ජනපතිට දිවැස් තිබේ

අනේ වාසනාවන් සතරවරම් දෙවියන්ගේම පීහිටයි!  දිනපතා  පත්තරේ කියමින් සිට මුදලාලි හාමිනේ එකවරම කීිව්වේ පස්වනක්  ප්‍රීතියෙන් පිනා ගිය ආකාරයෙනි.

මොකද  හාමිනේට හිටිගමන් ඔය තරම්  චිත්තප්‍රීතියක්?  පත්තරේ මොකවත් හිත  සතුටු වෙනතරමේ    ප්‍රවෘත්තියක්  තියෙනවාද කියා මුදලාලි ඇසුවේ, සාමාන්‍යයෙන් ලංකාවේ පත්තර වල ඇත්තේ දුටුවන්ගේ  ඇඟ කිළිපොලා යන පන්නයේ  මිනීමැරුම් රිය අනතුරු ස්ත්‍රී දූෂණ එසේ නැතිනම් දුටුවන්ගේ ඇඟ ලේ කෝප කරවන දේශපාලන කතා බව දන්නා බැවිනි.

හිත සතුටු වෙන ආකාරයේ ප්‍රවෘත්තියක් නේන්නම්ග මේ ප්‍රවෘත්තියට හිත සතුටු වෙන්නේ නැත්නම් ආයේ මොකට සතුටු වෙන්නද?  අනේ වාසනාවන් සාදු! සාදු! සාදු! සතරවරම් දෙවියන්ගේ   පිහිටයි . මුදලාලි හාමිනේ නැවතත් කීවාය.

මොකද්ද දැන් ඔය ඔච්චරම සාධුකාර දෙන්නයි, දෙයියන්ගේ පිහිට පතන්නයි තරම් වටිනා ප්‍රවෘත්තිය? කොහේ හරි පන්සලකට ධාතුන් වහන්සේලා වැඩලද? නැත්තම් අර රහත්වෙලාද  සෝවාන් වෙලාද කිය කියා හිටපු හාමුදුරුවන්ට බුදුබව ලැබිලවත්ද? කියා මුදලාලි ඇසුවේය.

මේ රටේ පන්සල් වලට ධාතුන් වහන්සේලා වඩින තරමට සාධුකාර දෙන්න ගියොත් අපි දෙන්නට දවසට වචන දෙකක් වත් කතා කරන්න වෙන්නේ නැහැ. පැය 24 ම සාධුකාර දිදී තමයි ඉන්න වෙන්නේ හාමිනේ කීවාය.

එහෙනම් සොවන්ද රහත්ද කියන හාමුදුරුවන්ට බුදුබව අත්වෙලාද කියා මුදලාලි නැවත ඇසුවේය.

තව ටික දොහක් හිටිය නම් උන්වහන්සේට නිශ්චිතවම බුදුබවත් ලැබෙනව තමයි. කොහෙද අනෙක් හාමුදුරුවරු එකතුවෙලා උන්වහන්සේට තහංචියක් දැම්මද කොහෙද නොවැ. ඉරිසියාව! මුදලාලි හාමිනේ එවර කතා කලේ කලකිරීමෙනි.

දැන් මොනවටද ඔය සාධුකාර දුන්නේ? කන්දේ විහාරෙට නිසැක සර්වඥ ධාතුන් වහන්සේලා වැඩම කරවනවලුද? මුදලාලි ඇසුවේය.

නිසැක සර්වඥ ධාතු වැඩම්මනවානම් පත්තරේ දානවද අනේ? ඒවා තියෙන්නේ රුපවාහිනී වල.හාමිනේ කෝප වුයේ මුදලාලිට නොතේරෙන නිසාය.

මගේ මෝඩ කම මම පිලිගන්නවා.මොනවටද ඔය සාධුකාර දුන්නේ? මුදලාලි ඇසුවේය. අපේ ජනාධිපතිතුමාට දිව්‍යඥාන පහලවෙලා සාධු සාධු සාධු හාමිනේ කීවාය.

මොකක් කිවා! මුදලාලි කිවේ තමාට ඇසුණු දෙය විශ්වාස කල නොහැකි බැවිනි.

ඇයි අනේ ඔයාගේ කන් ඇහෙන්නේ නැද්ද අපේ ජනාධිපතිතුමාට දිව්‍යඥානේ පහල වෙලා ඒ කියන්නේ එතුමට දිවැස් ලැබිලා. වාසනාවන්ත දැන් ඉතින් අපේ රටට දෙයියන්ගෙ පිහිටයි කිරි උතුරනවා  වගේ දියුණු වෙනවා සිකුරුයි.

අනේ වාසනාවන් සාදු සාදු! සාදු!

කටකට කට හාමිනේ….. කට පරිස්සම් කරගන්න ඕන. ඝාතන කුමන්ත්රණ කතාවක් කිව්වා  කියල අමාරුවේ වැටෙන්න එපා. ඝාතන කුමන්ත්‍රණ කතාවක්  කියෝලා  නාමල් කුමාර කියලා හාදයෙකුට  වෙච්ච ඇබැද්දියක් ඔයා දන්නේ නැද්ද? කියා මුදලාලි කිවේ අවට    කිසිවෙකුට හාමිනේ ගේ කතාව නොඇසුණු බව  සැකහැර දැන ගන්නට වටපිට බලමිනි

මේ වගේ මිනිස්සු කතාවක් නෙවෙයි මුදලාලි පත්තරේ මුල් පිටුවෙන් දාලා තියෙන්නේ කියා හාමිනේ කිවේ  පසු බහින්න තමා සූදානම් නොමැති බව පාමිනි.

ජනාධිපතිතුමාට දිවැස්  ලැබිලද  කියා මුදලාලි ඇසුවේ කෙප්ප කෙලිල්ලත්  පත්තර රස්සාවේ  කොටසක් බවට පත්වී ඇති බව අත්දැකීමෙන්ම දන්නා නිසාය.

එහෙම කියල නැහැ. පත්තරේ  පළවෙලා තියෙන ජනාධිපති තුමාගේ ප්‍රකාශයෙන් එතුමා ට දිවැස් තියෙන  බව පැහැදිලි වෙනවා    කියා හාමිනේ කීවාය.

දිවැස් තියා කරන ප්‍රකාශයේ මොකක්ද මුදලාලි සූරියවැව ප්‍රකාශය මොකක්ද මුදලාලි ඇසුවේය  ?

මෙන්න ඔයාලම බලාගන්න කියමින් එවිට හාමිනේ මුදලාලිට පුවත්පත දුන්නාය. ජනාධිපතිතුමාට දිවැස් ඇති බවක් හෝ මුදලාලිට පෙනුනේ නැත.

මේ පත්තරේ දිවැස් කතාවක් නොමැති බව මුදලාලි කිවේය

අලුත් ව්‍යවස්ථාව මම කියවලත් නැ දැකලත් නැ. ඒ උනාට ව්‍යවස්ථාවෙන් උතුරත් අවුල් කරනවා. දකුණත් ගිනි තියනවා. වගේ ප්‍රකාශයක් ජනාධිපතිතුමා කළා කියලා ඔය පත්තරේ නැද්ද? හාමිනේ ඇසුවාය.

එතුමා එහෙම කිව්වමයි කියමුකෝ එත් එතුමාට දිවැස් තියෙනවා කියලා කියන්නේ කොහොමද කියා මුදලාලි ඇසුවේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දැකලත් කියවලත් නැතිනම් එකෙන් වෙන දේ ටක්කෙටම කියන්නේ එතුමාට දිව්‍ය අඥාන තියෙන නිසා නෙමේද කියා හාමිනේ ඇසූ විට මුදලාලිට කට උත්තර නැති විය.

මත්කුඩු සටනට කඩුව ගත්තු වෙලාවේ ජනාධිපතිතුමාට ලොකු බලයක් තියෙනවා කියලා මට තේරුණා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන කියපු කතාවෙන් එතුමාට දිවැස් තිබෙන බව හොඳටම පැහැදිලි වුණා.අනේ සාදු සාදු වාසනාවන් යයි හාමිනේ නැවතත් කීවා ය

එතකොට හාමිනේ මත්කුඩු වැඩේට නම් ගෑවිලා හිටිය මීගමුව පැත්තෙත් හාදයෙකුටයි ගම්පොළ පැත්තේ ළමයෙකුට ඇමතිකම් ද නියෝජ්‍ය ඇමැතිකම් ද කොහෙද දුන්නෙත් දිවැස් බලලද කියා මුදලාලි ඇසුවේය.

එහෙම එතුමා කලානං ඒකෙනුත් පෙනෙන්නේ එතුමාගේ දේව ගතිය කියා එවිට හාමිනේ කීවාය.

කුඩුකාරයන්ට පත්වීම් දීම දේව ගතියක් කියා මුදලාලි කී විට හාමිනේ ඇසුවේ වැරදි කිරීම මනුස්ස ගතියක් සමාව දීම දේව ගතියක් කියලා ඔයා අහල නැද්ද කියාය.

එක් අපූරු දේව ගතිය කුඩු ජාවාරම් කාරයන් ට මරණ දඬුවම දෙන්න හදන එකේ උන්ටත් අඬගහලා අර දෙන්ට වගේ ඇමතිකම්ක් මන්ත්‍රීකම්ක් දුන්නනම් ප්‍රශ්නේ  විසඳෙනවා නේද කියා එවිට මුදලාලි කීවේය.

රටේ ඉන්න කුඩුකාරයන්ගේ සංඛ්‍යාව හැටියට හැමෝටම මන්ත්‍රීකම් ඇමතිකම් දෙන්න  පාර්ලිමේන්තුවේ ඉඩ තියෙනවද මුදලාලි? ඒ නිසා තමයි එතුමා කොටසක් පාර්ලිමේන්තු යවලා ඉතුරු හරිය එල්ලුම් ගස් යවන්න තීරණය කරන්න ඇත්තේ කියමින් හාමිනේ ගෙය පිටුපසට යන්නට පටන් ගත්තාය.

ඒ දුටු මුදලාලි කොහෙද හාමිනේ හදිසියේ දුවන්නෙ? කියා ඇසූ විට හාමිනේ කිව්වේ ඔක්තෝම්බර් මාසේ දර මැස්සට දාපු ජනාධිපතිතුමාගේ  පින්තූරෙ අරන් එන්න යනවා කියාය.

ඒ අහවල් දේකටද කියා මුදලාලි ඇසූවිට හාමිනේ කිව්වේ ගම්භාර දේවතාවුන් වහන්සේගේ රූපෙ ගලවලා එතනින් ජනාධිපතිතුමාගේ රූප එල්ලලා මල් පහන් පුදන්න පටන් ගන්නවා කියාය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *