ආරක්ෂක විශේෂඥ

අපේ මහත්තයා මෙන්න මුදලාලි ඇවිත්. නාන කාමරයේ සිටි ඉස්කෝල මහත්තයට ඉස්කෝලේ මහත්තයාගේ නෝනා කීවාය.

ඇඟපත සේදීම කඩිනමින් හමාර කළ ඉස්කෝල මහත්තයා කඩිනමින් ආවේය. මොකද මුදලාලි හදිසියේ මේ පැත්තේ, එන්න ඇතුලට වාඩි වෙන්න. මුදලාලිට කීවේය.

වාඩිවෙලා ඉන්න වෙලාවක් නැහැ ඉස්කෝලේ මහත්තයා කඩේ දොර වහන්නෙත් නැතුව දුවගෙන ආවෙ. මුදලාලි කීවේය.

කඩේ වැහුවේ නැතුවට මොනව වෙනවද ළමයා ඉන්නව නේද? එන්න ඇතුලට තේකක් බොන්න. ඉස්කෝලේ මහත්තයාගේ නෝනා ද මුදලාලිට ආරාධනා කලාය.

ළමයා කඩේ නැහැ. අද මම තනියම. ගෙට එන්නත් බැහැ. තේ බොන්නත් බැහැ. යන්න හදිස්සියි. මුදලාලි කීවේය.

ඇයි මේ කලබල අස්සේ කඩේ ළමයා කොහේ ගිහින්ද? ඉස්කෝල මහත්තයා ඇසුවේය.

මහනුවර යනවාය කියල ගියා ඇයි මුදලාලි උත්තර දුන්නේය.

මොකෝ හදිස්සියේ දළදා වඳින්නවද්ද? කියා ඉස්කෝලේ මහත්තයාගේ නෝනා ඇසූවාය.

මෛත්‍රී ගුණරත්න මහත්තයයි අස්ගිරියෙ හාමුදුරුවොයි හම්බවෙන්න යනවා කියලයි කීවේ. මුදලාලි පිළිතුරු දුන්නේය.

අනේ මම දන්නෑ කඩේ ළමයාටත් තියෙන රාජකාරි ඒ මොනවටද ඒ දෙන්න හම්බ වෙන්නේ? ඉස්කෝලේ මහත්තයාගේ නෝනා ඇසුවේය .

මෛත්‍රි මහත්තයාගෙන් ප්‍රශ්ණයක් අහන්නයි , අස්ගිරිය හාමුදුරුවන්ට ආරාධනාවක් කරන්න තියෙනවා කියලයි කීවේ. මුදලාලි පිළිතුරු දුන්නේය.

කඩේ ළමයට මොනවද මෛත්‍රී ගුණරත්න මහත්තයගෙන් අහන්න තියෙන ප්‍රශ්නේ? ඉස්කෝල මහත්තයා ඇසුවේය.

ඉස්කෝලෙ ළමයින්ට බෑග් එන් ගේන්න එපා කියලා මෛත්‍රී මහත්තයා කීවලු නේ . මුදලාලි කීවේය.

ඉතින්? එසේ ඇසුවේ ඉස්කෝල මහත්තයාගේ නෝනා ය.

බෑග් ගෙනෙන්නේ නැතුව ළමයි පොත් අරන් යන්නේ බඩේ බැඳගෙන ද කියලා මෛත්‍රී මහත්තයා ගෙන් දැනගන්න ඕන කියලයි කීවේ. මුදලාලි පිළිතුරු දුන්නේය.

ඒකනම් අහන්න ඕනෙම ප්‍රශ්නයක්. දැන් ළමයි ගෙනියන පොතේ හැටියට බෑග් එකක් නෙමෙයි වාහනයක් ඕනේ. මෛත්‍රි මහත්තයල වගේ අයගේ ළමයි වාහනවලින් ගියාට බස්වල හිරවෙලා යන පයින් ඉස්කෝලේ යන අපි වගේ අයගේ ළමයි බෑග් එකක් නැතුව පොත් ගෙනියන්නේ කොහොමද? ඉස්කෝලේ මහත්තයාගේ නෝනා කීවාය.

ඕවා නෝනේ ළමයින්ට ආදරේට කරන යෝජනා නෙවෙයි. ආණ්ඩුවට විරුද්ධව කියන කතා යැයි ඉස්කෝලේ මහත්තයා කීවේය.

එතකොට මොකක්ද අස්ගිරියෙ හාමුදුරුවන්ට කරන ආරාධනාව බණකට වත් ද? කියා ඉස්කෝලේ මහත්තයා ඇසුවේය.

ළමයා එකට ආරාධනාවක් කීවට මට හිතෙන්නෙ එක යෝජනාවක් කියලයි. මුදලාලි කීවේය.

ආරාධනාවක් වේවා. යෝජනාවක් වේවා. මොකක්ද කියමුකො. ඉස්කෝලේ මහත්තයාගේ නෝනා කීවාය.

අස්ගිරියෙන් කෙනෙක් ආරක්ෂක මණ්ඩලයට සහභාගී කරන්න කියලා ඉල්ලීමක් කරනවා කියලයි කීවේ. මුදලාලි කීවේය.

ඒක මහ පුදුම යෝජනාවක්නේ ? ඉස්කෝලේ නෝනා කම්මුලේ අත තබා ගත්තාය.

ආරක්ෂක තත්ත්වෙ හොඳ නැති නිසා ඉස්කෝලේ පටන් ගැනිල්ල කල්දාන්න කියලා අස්ගිරියෙන් කිව්වලුනෙ. මුදලාලි පැහැදිලි කළේය.

ඉතින් ඒකට ආරක්ෂක මණ්ඩලයට එන්න කියන්න මොනවටද? ඉස්කෝලේ නෝනා ඇසූවාය.

ඉස්කෝලේ පටන් ගන්න කියලා ආණ්ඩුවෙන් කියන්නේ ආරක්ෂක තත්වය හොඳයි කියලා ආණ්ඩුවටයි ආරක්ෂක අංශ වලට තහවුරු නිසාලු. මුදලාලි කීවේය.

ඒක නේන්නම් මමත් කියන්නෙ. කඩේ ළමයා කියන විකාරෙ මොකක්ද කියලයි මට තේරෙන්නේ නැත්තේ. ඉස්කෝලේ නෝනා කීවාය.

ආරක්ෂක අංශවලින් ආණ්ඩුවෙන් මොනවා කීවත් ඉස්කෝලේ අරින්න එපා කියාලා අස්ගිරිය කියන්නේ ආරක්ෂක අංශ වලට වඩා යමක් ඒ අය දන්න නිසාය. ඒ නිසා ආරක්ෂක මණ්ඩලයට අයත් කැඳවන්න ඕනෑ කියලයි ළමයා කියන්නේ කියා මුදලාලි කීවේය.

එහෙම ගියොත් නම් පල්ලියෙනුත් කෙනෙක් කැදවන්න වෙයි කියා ඉස්කෝල මහත්තයා කීවේ කිතුනු පාසල් පටන් නොගන්නා ලෙස පල්ලිය ද කියා ඇති බව මතක් වූ බැවිනි.

කතාවෙන් කතාවෙන් මට පරක්කු උනා. මම ආවේ ලොකු හදිස්සියකට මුදලාලි කීවේය.

මොකක්ද අප්පේ මුදලාලිට තියෙන ඔච්චරම හදිස්සිය? ඉස්කෝලේ නෝනා ඇසුවාය.

නෝනගෙන් පොඩි උදව්වක් ඉල්ල ගන්න මුදලාලි කීවේය.

මුදලාලිට මොනවද මම කරන උදව්? ඉස්කෝලේ නෝනා ඇසුවාය.

හෙට අනිද්දට ගෙනත් දෙනකම් කුස්සියේ වැඩිපුර පිහියක් එහෙම නැද්ද? මුදලාලි ඇසුවේය.

මොකෝ මුදලාලිට පිහි හදිස්සියක්? ඉස්කෝලේ මහත්තයා කතාවට මැදිහත් විය.

ගෙදර හදිස්සියකටවත් පිහියක් නෑ. කරවල කෑල්ලක්, වට්ටක්කා ගෙඩියක්, කෙසෙල් ඇවරියක් කපාගන්න කඩේ තිබුණු පිහියත් අපේ හාමිනේ අතුරුදහන් කරලා. යැයි මුදලාලි කීවේය.

ඒ අහවල් දේටද පිහි අතුරුදහන් කරන්නේ. ඉස්කෝලේ නෝනා ඇසුවාය.

වෙන මොකටවත් නෙමෙයි නෝනේ රූපවාහිනියෙ ප්‍රවෘත්ති බලලම බයවෙලා ගෙදරක පිහියක් තිබ්බත් අරන් යනවා වගේනෙ මාධ්‍යවලින් පෙන්නන්න. මිනිස්සු බය වෙන එක සාධාරණයි. මුදලාලි කීවේය.

පිහි විතරක් නෙමෙයි මුදලාලි මේ විදිහට ගියොත් සිවුරු පාත්තර එහෙමත් හංගන්න වෙනවා . ඉස්කෝලේ මහත්තයා කීවේය .

ඒ මොනවටද මහත්තයෝ ඒවා හංගන්නේ ඉස්කෝලේ නෝනා ඇසුවාය.

ඔන්න මම දැක්කා සිවුරු රෙදි පාත්තරයි තිබුන කියල බලපිටිය පැත්තෙ කවුද අත්අඩංගුවට අරන්ලූ . ඒ පැත්තෙ අටපිරිකර හදන මුස්ලිම් අයත් ඉන්නවා. එහෙම කෙනෙක් ද කොහෙද අල්ලලා තියෙන්නෙ. පොලිසිය ඉවක් බවක් නැතිව අත්අඩංගුවට ගන්නවා. මාධ්‍ය ඉවක් බවක් නැතුව වාර්තාකරනවා. ඉස්කෝලේ මහත්තයා කීවේය.

ඇත්තටම ඉස්කෝලේ මහත්තයා දැන් යන හැටියට නම් මාධ්‍ය ආයතන වලට රිපෝටර්ලා අවශ්‍යම නැහැ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක හිටියම ඇති මුදලාලි කීවේය.

මුදලාලි මොකද එහෙම කියන්නේ ? ඉස්කෝලේ නෝනා ඇසුවාය.

ධනපාල මහත්තයලගේ කාලේ මාධ්‍ය කළේ යමක් හොයලා බලලා නිවැරදි තොරතුරු වාර්තා කිරීම. දැන් එහෙම නෑ. පොලිසිය කියන දේ මාධ්‍යයත් කියනවා. මුදලාලි කීවේය.

ඒ කතාව ඇත්ත සේයා ළමයගෙ සිද්ධිය වෙලාවේ ළමයගෙ තාත්තටයි, ඉස්කෝලේ ළමයාට වෙච්ච අසාධාරණයෙන්ම ඒක පෙනුනා යැයි ඉස්කෝලේ නෝනා කීවාය.

මට නම් හිතෙන්නේ මුදලාලි නැති භීෂණයක් මවලා රට කලබල කරන ව්‍යාපෘතියක් මාධ්‍යවලින් කරනවා .ගෝඨාට උදව්වට ඉස්කෝල මහත්තයා කීවේය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *