ඇට සැකිල්ලේ කතාව

ඇටසැකිලි 11ක් ඇඳවටේ කැරකෙමින් සිටිනු හීනෙන් දැක රජාණෝ නැගිට්ටේ බුදු අම්මෝ කියමින් නොවේ. තොපෙ අම්මලාට යි මහ හඬින් කියමිනි. ඒ හඬින් තක්කුමුක්කු වී නින්දෙන් අවදි වූ බිසොවුන්වහන්සේ ඇසුවේ මොකද මෙයා අපෙ අම්මලාට මොකවත් දෙන්නවත් හිතුණාද? කියාය.

අම්මලාට දීපුවා දැන් මගේ පස්සෙන් එළවනවා. අම්මට ඉඩම් දීලා කුමාරයාට උසාවි යන්නත් වුණා නේ දැයි එවිට රජාණෝ කීවේය.

‘‘මගෙ ඇඟ ගැහෙනවා ඔහෙට ඇහෙන්නෙ නැද්ද? ඉක්මනට මුහුණට වතුර ටිකක් ඉහිනවා. වතුර ටිකක් පොවනවා නැත්නම් මට කලන්තෙ හැදෙයි.‘‘ මහරජාණෝ ඒ වතා‍වේ නම් කීවේ බැගෑපත්වය.

මොකද අනේ ඔයාට දාඩියත් දාලා? ප්‍රෙෂර් නැගලද? බිසොවුන්නාන්සේ ඇසුවේ රජා වතුර බී ටිකක් සන්සුන් වූ බව තේරුණු නිසාය.

මහ භායානක දේයක් හීනෙන් දැක්කා. එවිට රජාණෝ කීවේය.

ඒ මොකක්ද මෙයා ගෝඨා මල්ලී ජනාධිපති ඡන්දෙට එනවවත් දැක්කද? බිසව ඇසුවාය. ගෝඨා ජනාධිපති වුණත් ඉවසන්න පුළුවනි. එවිට මහරජාණෝ කීවේය.

එහෙනම් බැසිල්…..?

නෑ යෝධියේ ඇට සැකිලි එකොළහක් මගේ ඇද වටේ ඇවිදිනව දැක්කා. එවිට රජා‍ණෝ කීවේය.

ඇට සැකිලි එකොළහක්…? ඒ මොන ඇට සැකිලිද? තාජුඩීන් එක නම් මෝචරියෙන් අස් කළා නේදැයි බිසව කීවාය.

ඔව්. ඔව්. තාජුඩීන්ගේ ඇට සැකිල්ල ඇවිදිනව ඇත්තේ අධිකරණ වෙදාගේ ඇඳ වටේ වෙන්නැතියි රජා ද කීවේය.

‘‘එක අතකින් මෙයා ඇටසැකිලි එකොළහක් විතරක් ඇවිදින්නෙ අපේ වාසනාවට. ඔක්කොම ඇටසැකිලි ඇවිදින්න ගත්තොත් අපේ පවුලෙ කාටවත් මේ සම්මජ්ජාතියෙ නිදාගන්නවා බොරුෙ, බිසව කීවාය.

මම හිතන්නේ මේ ඇටසැකිලි එකොළහ ත්‍රිකුණාමල පැත්තෙන් ආපුවා යැයි. රජා කීවේය.

ඇයි අයාලගෙ අතේ බස් ටිකට් තිබාණාදැයි අසන්නට සිතුණත්  බිසව එය නවතාගත්තේ ඇටසැකිලි අවසන් ගමන් යන්නේ සුදු වෑන් වලින් බැවින් උන් අතේ බස් ටිකට් නැති බව මතක් වූ නිසාය.

මහරජාණෝ ගේ ලේකම් මහ රෑ නින්දෙන් අවදි වූයේද අම්මා මතක් කරමිනි. ඒ මධ්‍යම රාත්‍රියේ දුරකතනය නාද වෙන්නට පටන්ගත් නිසාය. ඇමතුම ගත්තේ මහරජාණන් බව දුටු මොහොතේ ලේකම්ට හීන් දාඩිය දැම්මේ හීනෙන්වත් අම්මා මතක් කළේ මහරජාගේ බව දැනගත්තොත් සිද්ධවන්නේ කුමක්දැයි දන්නා නිසාය.

අතුරැදන් වූවන්ගේ කාර්යාලය පිහිටුවීම ගැන හෙට උදේ පාන්දරින්ම හාමුදුරුවරුන්ට ලියුම් යවන්න ඕන. මහරජාණෝ ලේකම්ට උපදෙස් දුන්නේය.

ජනාධිපති ඒකට අත්සන් කළා කියල මීඩියාවලත් ගියානෙ. රජතුමා. මෙහලකටත් උන්නාන්සෙල පනත ගැන දන්නව ඇති. අපි ආයෙ ලියුම් ලිය ලිය චාටර් වෙන්නෙ මොකටදැයි එවිට ලේකම් ඇසුවේය.

අතුරුදන් කාර්යාලෙ හින්දා ලොකු විනාශයක් වෙනව කියල උන්නාන්සෙල දැනුවත් කරන්ඩ ඕනැ. රජා කීවේය.

පනත අතීතයට බලපාන්නෙ නැති හින්දා හානියක් වෙන්න පුළුවන්කමක් නෑ නේද කියා අසන්නට ලේකම්ට සිතුණද පුතයාගේ හැටි දන්නා නිසා ලේකම් මුඛයත් අධෝමුඛයත් දෙකම වසාගෙන අසාසිටියේය.

පනත ගේන්නේ රණවිරුවන් පිට රටට පවාල දෙන්න කියලත් ලියන්න ඕන. මහරජා කීවේය.

රණවිරුවන් පාවාදීමක් ගැන පනතේ සඳහන් නැතිබව දැන දැනත් මහරජා කෙප්ප ලියන්නට කියන්නේ මොකද කියා ලේකම් කල්පනා කළේය.

පනතෙන් හදන්නෙ අපිව හිඩුවාපස් ගහන්න කියල බෝල්ඩ් අකුරෙන් තියෙන්න ඕන. රජා පැහැදිලි කළේය.

කාර්යාලයෙන් කරන්නේ තොරතුරු එකතු කිරීම විතරයි. රජාණෙනි. නඩුදාන්න බලයක් ඒකට නෑ නේද? කියා මේ වතාවෙදි ලේකම්ට ඇසුණේ රජා හරි අතුරුදන් වීම් කාර්යාලය ගැන නොව, වෙන යමක් ගැනවත් කියානවාද කියා සිතුණු නිසාය.

මේ වතාවෙ නම්  මහරාජා ලේකම්ගේ අම්මාව මතක් කළේය. ඇයි යකෝ මෝ ගන්ඩ මේක ක්‍රියාත්මක කළොත් කෙළවෙන්නෙ අපට කියල තොට තේරෙන්නෙ නැද්ද? බැරිවලාවත් පොට්ට චාන්ස් එකක්වත් තිබිල ආයෙ රජකම හම්බ උණොත් අර සන්ධ්‍යා එක්නැලිගොඩ කියන කාන්තාව අතුරුදන් කරන්න අපට ඉඩක් තියෙන්න ඕන නේද? එතනින් ගියාම තාජුඩීන්ගෙ කේස් එකට සාක්කි දෙන එකාලව, තව ත්‍රිකුණාමලේ කොල්ලො එකොළොස් දෙනා ගැන වැඩකරන ඔක්කොම, නඩු අහන නඩුකාරයො. කතා කරන පෙරකදෝරුවො ඕකුන් අතුරුදන් නොකර අපිට ආණ්ඩු කරන්න පුළුවන්ද? ඉතිං අතුරුදන් කාර්යාලෙ නරකයි කියල බොට තේරෙන්නෙ නැද්ද?

ඒ වතාවෙ නම් ලේකම්ට කියවුණේ බුදු අම්මෝ කියාය.ලේකම් හැරෙන තැපෑලෙන් ජිල් මහත්තයාට කතා කළේ මහරජාගේ ලියුම ඩ්‍රාෆ් කරන්නට උපදේශයක් ගන්නටය. ජිල් මහත්තයා ගේ උපදේශයක් දෙකක් ගත්තොත් ලියුම නීති ශාස්ත්‍රයට අනුවම ලියන්නට පුළුවන් බව ලේකම් හිතුවේය.

ජිල් මහත්තයාගේ කටයුතු කොහොමදැයි ලේකම් ඇසූවිට ජිල් මහත්තයා කීවේ මේ දවස්වල ස්චවේච්ඡාවෙන් අතුරුදන්වූවන්ගේ නාම ලේඛනයක් පිළියල කරමින් ඉන්නවා කියාය.

ස්වේච්ඡාවෙන් අතුරුදන් වූවන් ඉන්නවාදැයි ඇසූවිට ජිල් මහත්තයා කීවේ, ස්වේච්ඡාවෙන් ගස්බැඳ ගන්නා සමෘද්ධි නිලධාරීන් ඉන්නවා නම් ස්වේච්ඡාවෙන් අතුරුදන් වූ අය ඉන්න බැරිද කියාය.

ගස්වල බැඳිල්ල කී විට ලේකම් ඇසුවේ ගස් බඳින ආචාර්යවරයා දැන් අලුත් පාටියක් පටන් අරන්නේද කියාය.

එවිට ජිල් මහත්තයා කීවේ උගේ පක්ෂයට ගස්බැඳගන්නන්ගේ පක්ෂය කියා නම තිබ්බනම් කොච්චර අපූරුද කියාය.

ආචාර්යතුමා දැන් ගස් බැදිල්ල නතරකර පන්සල් අතුගානවා නේද කියා ලේකම් කියූවිට ජිල් මහත්තයා කීවේ, ඒකා ඒ කාලේ කරපු පවු ගෙවන්න් රටේම පන්සල් අතුගෑවත් මදි කියාය.

ස්වේච්ඡාවෙන් අතුරුදන් වූවන්ගේ නම් ලැයිස්තුවක් ගැන කී නිසා ලේකම් ජිල් මහත්තයාගෙන් ඇසුවේ ස්වේච්ඡාවෙන් අතුරුදන් වූවන්ගේ මවුපිය දූ දරු සංගමයක් හදන්නට පුළුවන්නේද කියාය.

එවිට ජිල් මහත්තයා කීවේ අපෝ පුළුවනි, රජ වෙන්න කලින් මහරජා අතුරුදන් වූවන්ගේ මවුපිය දූ දරු සංගමයේ උන්නු නිසා ඒ අත්දැකීම් ගන්නත් පුළුවන් කියාය.

ඇත්තටම ලොක්කා රජ වුණාට පස්සෙ අතුරුදන් වූවන්ගේ සංගමයත් අතුරුදන් කළා නේද කියා ලේකම් ඇසූවිට ජිල් මහත්තයා කීවේ, රජා ඒ වැඩේට යොදාගත්තේ හෙල්පින් හම්බන්තොටින් සල්ලි වාෂ්පකළ කුමවේදය කියාය. ස්වේච්ඡාවෙන් අතුරුදන් වීම් වැඩි වීමත් ලොක්කාගේ වෙනසට හේතුවක් බව ජිල් මහත්තයා වැඩිදුරටත් කීවේය.

ඇත්තටම ලොක්කා ජන ඝෝෂා වගේ ප්‍රෝග්‍රෑම් එකකින් ලොක්කා නැඟිට්ටවන්ඩ බැරි ද කියා ලේකම් ඇසූවිට ජිල් මහත්තයා කීවේ, රජාගේ කැරැට්ටුව එක්ක දැන් ගැ ලපෙන්නේ ජන ඝෝෂා වැනි නමක් නොව මර ඝෝෂා වැනි එකක්ය කියාය. මහින්ද සමග නැගිටිමු වෙනුවට මළවුන් සමඟ නැගිටිමු. මහින්ද සුළඟ වෙනුවට සුළිසුළං. දැයට කිරුල වෙනුවට රටට තොප්පිය පුතුට කිරුළ වැනි තේමාවන් තේමා පාඨ කීපයක් යොදා ගත හැකි බව ලේකම්ට සිතුණත් ඒ බව ජිල් මහත්තයාට නොකීවේ එලිවෙන පාන්දරම ඒවා තමන්ගේ වගේ රජාගේ කනේ තබනු ඇතැයි සිතුණු නිසාය.

නරසිංහ

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *