ග්‍රාමසේවක හොරු සමග හෙලුවෙන්

‘මුදලාලි ලැජ්ජා නැති දර්ශන නරඹනවා වගේ’ කියා ඉස්කෝල මහත්තයා කීවේ, ඉස්කෝල මහත්තයා කඩයට යනවිට මුදලාලි පාර්ලිමේන්තු වට රවුමේ, ‘රටම කන ජඩ මහිමය’ රූපවාහිනියෙන් නරඹමින් සිටිනු දුටු නිසාය. ඒ මොහොතේ රූපවාහිනියෙන් විකාශය කෙරෙමින් තිබුණේ, රටම කන ජඩ මහිමය රැළියට ග්‍රාමසේවකත් සාටක රජාත් එකවර පැමිණෙමින් සිටින ආකාරයයි.

‘සාටක රජා රට කන ජඩ මහිමය අපි අවුරුදු අටක් නමයක් තිස්සෙම දැක්කා. මම රූපවාහිනිය ක්‍රියාත්මක කළේ ‍ග්‍රාමසේවක ඔය රැලියට සාටක රජාත් එක්ක කරට අතදාගෙන එන්නේ රෙද්දකුත් ඇඳගෙනද කියල බලන්නයි’ කියා එවිට මුදලාලි කීවේය.

‘මුදලාලි ඒ ප්‍රශ්නෙ එච්චර සිරීයස් ගන්න එපා. ග්‍රාමසේවකගෙ රෙද්ද ගැලවුණේ පැරදිලා කුජීතවෙලා හිටපු සාටක රජා වර වර ළඟට කැන්දා අගමැතිකම දීපු රාත්‍රියේමයි’ කියා එවිට කඩේ ළමයා කීවේය.

‘ග්‍රාමසේවක කියන්නෙ රනිල් මහත්තයාගේ අය මහබැංකුව කඩපු නිසා සාටක රජාට අගමැතිකම් කොරන්න කතා කළා කියල නේද?’ කියා එවිට මුදලාලි ඇසුවේය.

‘හොඳයි රනිල් මහත්තයා බැංකුව කැඩුව කියල අපි නිකමට හිතමුකෝ, එතකොට රනිල් බැංකුව කඩපු නිසා ග්‍රාමසේවක සාටකට රට කරවන්න ආරාධනා කළේ, සාටක රජා කහ ‍මලෙන් ඉපදිලා, කහ වතුරෙන් නාලා ඉන්න නිසාද?’ කියා ‍කඩේ ළමයා ඇසුවේය.

‘ග්‍රාමසේවක සාටක රජාට රට කරවන්න ආරාධනා කළේ ඒ නිසා නෙමෙයි, රනිල් මහත්තයට කොලිෆිකේෂන් මදි නිසා’ කියා එවිට ඉස්කෝල මහත්තයා කීවේය.

‘මට තේරුණේ නැහැ’ කියූ මුදලාලි නැවත ඉස්කෝල මහත්තයාගෙන් ඇසුවේ, ‘මොනවද සාටක රජාට රනිල් මහත්තයට වඩා තියෙන කොලිෆිකේෂන්?’කියාය.

‘සාටක රජාට තියෙන කොලිෆිකේෂන් මගෙන් අහල වැඩක් නෑ. ඒක සහසුද්දෙන්ම දැනගන්න නම් ග්‍රාමසේවකගෙන්ම අහන්න වෙනවා. ඒත් රනිල්ට නැති සුදුසුකම් ගැන නම් මට කියන්න පුළුවනි’ කියා එවිට ඉස්කෝල මහත්තයා කීවේය.

‘එහෙනම් රනිල් මහත්තයාට නැති සාටක රජාට තියෙන සුදුසුකම් මොනවද කියමු’ කියා මුදලාලි කීවේය.

‘රනිල් මහත්තයට තියෙන පළමු නුසුදුසුකම තමයි, එයා මහ බැංකුව නොකඩපු එක’ ඉස්කෝල මහත්තයා කීවේය.

‘අම්මටහුඩු! රනිල් මහත්තයා මහ බැංකුව කැඩුවෙ නැත්නම් ග්‍රාමසේවක කොමිසමක් දාලා ග්‍රාමසේවක මහත්තයා පරීක්ෂණ කළේ මොකටද?’ කඩේ ළමයා ඇසුවේය.

‘අන්න එතන තමයි ළමයා ප්‍රශ්නෙ තියෙන්නේ, ග්‍රාමසේවක කොමිසමක් පත්කරලා ග්‍රාමසේවක හැදුවේ, රනිල් මහත්තයා මහ බැංකුව කැඩුවා කියලා ඔප්පු කරන්නයි’ ඒත් බැරි වුණා ඉස්කෝල මහත්තයා කීවේය.

‘එතකොට ග්‍රාමසේවක කොමිසමෙන් මොනවද වුණේ?’ කියා මුදලාලි ඇසුවේය.

‘රනිල් මහත්තයා මහ බැංකු කොල්ලයෙන් සල්ලි අරගෙනත් නැහැ. එයාගෙ පක්ෂය අරගෙනත් නැහැ කියලයි කොමිසම මුලින්ම කීවේ’ කියා ඉස්කෝල මහත්තයා කීවේය.

‘දැන් බලාන ගියාම ග්‍රාමසේවක කොමිසම නිසාත් ග්‍රාමසේවකගෙ රෙදි ගැලවිලා වගේ’ කියු මුදලාලි නැවත ඇසුවේ, ‘බැඳුම්කර මගඩියෙන් සල්ලි නොගැනීම රනිල් මහත්තයාගේ නුසුදුසු කමක් කියලද ග්‍රාමසේවක හිතන්නේ’ කියාය.

‘නැතුව නැතුව රටකරවන්න කලින් හොරකම් කරන්න ඕන. නැත්නම් රට කරවන්න ඕන. සාටක රජා රටකරවන්න දතකට මදින කාලෙම හෙල්පින් හම්බන්තොටින් සල්ලි පිල්ලි ඇරියා, ඒ කාලේ ග්‍රාමසේවකත් සාටක රජාගෙ පතුල් ලෙවකෑව මිස විරුද්ධ වුණාද?’ කියා ඉස්කෝල මහත්තයා ඇසුවේය.

‘රනිල්මහත්තයාට තියෙන එකම නුසුදුසුකම බැඳුම්කරය නම්, එයාට රට කරවන්න දෙන්න තිබුණා’ කියා කඩේ ළමයා කීවේ කනගාටුවෙනි.

‘රනිල් මහත්තයාගෙ එකම නුසුදුසුකම බැඳුම්කරය නම් එයාට චාන්ස් එකක් දෙන්න තිබුණා. එත් රනිල්ගෙ තවත් දුර්වලකම් කීපයක් තියෙනව’ ඉස්කෝල මහත්තයා කීවේය.

‘ඒ මොනවද?’ මුදලාලි ඇසුවේය.

‘රනිල් මහත්තයා අවුරුදු කීයක් රට කළාද?’ ඉස්කෝල මහත්තයා ඇසුවේය.

‘අවුරුදු තුන හමාරක් විතර’ මුදලාලි උත්තර දුන්නේය.

‘ඒ අවුරුදු තුනහමාරෙ පිකටින් වැඩවර්ජන උද්ඝෝෂණ කීයක් රටේ තිබ්බද?’ ඉස්කෝල මහත්තයා ඇසුවේය.

‘ඉසේ කෙස් ගාණටත් එක දෙකක් වැඩි ඇති’ මුදලාලි කීවේය.

‘ඒ එක උද්ඝෝෂණයකට, පෙළපාලියකට, වැඩවර්ජණයකට රනිල් මහත්තය මැරයො දම්මල බාධා කළාද? හමුදාව දම්මල වෙඩි තිබුබද? කියා ඉස්කෝල මහත්තයා ඇසුවේය.

‘අම්මපා නැහැ’ මුදලාලි කීවේය.

‘අන්න ඒක තමයි රනිල් මහත්තයගෙ තියන අනික් නුසුදුසුකම. රටකරවන්න නම් පෙළපාලි සුන්නත් දුලි කරන්න ඕන, පිකටින් නැතිබංග කරන්න ඕන, උද්ඝෝෂණවලට වෙඩි ති‍යන්න ඕන. රනිල් මහත්තයට නැති සුදුසුකම සාටක රජාට ඕනවටත් වඩා තියෙනව. ඒ නිසා තමයි ග්‍රාමසේවක රජාට අගමැතිකම දුන්නේ’ කියා ඉස්කෝල මහත්තයා කීවේය.

‘එතකොට ඒ නිසාමද ග්‍රාමසේවක ඔච්චරටම දැඩි පියවරක් ගත්තෙ?’ කඩේ ළමයා ඇසුවා නොව තමාටම කියා ගත්තේය.

‘ඒ නිසාම විතරක් කියල කඩේ ළමයා වැරදි වැටහීමක් ඇති කරගන්න එපා. රනිල් මහත්තයගෙ වැරදි තව ගොඩක් තියෙනව’ ඉස්කෝල මහත්තයා කීවේය.

‘රනිල් මහත්තයාගෙ අවුරුදු තුන හමාරෙ එක මාධ්‍යවේදියෙක්වත් අතුරුදන් කළේ නැහැ. රනිල් මහත්තයගෙ පවුලේ අය අනුන්ගෙ ඉඩම් අල්ලගත්තෙ නැහැ. රනිල් මහත්තයගෙ නෝනට සිරිලිය සවිය ගිණුම් තිබුණේ නැහැ. රනිල් මහත්තයගෙ නෝනා තාජුඩීන් ඝාතනය කරන්න ඩිපෙන්ඩර් දුන්නේ නැහැ. රනිල් මහත්තයගෙ ගෝලයෝ විදේශික කාන්තාවො දූෂණය කළේ නැහැ. රනිල් මහත්තයගෙ සහෝදරයා අම්මට තාත්තට සොහොන් හදන්න ආණ්ඩුවේ සල්ලි ගත්තේ නැහැ. රනිල් මහත්තය ඡන්ද දිනන්න ආණ්ඩුවේ සල්ලි වලින් සිල්රෙදි බෙදුවේ නැහැ. රනිල් මහත්තයාගෙ සහෝදරය දිවි නැගුමේ සල්ලි වලින් කැලැන්ඩර් ගැහුවේ නැහැ’ යනුවෙන් කියාගෙන ගිය ඉස්කෝල මහත්තයා කීම නතර කළේ තවත් අවශ්‍ය දැයි අසන්නා සේය.

‘අපොයි ඇති ඇති හොඳටම ඇති’ කඩේ ළමයා කීවේ ඉස්කෝල මහත්තයාගේ ගොළු පැනය වැටහුණු නිසාය.

‘ඒක නෙමෙයි ඉස්කෝල මහත්තයෝ මෙයා මේ 2015 ජනවාරි මාසේ සාටක මිනී මැරුවය, මහජන දේපොළ අවභාවිත කළාය, අස්‍වයො ගත්තය, ප්ලේන්වලින් ගමන්බිමන් ගියාය කියල චෝදනා කරපු මොදි කෝට් කාරයද? අන්ත්කෙනාවත්ද?’ අසමින් මුදලාලි තවත් රූපවාහිනියට තවත් සමීප වුයේ ඇස්කණ්ණාඩි යුවළ සකස්කර ගනිමිනි.

‘කවුද මුදලාලි අනිත්කෙනා කීවේ?’ ඉස්කොලෙ මහත්තයා ඇසුවේය.

‘ඇයි ඉස්කෝල මහත්තයාට මතක නැද්ද පසුගිය ජනාධිපතිවරණ කාලෙ සාටක රජා එක්කත් මෝදි ඇඳුම ඇඳපු ග්‍රාමසේවක කෙනෙක් හිටිය. සාටක රජා එක්ක ඡන්දෙ දාන්න ගියෙත් ඒ මෝදි කෝට්කාරයා නේද කියා මුදලාලි ඇසුවේය.

‘ඇත්ත නේනනම් මට දැනුයි මතක් වුණේ’ ඉස්කෝල මහත්තයා කීවේය. ‘ඇත්තටම මුදලාලි ඒ ඡන්දෙදි අපි කා අතිනුත් බරපතළ වැරැද්දක් වුණා’ ඉස්කෝල මහත්තයා කීවේය.

‘මොකක්ද ඉස්කෝල මහත්තයෝ වෙච්ච වැරැද්ද? සාටක රජා පරද්දපු එකද?’ මුදලාලි ඇසුවේය.

‘නැහැ’ ඉස්කෝල මහත්තයා කීවේය.

‘ඒ මෝදි කෝට්කාරයට ඡන්දය නොදී ග්‍රාමසේවක රටේ ජනාධිපති කරපු එක’ ඉස්කෝල මහත්තයා කීවේය.

 

 

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *