමයා කීවේ කණගාටුවෙන්ය.
එහෙම අහනවානම්, සිරසට ගිනි තිබ්බෙත්, උදයන් ගිනි තිබ්බෙත් රනිල් මහත්තයම ද කියලත් ඇහුවැකි ය කියමින් මුදලාලි කඩේ ළමයාගේ කතාව ඌන පූර්ණය කළේය.
මෙන්න බොලේ ජාතියේ මලත් සුරංගනා කතා කියන්න පටන් අරගෙන කියා කඩේ ළමයා නැවත කීවේ හිටපු ජනාධිපති මහින්ද කිසි දිනක පාතාලය එක්ක දේශපාලනය කළේ නැහැ කියා ජාතියේ මල නාමල කියා තිබෙනු දුටු නිසාය.
ඒ කතාව සහතික ඇත්ත. ජාතියේ මලගේ කටේ මසුරං දාන්න වටිනව සාටක රජා කවදාවත් පාතාලය එක්ක දේශපානය කළේ නැහැ කියල පිළිගන්න පුළුවනි. කියා ඉස්කෝලේ මහත්තයා කීවේය.
ඉස්කෝල මහත්තයා විහිළු කරනවද නැත්නම් ඉස්කෝල මහත්තයට පිස්සු හැදිලද සාටක රජ, පාතලයත් එක්ක දේශපාලනය කලේ නැහැ කියල කියන්නෙ කොහොමද කියා මුදලාලි ද ඇසුවේය.
විහිළු කරනවා නෙමෙයි පිස්සුත් නෙවෙයි ‘සාටක රජා පාතලයත් එක්ක දේශපාලනය කළේ නැහැ කියන එකට මම එකඟයි. මම ඒ කතාව පිළිගන්නවා’ යැයි ඉස්කෝල මහත්තයා කීවේය.
ඉස්කෝල මහත්තයා විකාර කියනවා, එතකොට අමරෙලා බමරෙලා කුඩු තුෂාරලා අත කොටාලා හිටියේ සාටක රජාගෙයි ගෝලයන්ගෙයි සාටක අස්සෙ නෙවේද කියා ඇසූ මුදලාලි තවදුරටත් කීවේ පාරේ වෙඩි වැදුන පාතලයන් බලන්න සාටක ගියා. රිමාන්ඩ්කාරයන් බලන්න වැලිකඩ ගියා. පිස්තෝලකාරයන්ට සංවිධායක කම් දුන්නා. මේ ඊයේ පෙරේදත් පොහොට්ටු ප්‍රාදේශීය සභා කාරයේ දෙන්නෙක් හිරේ ගියා සාටක රජා පාතලයත් එක්ක දේශපාලනය කළා කියල ඒවයෙන් ඔප්පු වෙන්නෙ නැද්ද කියාය.
ඒ කිසි දේකින් සාටක රජා පාතාලය එක්ක දේශපාලනය කළා කියල ඔප්පු වෙන්නෙ නැහැ. ඉස්කෝල මහත්තයා කීවේය.
පාතාලයෝ සාටකේ අස්සෙ හිටිය කියන්නෙ පාතලයත් එක්ක සාටක රජා දේශපාලනය කළා කියන එක නෙමෙයි නම් වෙන මොකක්ද? මුදලාලි ඇසුවේය.
ඒ කතාව පිළිගන්න පුළුවනි. පවුකාරයන්ට රෑට නින්ද යන්නෙ නැහැ කියල ධම්ම පදයෙද කොහෙදත් කියල තියෙනවා. රෑට නින්ද ගියාම සාටක රජාටත් හෙල්පින් හම්බන්තොට චීන සල්ලි පෙනෙනවා ඇති කියූ ඉස්කෝල මහත්තයා බයගෝතා පුටුව උදුරගන්න එක හින්දා බයටම ඇහැරලා ඉන්නවා වෙන්නත් පුළුවනි. කියාද කීවේය.
අපුච්චා රෑ දෙකටත් ෆෝන්වලට උත්තර දෙනවා කියල ජාතියේ මල දන්නෙ කොහොමද එයාටත් නින්ද යන්නෙ නැද්ද කියා කඩේ ළමයා ඇසූ විට ඉස්කෝල මහත්තයා කීවේ එයාටත් තාජුදින් එහෙම හීනෙන් පෙනෙනවා ඇති කියාය.
ඒ විතරක් නෙමෙයි අල්ලසට ලංකාවෙ සංචාරෙ ආපු බ්‍රිතාන්‍ය මන්ත්‍රිල එහෙමත් සාටකේට ජාතියෙ මලට කතා කරනවා ඇත්තේ මධ්‍යම රාත්රියටනේ කියා මුදලාලිද කීවේය.
