හාල් කවර ලියුම් කවර

නරලොව සිට නරසිංහ වාර්තා කරයි.

ෆයිල් කවරයක් දමන්න පුළුවන් සයිස් එකේ ලියුං කවරයක් ගන්න පුළුවන්ද? කියා ඉස්කෝලේ මහත්තයා මුදලාලිගෙන් ඇසුවේය.

ෆයිල් කවර දාන්න පුළුවන් ලියුම් කවර මොනවටද ඉස්කෝලේ මහත්තයෝ? වංචා දූෂණ පිළිබඳ වාර්තාවක් අලුත් ජනාධිපති කොමිසමට යවන්නවත් ද? කියා එවිට මුදලාලි ඇසුවේය.

ජනාධිපති කොමිසම් වලට කරුණු කියනවට වඩා ඒ වගේ කරුණු ගඟේ මූදෙ දානවා හොඳයි කියා එවිට ඉස්කෝලේ මහත්තයා කීවේය.

මොකෝ මහත්තයෝ එහෙම කියන්නේ? ගම්මන්පිල මහත්තයත් රිෂාඩ් මහත්තයට විරුද්ධව පයිල් මිටියක් අරගෙන ගිහින් තිබුන නේද? කියා මුදලාලි කීවේය.

ෆයිල් මිටිය අරන් ගිය ගම්මන්පිල කොමිසමට දුන්නු උත්තරේ දන්නවනම් මුදලාලි ඔහොම කියන්නේ නැහැ කියා එවිට ඉස්කෝලේ මහත්තයා කීවේය.

ඒ මොකද ඉස්කෝලේ මහත්තයෝ? විමල් වීරවංශ කියනවා වගේ රම්පෙට පොරි හැලෙන්න දීලා තිබුණ ද? කියා මුදලාලි ඇසුවේය.

රම්පෙට කෙසේවෙතත් විමල්ට, බන්දුලට, වාසුට, හැමෝටම සරම උස්සලා මූණ වහගන්න වෙන තරමේ පංකාදු කටඋත්තරයක් නේ ගම්මන්පිල ජනාධිපති කොමිසමට දීලා තිබුණෙ කියා ඉස්කෝලේ මහත්තයා කීවේය,

ඔය ඇත්තම ද? මම දන්නේ නැහැනේ, මොකක්ද එච්චරම පිවිතුරු පිළිතුර කියා මුදලාලි ඇසුවේය.

රිෂාඩ් මහත්තයට ඉඩම් ඇල්ලුවා කියලා චෝදනා කළේ ගම්මන්පිල මහත්තයගෙ යාලුවෙක් කාර්යාලයටම ඇවිත් කීව නිසා කියලා ප්‍රකාශ කළා කියලා, පත්තරේ මුල්ලක දාලා තිබුණා කියා ඉස්කෝලේ මහත්තයා කීවේය.

හැමදාමත් පත්තරේ බලලා එහෙම ප්‍රවෘත්තියක් දැක්කේ නැහැනේ කියා මුදලාලි කීවේය.

මුදලාලි වගේ අය දකින නිසා තමයි පත්තරේ මුල්ලක දමන්නේ කියා එවිට ඉස්කෝලේ මහත්තයා හේතුව පැහැදිලි කළේය.

ඔච්චර වටිනා ප්‍රවෘත්තියක් පත්තරේ මුල්ලක දමනවද? කියා මුදලාලි ඇසුවේය.

මුල්ලක නොදැම්මොත් ගම්මන්පිලගේ තරම රටම දැන ගන්නවා. එහෙම දැනගත්තොත් ගම්මන්පිලගේ කතා අහගෙන රිෂාඩ්ට මඩ ගහපු කර්තෘ මහත්වරුන්ටත් ඇඳිවත උස්සලා මූණ වහගන්න සිද්ද වෙනවා කියා ඉස්කෝලේ මහත්තයා කීවේය

ඉස්කෝලේ මහත්තයා මොනවටද? ෆයිල් කවරයක් දාන්න පුළුවන් ලියුම් කවරයක් හොයන්නේ කියා මුදලාලි මුල් කතාවට නැවත ගියේය.

මට මේ යාලුවෙකුට ලියුමක් යවන්න තියෙනවා කියා ඉස්කෝලේ මහත්තයා කීවේය.

ලියුමක් යවන්නද ලියුම් ෆයිල් එකක් යවන්නද? කියා මුදලාලි ඇසුවේය.

ෆයිල් එකක් නෙමේ. එකක් යවන්න කියා ඉස්කෝලේ මහත්තයා කීවේය.

එක ලියුමක් යවන්න පයිල් එකක් මොනවටද? කියා එවිට මුදලාලි ඇසුවේය.

ෆයිල් එකක් නෙමෙයි මුදලාලි ගමේ නම ලියන්න ෆයිල් කවරයක් තරම් දිග ලියුම් කවරයක් නැතුව අමාරුයි කියා ඉස්කෝලේ මහත්තයා කීවේය.

ෆයිල් කවරයක් දිගට නම?… ලියන ගම කොහේ තියෙන එකක්ද? කියා මුදලාලි ඇසුවේය.

එකක් නෙමෙයි මුදලාලි. ගවුවක් විතර දිගට නම ලියන්න වෙන ගම් ගොඩක් දැන් ,මේ ලංකාවේ තියෙනවා. ඉස්සරහදි කිලෝ පහේ හාල් කවර තරම් ලොකු ලියුම් කවර ගෙනත් තියාගන්න වෙයි කියා ඉස්කෝලේ මහත්තයා කීවේය.

කියන දෙයක් හරියට තේරෙන්න කියන්න ඉස්කෝල මහත්තයෝ.. මට ඔය අපබ්‍රංශ තේරුම් ගන්න තරම් දැනුමක් තේරුමක් නැහැ කියා මුදලාලි කීවේය.

මුදලාලි මහත්තයෝ අපේ සජිත් මහත්තයා පට පට ගාලා හදාගෙන හදාගෙන යන ගමකට හදිස්සියෙවත් ලියුමක් යවන්න උනොත්, ගමේ නම ලියන්න හාල් කවරයක් තරම් ලියුම් කවරයක් නැතුව පුළුවන්ද? සදා අමරණීය ක්‍රිකට් ක්‍රීඩක ගම, පල්ලේ ගමරාළගේ පුංචි ගොවිරාල ගම, පුංචි මහත්තයාගේ පුතාගේ පුතා ගම වගේ නම් නේ දැන් උදාගම් වලට තියෙන්නේ. ඒ වගේ නම් තියෙන ගමකට ලියුමක් යවන්න වුනොත් පොඩි ලියුම් කවරයක ලිපිනය ලියන්න පුළුවන්ද කියා ඉස්කෝලේ මහත්තයා ඇසුවේය

ඉස්කෝලේ මහත්තයෝ මේක අතුරු කතාවක් රටකට ජනාධිපති කෙනෙක් අවශ්‍ය මොකටද? කියා මුදලාලි ඇසුවේය.

මුදලාලි අහන රට ලංකාව න,ම් රටේ ජනතාව ජනාධිපතිලා පත් කරන්නේ ජනාධිපති අපේක්ෂකයා ජනාධිපති වෙන්න කලින් දෙන පොරොන්දු ඉටුකරගන්න කියා ඉස්කෝලේ මහත්තයා කීවේය.

හිතෙන හැටියට මහත්තයෝ ජනාධිපති කෙනෙක් පත් වෙන්න ඕන රටක් දිනවන්න, රට දියුණු කරන්න, රටේ ප්‍රශ්න විසඳන්න කියා මුදලාලි කීවේය.

මුදලාලි කියන කතාව ඇත්ත. ඉස්කෝලේ මහත්තයා කීවේය.

ඊලඟ ඡන්දෙන් නම් එහෙම කෙනෙක් පත් කරගන්න පුළුවන් වෙන්නේ නැහැ වගේ කියා මුදලාලි කීවේය.

මුදලාලි මොකද එහෙම කියන්නේ? කියා ඉස්කෝලේ මහත්තයා ඇසුවේ

ඇයි මහත්තයෝ? දැන් හැමෝම හොයන්නේ රටේ ප්‍රශ්න විසදන්න පුළුවන් ජනාධිපති අපේක්ෂකයෙක් නෙමෙයි. තමන්ගේ පක්ෂය දිනවන්න පුළුවන් අපේක්ෂකයෙක් නේද? කියා මුදලාලි ඇසුවේය.

මුදලාලි කියන කතාව ඇත්තම ඇත්ත. දැන් අපේ රටේ දේශපාලන පක්ෂ වලට ඕනෑ වෙලා තියෙන්නේ රටේ ප්‍රශ්නවලට විසඳුම් හොයන්න නෙමෙයි. තමන්ගේ එකෙක් ජනාධිපති කරගන්න කියා ඉස්කෝලේ මහත්තයා කීවේය.

එය ඔය ප්‍රශ්නේ විසඳන්න හොඳ ක්‍රමයක් මගේ හිතේ තියෙනවා කියා මුදලාලි කීවේය.

ඒ මොකක්ද කියා ඉස්කෝලේ මහත්තයා ඇසුවේය.

මම හිතාන ඉන්නේ මැතිවරණ කොමසාරිස්තුමාට ලියුමක් ලියන්න කියා මුදලාලි කීවේය.

මොනවා කියලද කියා ඉස්කෝල මහත්තයා ඇසුවේය.

පළාත් සභා ඡන්ද, ජනාධිපති ඡන්ද, මහමැතිවරණ තාවකාලිකව තහනම් කරන්න කියා යැයි මුදලාලි කීවේය.

හත්තිලව්වයි මොනවටද? ඉස්කෝලේ මහත්තයා ඇසුවේය.

ඒ ඡන්ද නවත්තල පක්ෂ නායකයා තෝරන මැතිවරණය පවත්වනවා. එතකොට දේශපාලන පක්ෂවලට පුළුවන් පක්ෂ නායකත්ව අපේක්ෂක ලිස්ට් එකක් මැතිවරණයට ඉදිරිපත් කරන්න.

ජනතාව ඒ පක්ෂවල ලිස්ට් එකෙන් තමන්ට සුදුසුයි කියලා හිතෙන නායකයෙක් තෝරා ගන්නවා. ඉන්පස්සෙ දේශපාලන පක්ෂ වලට පුළුවන් පක්ෂ දින විල්ල පැත්තකින් තියලා රටේ යහපත වෙනුවෙන් වැඩක් කරන්න ඇයි මුදලාලි කීවේය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *