හරිමි රජ සැපා

 

ඡන්දය අවසන් වී සිරිකොතට ගොස් එතැනින් රජ ගෙදර මෛත්‍රි හමු වී නිවෙසට ගිය විට අලි මහත්තයාගෙන්, ‘මොකක් ද අනේ මේ වෙච්ච අපරාදේ?’ කියා ගෙදර මෛත්‍රි ආසුවාය.

‘ඔයා අහන්නෙ කාට වෙච්ච අපරාදයක්ද? රජගෙදර මෛත්‍රිටද? සීනු අනුරට ද, සාටක අයියාට ද? සැටලයිට් අක්කාට ද? නැත්නම් මටද?’ කියා එවිට මෛත්‍රිගෙන් අලි මහත්තයා ඇසුවේය.

‘රජගෙදර මෛත්‍රි තටුත් කපාගත්තා, අවුරුදු පහයි කියල උසාවි තීරණයක් ගත්තා, බැඳුම්කර හොරුන්ටයි සාටක අලි බබායි හොරු තිස්හතරකුයි අවිචියට යවනවාත් කීවා. ඒත් මිනිස්සු ඔයාට තරම්වත් එයාට ඡන්දෙ දුන්නෙ නැත්ත මොකක් හින්ද කියලද ඔයා හිතන්නේ?’ කියා ගෙදර මෛත්‍රි ඇසුවාය.

‘රජගෙදර මෛත්‍රි කට වරද්දා ගත්තා. ඒ නිසා එයා ඡන්දෙ පැරදුනා.’ කියා එවිට අලි මහත්තයා කීවේය.

කටවරද්දා ගත්තා කියන්නෙ මොකක් නිසාද?’ කියා ගෙදර මෛත්‍රි ඇසුවාය. ‘රටේ බිම් අඟලක්වත් පිටරට දුන්නෙ නැහැ.

දෙන්නෙත් නැහැ.’ කියල නේද රජගෙදර මෛත්‍රි කීවේ?’ කියා අලි මහත්තයා ඇසූ විට ගෙදර මෛත්‍රි කීවේ ‘සුදු වෑන් නැති කළා, මාධ්‍යවේදීන් මැරුවෙත් නැහැ ඉස්සුවෙත් නැහැ උසාවියට ඇඟිලි ගැහුවෙත් නැහැ.’ කියලත් රජ ගෙදර මෛත්‍රි කීවා කියාය.

‘අන්න එතනයි වරද්දා ගත්තේ.’ කියා අලි මහත්තයා කීවේය.

‘මොන වැරැද්දක් ද? ඒ එකක්වත් කළේ නැහැ නේද?’ කියා එවිට ගෙදර මෛත්‍රි කීවාය.

‘ඒක තමයි වැරැද්ද.’ කියා එවිට නැවතත් අලි මහත්තයා කීවේය.

‘කොහොමද අනේ ඒක වැරැද්දක් වෙන්නේ?’ කියා ගෙදර මෛත්‍රි ඇසුවාය.

ඡන්ද ප්‍රථිඵලේ හැටියට පෙනෙන්නේ, රටේ මිනිස්සු රටේ බිම් අඟලක්වත් පිටරටට නොදී ඉන්නවට කැමති නැහැ. මාධ්‍යවේදින් මරන්නෙනැතුව, උස්සන්නෙ නැතුව ඉන්නවට කැමතිත් නැහැ. උසාවියට ඇඟිලි නොගහනවට කැමති නැහැ.’ කියන එකයි. ‘ඒ නිසා රජ ගෙදර මෛත්‍රි; ෂැංගිලා ඉඩම වගේ රටේම ඉඩම් පිට රටට දෙනවා, වරාය නගරයත් සින්නක්කරම දෙනවා. ස්ට්‍රයික් කලොත් සුදු වෑන් එවනවා, රටේ මාධ්‍යවේදින් සේරම උස්සලා ලසන්තට, පෝද්දලට, තරකීට, කීත් නොයාර්ට වගේ ලස්සනට ඇප උපස්ථාන කරනවා. මගේ ධුරකාලය අවුරුදු පහයි කියපු අගවිනිසුරු හෙටම ගෙදර යවනවා;’ කීවා නම් ඡන්දෙ ඉහළින්ම දිනන්න තිබුණා කියා අලි මහත්තයා කීවේය.

‘උද්ඝෝෂකයන්ට වෙඩි තියනවා. රටම රතුපස්වලක්, කටුනායකක්, මීගමුවක් කරනවා., කියාත් ඕනෑ නම් කියන්න තිබුණා.’  කියා අලිමහත්තයා තව දුරටත් කීවේය.

———–

සාටක  නෝනා ඇමරිකාවට කතාකර ඔයා ලෑස්ති ද? කියා ගෝඨාගෙන් අසුවාය.

‘ලෑස්ති ද කියන්නෙ මොකට ද? හිරේ යන්නද? උසාවි යන්නද? පාර්ලිමේන්තු යන්නද?’ කියා ගෝඨා නෝනාගෙන් ඇසුවේය.

‘ඒ එහෙකටවත් නෙමේ මෙයා, මම ඇහුවේ ගෙදර එන්න ලෑස්තිද?’ කියා යැයි එවිට ගෝඨා නෝනා කීවා ය.

‘ඇසිල් බැසිල් අයියාට ඇමරිකාවට එන්න තත්ත්වයක් මේ ඡන්දෙන් රටේ ඇති නොවුණු නිසා මමත් මේ ගෙදර එන්න ඇඳුම් අස්කරනවා’ කියා එවිට ගෝඨා කීවේය.

‘ගෙදර ඇවිත් ඔයා අගමැතිකම බාරගන්නවද කියල මිනිස්සු අහනවා’ කියා ගෝඨා නෝනා කීවාය.

‘පිවිතුරු උදයලා, සැල්ෆෝන් විමලෙලා, ජිල් මහත්තයලා  ධනරින අයියලා අන්තිම කාලෙවත් මං අගමැති කරනවා කියල වේදිකාවල කීවද?’ කියා එවිට ගෝඨා ඇසුවේය.

‘උන් කොහොමද අනේ එහෙම දෙයක් කියන්නේ? පුළුවන් නම් උන් උන් අගමැති වෙන්න උන්ගෙ බෙලි කපා ගන්නවා.’ ‘මහින්ද අගමැති කරමු. කියන්නෙත් සාටකේ පිටින් ගිහින්  උන්ගෙ ජාමබේරගන්න’ කියල ඔයාට තේරෙන්නෙ නැද්ද?’ කියූ ගෝඨා නෝනා ‘ඇත්තටම ඔයාට අගමැතිකම දුන්නොත් බාරගන්නවාද? කියා නැවතත් ඇසුවාය.’

‘ඒකට උත්තරේ අසයි බයයි’ කියා එවිට ගෝඨා කීවේය.

‘ආසා නම් මොනවටද බය වෙන්නෙ අනේ? දුන්නොත් එපා නොකිය බාරගන්න’ කියා එවිට ගෝඨා නෝනා පෙරැත්ත කළාය.

‘අපොයි කොහොමවත් බැහැ. මේ දවස්වල මගේ ජීවන ගීතය, හරිමි රජ සැපා ලක්දිව ඇමරිකානු පුරවැසිකම නිසා’ යැයි ගෝඨා කීවේය.

‘ඇරිකා පුරවැසිකම වගේද මෙයා ලංකාවෙ අගමැතිකම? නුවර එළියෙ මන්දිරේට, යාපනේ මන්දිරේට සතියෙන් සතියට මාරු වෙවී අපට තවත් හනිමුන් එකක් ගෙවන්න පුළුවනි. ඩේසි ආච්චිට වගේ අපේ අම්මටත් මැණික් මලුත් හම්බවෙයි. ඔයත් නිකම්, ‘දෙව් ලොව රජකම මට ගන්න ගන්න කියා කරදර කරනව මට එන්න එන්න කියා. වැඩිපුර පරසිද්දෙට කැමති ‍අපේ මෙයා කරදර කරනව මට යන්න යන්න කියා! තත්ත්වෙට වැටිලනෙ’ කියා කීවාය.

‘මම කියන කතාව ඔයාට තේරෙන්නෙ නැහැ ඩලා. සාටක අයි‍යගෙ කාලෙ පෙරටුගාමි ගුණයා අපේ අත්අඩංගුවෙන් ගැලවුණේ කොහොමද?’ කියා එවිට ගෝඨා කීවේය.

‘මම දන්නෙ නැත්තෙ ඇයි? එයාගෙ ඔස්ට්‍රේලියා පුරවැසිකම නිසා නේ’ කියා එවිට ගෝඨා නෝනා පිළිතුරු දුන්නාය.

‘අන්න ඒ නිසා තමයි හරිමි රජසැපා මගේ ජීවන ගීතය වෙන්නෙ. ලංකාවේ අපේ මඟඩි එලියට ඇදුණු දවසක 2015 ඇසිල් බැසිල් අයිය කළාවගේ මටත් නිවුයෝර්ක් සරණං ගච්චාමි වෙන්න පුළුවනි. රජකම වගේද නෝනා පුරවැසිකම?’ කියා ගෝඨා ඇසුවේය.

ගෝඨා ලංකාවට එන්න සූදානම් බව ආරංචි වී සාටක නෝනා ගෝඨා නෝනාට කතා කළේ, ‘එන්නෙ මත්තලට නම් මැදමූලන ළඟ නිසා එයාර්පෝට් යන්නට සිතාගෙන වුවත් ගෝඨා නෝනා කීවේ ‘අවාරයට අඹ වැටෙන තරමටවත් මත්තලට ප්ලේන් එන්නේ නැති නිසා ගෝඨා කටුනායකින් ගොඩ බහින්ඩ තීරණය කළ’ බවයි.

‘තරහ වෙන්න එපා නංගි, කටුනායක දැන් අපට දුර වැඩියි. ඉස්සර වගේ උඩින් යන්න පින තිබුණ නම් මිහින් ලංකා එකක් මත්තලට ගෙන්නගෙන හරි එන්න තිබුණා’ කියා සාටක නෝනා කීවිට ‘කමක් නැහැ අක්කා’යි කියූ ගෝඨා නෝනා ‘අයියා ගෙදර ද?’ කියා ඇසුවේ සාටක රජා ගැනයි.

එවිට සාටක නෝනා, ‘එයා දාස හපුවලාන මුණ ගැහෙන්න ගියා’ කියා කීවාය.

‘කවුද අක්කෙ දාස හපුවලාන කියන්නෙ?’ කියා එවිට ගෝඨා නෝනා ඇසුවේ දාස හපුවලාන යනු ගෝඨා එපා කියු අගමැතිකම ගන්න ඉන්න කෙනාවත්දැයි සැක සිතුණු නිසාය.

‘නංගි දන්නෙ නැද්ද? දාස හපුවලාන තමයි ලංකාදීපෙ කාටුන් අඳින්නෙ, කියා සාටක නෝනා පැහැදිලි කළාය.

‘හදිස්සියෙම මොකද සාටක අයියා කාටුන් අඳින කෙනෙක් හොයන්න ගියේ?’ කියා ගෝඨා නෝනා ඇසුවාය.

‘එයා ඡන්දෙ දවස්වල කාටුන් එකක් ඇන්දා, ඒකේ තිබුණෙ, ඡන්ද දායකයා ඔටුන්නක් දාගෙන ඡන්ද පොළට යනවා, එළියට එන්නේ අං තට්ටුවක් දාගෙන.’ සාටක නෝනා කීවේය.

‘ඉතිං’ ගෝඨා නෝනා ඇසුවාය.

‘අපේ සාටක මහත්තයට ඒකෙන් පිටපත් ගන්න ඕනලු.’ සාටක නෝනා කීවාය.

‘අර මක්ක‍ටද?’ සාටක නෝනා ඇසුවාය.

මෙච්චර නඩු වැලක්, මෙච්චර දූෂණ මිනීමැරුම් චෝදනා තියෙද්දිත් පොහොට්ටුවන්ට ඡන්දෙ දීපු උන්ට තෑගි කරන්න.’ සාටක‍ නෝනා පැහැදිලි කළාය.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *