මඩගහන්න ගොතපු කතා
‘‘හලෝ මට දෙවියන්ගෙම පිහිටයි! මට බුදු සරණයි! කවුද මේ කතා කරන්නේ?’’ සාටක රජතුමා දුරකථනයට පිළිතුරු දුන්නේ එසේය.
“ඔබතුමාට දෙවියන්ගේ පිහිට ලැබුණොත් අපිටත් දෙවියන්ගෙම පිහිට තමයි. මේ කතාකරන්නේ වෙන්ඩ අගමැති තුමාද?”
“ඔව්! ඔව්! නෑ මේක රෝන් නම්බරයක්” සාටක රජතුමා කීවේ, කට බොරු කීවත් දිව බොරු නොකියන නිසා වූ වරද වසා ගන්නට තැත් කරමිනි.
“ආ… එහෙම නම් මට වෙන්ඩ විපක්ෂනායකතුමාට කතා කරන්න පුළුවන්ද?” අනෙක් කෙළවරෙන් සාටකගෙන් ඇසුවේය.
“වෙන්ඩ අගමැතිකමටවත්, වෙන්ඩ විපක්ෂනායකකමවත් තාම සුවර් නෑ. මම මේ හිටපු සාටක රජු. දැනට කුරුණෑගල මන්ත්‍රී, කවුද ඔය කතාකරන්නේ?” සාටක ඇසුවේය.
“සාටකතුමා, මම මේ නිවුස් මෑන්, පළාත් පාලන ඡන්දෙ කොටස් වශයෙන් තැබීම අනුමත කරන්නේ නැහැ කියල ඔබතුමා කීවද?” අනෙක් කෙළවරෙන් ඇසුවේය. ඉන්පසුව සිදු වූ සංවාදය මෙසේය,
සාටක – ඇත්තටම මම එහෙම කිව්වා කියල කවුරුවත් කීවද? කියන්න ඇති. අනුමත කරන්නත් බැරුව ඇති මම මේ දවස්වල එක එක වෙලාවට එක එක දේවල් කියනවා. ඇයි ප්‍රශ්නයක්ද?”
නිවුස් මෑන් – ඔබතුමාගෙ කාලෙ පළාත් සභා ඡන්දෙ කොටස් වශයෙන් තිබ්බ. එහෙමනම් දැන් පළාත් පාලන ඡන්දෙ කොටස් වශයෙන් තැබීම අනුමත කරන්න බැහැ කියන්න හේතුව මොකක්ද?
සාටක – අනුමත කරන්න බැහැ කියන්නෙ එහෙම කොටස් වශයෙන් තිබ්බොත් අපට චාන්ස් එකක් නැහැනෙ. දැන් බලන්න අපේ කාලේ අපි පළාත් සභා ඡන්දෙ කොටස් වශයෙන් තිබ්බා, මොකද වුණේ? බොහොම අමාරුවෙන් තමයි ගොඩදාගත්තෙ. උතුර කෙළවෙලාම ගියා. ඌවත් හබක් වුණා. අන්තිමට මගෙ රජකමටත් කෙළවුණා. රජකම අපිට තිබිලත් ඡන්ද පුතිඵලේ ඒක නම්, දැන් මන්ත්‍රී කට්ටක් තියාගෙන කඩින්කඩ ඡන්දෙට ගියොත් වෙන නස්පැත්තිය හිතාගන්න බැරිද? ඒ හින්ද කඩින්කඩ මැතිවරණ තියන එක අපිට අනුමත කරන්නඩ අමාරුයි. අමාරුයි නෙමෙයි බැහැ.
නිවුස් මෑන් – “බැඳුම්කර වංචාවෙන් අහිමි වූ මුදල් ඔබතුමන්ලගෙ ආණ්ඩුවකින් ජනතාවට දෙනව කියල වේලිච්ච වට්ටක්කා මන්ත්‍රීතුමා කියල තියෙනව. ඒ ගැන ඔබතුමාගෙ අදහස මොකක්ද?’’
සාටක – “එයා එහෙම කියල තියනව නම්, එයා දෙයි. මගේ ප්රතිපත්තියෙ හැටියට එහෙම කරන්නඩ අමාරුයි මොකද අපේ ජාතියේ මල නාමල, ජාතියෙ මව සිරිලිය, එයාගෙත් මව ඩේසි ආන්ටි, ද්විත්ව පුරවැසි බැසිල් මල්ලි, හිච්චි මල්ලි ඒ අය ගැන මට මුලින්ම හිතන්ඩ වෙනව. ඊට පස්සෙ ඉතුරුවක් තිබුණොත් ජනතාවට දෙන්ඩ බැරිකමක් නැහැ. මොකද අවසාන වශයෙන් අපි ජනතාව ගැනත් හිතන්න ඕන. මම මුලින්ම ජනාධිපති වෙන්ඩ ඉද්දි කීවෙත්, දෙවනිපාර කීවෙත් මම රටේ අයිතිකාරය නෙමයි බාරකාරය කියල. ඒ ප්රතිපත්තියෙ මම අදත් ඉන්නව. මම රටේ බාරකාරය. මගේ පවුලේ අය රටේ දේපලවල සම්පත්වල අයිතිකාරය”
නිවුස් මෑන් – අගමැතිකම ඉල්ලුවය කියන කතාව මඩගහන්න ගොතපු කතාවක්ය කියල ඔබතුමා කියල තිබුණ. ඇත්තටම අගමැතිකම ඉල්ලුවේ නැද්ද?
සාටක – ඇත්තවශයෙන්ම මම ඉල්ලුවේ නැහැ. මම ඔය සාකච්ඡාවට ගියෙත් නැහැ. සාකච්ඡාකරන කමිටුවට මම කීව අගමැතිකම බැරිනම් විපක්ෂනායකකම හරි දෙන්ඩ පුළුවන්ද කියල අහල බලන්ඩ කියල. ඒක මම ඉල්ලුවය කියල කවුරුහරි කියනව නම් ඒක මඩක්. මම ඉල්ලුවේ නැහැ. මගේ කීමට කමිටුව ඉල්ලුව නම් ඒක කමිටුවේ වැඩක්.
නිවුස් මෑන් – මුස්තාපා මල්ශාලාවෙ ඉඳල කනත්තට පළාත්පාලන අවමංගල පෙරහැර යනව කියල ඩලස් බලස් කියල තිබුණ. ඔබතුමා ඒ ප්‍රකාශය අනුමත කරනවද?
සාටක – “අනුමත කරන්ඩ වෙනවනෙ. දැං බලන්ඩ, රජකම තියාගෙනත් අපි ජනාධිපතිවරණෙ පැරදුණා. අපේ සැටලයිට් නෝන ජනාධිපති කාලෙ අලි පක්ෂෙ ආණ්ඩුවට ඇවිත් පුංචි ඡන්දෙ තිබ්බ. ජනධිපති අපෙන් ඉඳලත් අපේ පළාත් පාලන අයතන බලය සුනාමියට ගියා වගේ හේදිලා ගියා. දැන් පළාත් පාලන ඡන්දයක් තිබ්බත් ප්‍රතිඵලේ ඕකම තමයි. අපේ එවුන් මොන කයිවාරු ගැහුවත් බලේ තියන පැත්ත පුංචි ඡන්දෙ දිනනවා. ආයේ ඒකෙ දෙකක් නෑ. ඉතිං පුංචි ඡන්ද පෙරහැර යන්නෙ අපේ කනත්ත දිහාට කියල ඩලස් බලස්ට පෙනෙනවනම් ඒක පිළිගන්ඩ වෙනව.”
නිවුස් මෑන් – “ඒ කාලේ හිටපු නීතියට අධිපති පීරිස් මහත්තයත් සාටක වලව්වෙ වළං හේදුවා කියල මාධ්‍ය මංගල ප්‍රකාශයක් කරල තිබුණ. ඒ පිළිබඳව ඔබතුමාගෙ අදහස දැන ගන්න කැමතියි.”
සාටක – “සම්පූර්ණ වැරදි ප්‍රකාශයක්. ඔය කියන පීරිස් මගේ රජ කාලෙ වළං හේදුව විතරක් නෙමෙයි දර පැලුව, පිඟං හේදුව, කිළිටි රෙදි හේදුව, කඩේ ගියා ඔය හැම දෙයක්ම කෙරුව ඒ තරම් වැදගත් රාජකාරියක් කරපු කෙනෙකුට වළං හේදුව විතරයි කියල අපහාස කරනවනම් ඒක වෛරී දේශපාලනයක්. සම්පූර්ණයෙන්ම පළිගැනීමක්.”
නිවුස් මෑන් – “යහපාලන ආණ්ඩුව කම්බ හොරු නිදැල්ලෙ ඇරලා කියල ජිල් මහත්තය කියනව. ඔබතුමා ඒ මතය පිළිගන්නවද?”
සාටක – පිළිගන්ඩ වෙනවනෙ. දැං බලන්ඩ අපේ ද්විත්ව පුරවැසි බැසිල් ලිත් ගැහුව, ඉඩම් ගත්ත ඒ නිදැල්ලෙ නෙමේද ඉන්නේ? හිච්චි මල්ලි ආණ්ඩුවෙ සල්ලිවලින් අප්පොච්චිට අම්මට ස්මාරකයක් හැදුව. එයත් නැදැල්ලෙ. සැල්ෆෝන් විමලෙත් නිදැල්ලෙ, සිල් රෙදිත් නිදැල්ලෙ, සුනාමි සල්ලිත් නිදැල්ලෙ………….”
තවත් නම් රාශියක් සාටක කියූ නමුත් කියූ වේගය වැඩිකමට නරසිංහට ලියාගත හැකි වූයේ නැත.
