ටී මේකර්ලා

 

පත්තර මල්ලි සභාවට යන විට ධන රින මහතා කියවමින් සිටියේ ලෝ මේකර්ලා සහ ටී මේකර්ලා ගැනය. කොටින්ම කියන්නේ නම් පුලතිසිගේ ආණ්ඩුව විසින් ලෝ මේකර්ලා ටී මේකර්ලා බවට පත්කරමින් සිටින බවයි.

එවිට පත්තර මල්ලි ඇසුවේ ලෝ මේකර්ලා ටී මේකර්ලා කිරීමද වඩා හොඳ ටී මේකර්ලා ලෝ මේකර්ලා කිරීමද කියාය. දෙකම වැරදියි, දෙකම වැරදියි ධන රින කීවේය.

ඔබතුමන්ලා ඒ කාලෙ ටී මේකර්ලගේ අධිකරණයකින් නඩු අහල අගවිනිසුරුත් පුටුවෙන් බැස්සුවා නේදැයි පත්තර මල්ලි ඇසුවේය.

මට මතක නැහැ. මම දන්නෙ නැහැ. එවිට ධන රින කීවේය.

උතඝෝෂකයන් අත්අඩංගුවට ගැනීමද හොඳ වෙඩිතැබීමද හොඳ? පත්තර මල්ලි ඇසුවේය.

අත්අඩංගුවට ගැනීමට වඩා වෙඩි තැබීම ඉතාම ප්‍රජාතන්ත්‍රවාදියි. ධන රින කීවේය. අපි ඒ පරීක්ෂණය රතුපස්වල කළා. සීදුවෙදි කළා. මීගමුවෙදි කළා. ප්‍රතිඵල විශිෂ්ඨයි.

ඔබතුමන්ලාගේ ආණ්ඩුව තිබුණ නම් මත්තලට කරන්නේ කුමක්දැයි පත්තර මල්ලි ධන රින ගෙන් ඇසුවේය.ලෝකෙම එයාර් ලයින්වලට මත්තල හරහා යන්න කියල නියෝගයක් පණවනවා. එතකොට මත්තල ගුවන්ගමන් සංඛ්‍යාව වැඩි වෙනවා. ධන රින උත්තර දුන්නේය.

අවුරුදු ගණනක් තිස්සේ ඒ නියෝගය නොකර මත්තල සුදු අලියෙක් විදිහට අරන්ගියේ මොකද කියා පත්තර මල්ලි ඇසුවේය.

අපට ඒ කාලේ හිටියෙ මහරජාණෝ කෙනෙක් ධන රින කීවේය.

ඉතිං? පත්තර මල්ලි ඇසුවේය.

මහරජාණන් කෙනෙකුට සුදු අලියෙක් වටිනව. වෙස්සන්තර රජ්ජුරුවන්ටත් සුදු අලියෙක් හිටිය. වෙස්සන්තර කියන්නෙ සාටක රජ්ජුරුවන්ගෙ නෑයෙක් කියල තියෙන්නෙ කොයි පොතේද? කියා එවිට පත්තර මල්ලි ඇසුවේය. ඕක ඇවිල්ලා මල්ලි රු.2500න් මාසෙකන සූත්‍රයට අනුව විසඳන්න ඕන ප්‍රශ්නයක්. ධන රින කීවේය.

ටිකක් පැහැදිලි කරන්න. පත්තර මල්ලි කීවේය.

දැන් අපේ ජැක් පුතාගෙ ඓතිහාසික ඥානයට අනුව බුදුන් වහන්සේගේ පරම්පරාව සාටක පෙළපතට සම්යන්ධබව පත්තර මල්ලි පිළිගන්නවාද? ධන රින ඇසුවේය.

පිළිනොගත්තොත් මැරුම් කන්න වෙනවා. පත්තර මල්ලි කීවේ, ලසන්ත වික්‍රමතුංග ඇතුළු නම් කීපයක් මතකයට ආ නිසාය.

අන්න ඒ අනුව තමයි වෙස්සන්තර රජ්ජුරුවෝ සාටක රජ්ජුරුවන්ගෙ නෑයෙක් වෙන්නෙ. ධන රින කීවේය.

‘පැහැදිලි  කරන්න, නැවතත් පත්තර මල්ලි කිවේය. වෙසන්තර රජ්ජුරුවො ඉහත කියන්නෙ ඉහත ආත්මයක බුදුහාමුදුරුවො කියල පත්තර මල්ලි දන්නවද? ධන රින ඇසුවේය.

දන්නවා ධන රින කීවේය.

මේ ආත්මෙ බුදුන් සාටක රජ්ජුරුවන්ගෙ ඥාති නම්, ගිය ආත්මෙ වෙස්සන්තර රජ්ජුරුවොත් බුදුන් වහන්සේ නම්, ගිය ආත්මෙ වෙසන්තර රජ්ජුරුවො මේ ආත්මෙ සාටක රජ්ජුරුවන්ගෙ නැයෝ වෙන්නේ නැද්ද? ධන රින අසුවේය.

පත්තර මල්ලි එය අනුමත කළේ සුදු වෑන් රථයක් නවතා තිබෙනු දුටු නිසාය.

ගුවන් සමාගම්වලට මත්තලට එන්න නියෝග කළාට පිළිගත්තෙ නැත්නම් කරන්නේ කුමක්දැයි පත්තර මල්ලි ඇසුවේ, වෙස්සන්තර කතාව තවදුරටත් ගෙනගියහොත් ධන රින අජාසත්ත වන්නට ඉඩ ඇතැයි බිය සිතුණු නිසාය.

එක්සත් ජාතින්ගේ සංවිධානයට ඉල්ලීමක් කරනව ස්වාසිලන්තෙ ජනාධිපතිගෙ මාර්ගයෙන්. ධන රින කීවේය.

එක්සත් ජාතීන් ඒ කාලෙ එතරම් සපෝට් එකක් තිබුණෙ නැහැනේද කියා පත්තර මල්ලි ඇසුවේය.

එවිට ධන රින කීවේ, සුදු ප්ලේන් සර්විස් එකක් ඇරම්භ කරල ගුවන් සමාගම්වල කැමැත්ත දිනාගන්නව කියාය.

බඩලොකුගේ මහත්තයා තතාවට පනිමින් කීවේ අසාධාරණ නිලධාරින්ට දඬුවම් කරනවා කියා තමා කියන්නේ ගුවන් සමාගම්වල නිලධාරින්ටත් ඇතුළුව කියාය.

මත්තලදී නිලධාරින් රටේ නීතිය ක්‍රියාත්මක කිරීම අසාධාරණද?    කියා පත්තර මල්ලි ඇසූවිට බඩලොකුගේ මහතා කීවේ, සම්පූර්ණයෙන්ම අසාධාරණ බවයි. ආණ්ඩුවේ නිලධාරින් එදා සාටක රජ්ජුරුවන්ගෙ නීතිය පිළිගත් නිසා අදත් සාටක නීතියට යටත් විය යුතුබවත් ඒ අනුව උද්ඝෝෂකයන්ට ඉඩ දී නිලධාරින් අත්අඩංගුවට ගතයුතු බවත් කීවේය.

බැලුම් අමුණුගම ළමයා කියන්නට ගත්තේ මත්තල උද්ඝෝෂණය සාමකාමී උද්ගෝෂණයක් බවත් ඒ සාමකාමී උත්ඝෝෂණයේදී සාමකාමී උද්ඝෝෂකයන් එල්ල කළ සමකාමී ගල් ප්‍රහාරයකින් පොලීසියේ වාහන තුනක වීදුරු බිඳුණු බවත්ය.

සමකාමී උද්ඝෝෂණයකට ගල් ප්‍රහාර කුමකටදැයි පත්තර මල්ලි ඇසුවිට බැලුම් ළමයා කීවේ, ඒ ගල් කරණීයමෙත්ත සූත්‍රයෙන් 108 වාරයක් පිරිත්කර තිබූ බවයි. බොරු නම් හෙදිනායක හාමුදුරුවන්ගෙන් අසන්න කියාද බැලුම් ළමයා කීවේය.

ගල් නැතුව උද්ඝෝෂණය කළා නම් අත්අඩංගුවකුත් නැහැ නේද කියා බැලුම් ළමයාගෙන් ඇසූවිට පත්තරට මල්ලිට උත්තරය ලැබුණේ ගලක් නැති කිසිම උද්ඝෝෂණයක් සාමකාමී වන්නේ නැත කියාය.  පොලිස් ජීප් රථයට සාමකාමී ගල් ප්‍රහාරයක් එල්ල කිරීමේ තවත් අරමුණක් වූයේ පොලිස්පති තුමාගේ මෛත්‍රී භාවනා පාඩම පොලීසිය හරිහැටි ක්‍රියාත්මක කෙරෙන්නේද යන්න සොයාබැලීම බවද බැලුම් ළමයා කීවේය.

ගල් නොතිබුණා නම් උද්ඝෝෂණය සාමකාමී වන්නට තිබුණා නේද? කියා පත්තර මල්ලි ඇසුවේය.

ගලක් නැති තැන සාමයක් නැතැයි කී බැලුම් ළමයා කීවේ තුවක්කු කඩු කිනිසි පොලු ආදිය ඇතිවිට උද්ඝෝෂණ වඩාත් සාමකාමී වන බවයි.

රතුපස්වල, කටුනායක, මීගමුව ආදි තැන්වල ගල්ගෙඩියක් පවා නැතිව ප්‍රචණ්ඩකාරි අරගලවල යෙදුණු ප්‍රචණ්ඩකාරි උද්ඝෝෂණ සාමකාමී කුවක්කු සමඟ සාමකාමී මෙබළුන් යෙදවූ ආකාරය පැහැදිලිකරන්නට බැලුම් ළමයා පටන් ගත්විට පත්තර මල්ලීගේ හිස කරකැවෙන්නට පටන් ගත්තේය.

නරසිංහ

 

 

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *