මරණ තර්ජන

නරලොව සිට නරසිංහ වාර්තා කරයි

පොළොන්නරු සංචාරය අවසන් කර නිවසට පැමිණි වහාම ජනාධිපති තුමාගෙන් නෝනා ඇසුවේ ඔයාට ආයෙ වතාවක් නාමල් හම්බ වුණාද කියාය.

නාමල් තියා මට කාලෙකින් මහින්දවත් හම්බෙන්න බැරි වුණා කියා කී ජනාධිපතිතුමා නැවත කීවේ සමහරවිට වෙඩින් එකේදි නාමල් හම්බවෙන්න පුලුවන් වෙයි ඇයි හදිස්සියක්ද කියාය.

ඔයා කියන්නේ මොන නාමල් ගැනද කියා එවිට නෝනා ඇසුවේය.

නාමල්දෙ කිවුවම ආයේ දෙතුන් දෙනෙක් කොහෙන්ද නාමල් රාජපක්ෂ මිස කියා ජනාධිපතිතුමා කීවේය.

මම ඇහුවෙ නාමල් රාජපක්ෂ නෙමෙයි මෙයා ඔයාගේ අර අනිත් නාමල් ගැන කියා එවිට නෝනා කීවාය.

2015වේදී නම් නාමල්ලා ගොඩක් හිටිය එත් දැන් මට නාමල් කිව ගමන් මතකයට එන නාමල් රාජපක්ෂ. ඔයා කියන නාමල් කවුද කියලා මට හිතාගන්න අමාරුයි කියා එවිට ජනාධිපතිතුමා කීවේය.

ඇයි මෙයා ඔයාට පාස්කු ප්‍රහාරය වලක්ව ගන්න බැරි වුණේත් මම කියන නමාල්ගෙ ලණුව කාපු නිසා නේද කියා එවිට නෝනා ඇසුවාය.

කට පරිස්සම් කරගෙන කතා කරන්න. පාස්කු ප්‍රහාරය නවත්තගන්න බැරි උනේ වෙන මොකුත් නිසා නෙමෙයි. පුජිතයි හේමසිරියි වැඩ කරපු නැති නිසා. ඒ නිසා නේද දෙන්නට මහ උලු ගෙදර බෝඩින් වෙන්න වූනේ. ඔයත් හරියට කතා කරන්නේ මානව හිමිකම් කාරයෝ, ශෝෂල් මිඩියා කාරයො, විකල්ප පත්තරකාරය කතා කරනවා වගේනෙ කියා ජනාධිපතිතුමා කීවේය.

සමාවෙන්න මෙයා මම හිතලා කිවුවා නෙමෙයි. මම ඇහුවේ අර ඔයාගේ ඔක්තෝම්බර් නාටකේ වෙලාවේ අද මාකඳුරේ මධුශ් , සහරාන් ගානට ජනප්‍රිය වෙලා හිටපු නාමල් ගැන කියා එවිට නෝනා කීවාය.

ඔයා මේ අහන්නේ අපේ කුමාර ළමයා ගැන එයා නාමල් නෙමෙයි නාමල් කුමාර. බුද්ධි අංශ මොන බම්බුවද, බම්බුව නම් බම්බුව නාමල් කුමාර. මමයි,ගෝඨාභයයි අද ජීවත් වෙලා ඉන්නේ නාමල් කුමාර නිසා. ඒ හාදයා නැත්නම් මටයි ගෝඨාභයටයි වෙන්නෙ ජෝතිපාලගෙ සින්දුව කියන්න කියා ජනාධිපතිතුමා කීවේය.

මොකක්ද සින්දුව මුලදි බැන්ද ආදරයක මිහිර දැන් ද? කියා නෝනා ඇසුවාය.

සිංදුව ඒක තමයි. හැබැයි ගෝඨාටයි මටයි කියන්න වෙන්නේ ඒ සින්දුවේ අන්තිම පද ටික කියා ජනාධිපතිතුමා කීවේය.

අන්තිම පද මට මතක නැහැ. කියා නෝනා කීවාය.

සැතපෙමු දෙන්නම එක්තැන එක මිනිවලේ කියා එවිට ජනාධිපතිතුමා කීවේය.

මම ඇහුවේ අන්න ඒ නාමල් හම්බවුනාද කියා යැයි නෝනා කීවාය.

කොහේ හම්බවෙන්න ද? ඌ කොහෙද ගිණිගන්න ඉසව්වල සැරිසරනවා කියලා සෝෂල් මීඩියා වල තියෙනවා දැක්කා කියලා ළඟ හිටපු මිත්‍රයෙක් කිවා කියා කියූ ජනාධිපතිතුමා මොකද හදිසියේ නාමල් මතක් උනේ කියලා ජනාධිපතිතුමා ඇසුවේය.

ඔයා පොළොන්නරුවේ කීව කතා අහලා කියා නෝනා කීවාය

කොයි කථාවද හිටං කියා ජනාධිපතිතුමා ඇසුවේය.

වෙන මොකක්ද ඉතින් ඝාතන කතාව මිසක්ය කියා නෝනා කීවාය. ඇය ඊළඟට ඇසුවේ ඒ ඝාතන කතාවෙත් පිටපත ඒ නාමල්ගෙමද කියාය.

බුදු කිරි අප්පෝ උගේ ස්ක්‍රිප්ට් වලට මම ආයේ වැඩ කරන්නේ නැහැ. මගේ ඔක්තෝබර් කැරැල්ල කුජිත උනේ උගේ ස්ක්‍රිප්ට් එක නිසා කියා ජනාධිපතිතුමා කීවේය.

ඔයා ඔහොම කීවට රට්ටු කියන්නේ ඔක්තෝම්බර් කැරැල්ල ඔයා නිසා කුජිත වුනා කියා යැයි නෝනා කිවේය.

දෙකෙන් කොයික වුනත් අවසන් ප්‍රතිඵලය එකයි කියා ජනාධිපතිතුමා කීවේය.

දැන් ඔය අලුත් කුමන්ත්‍රණය CID ය ඔයාට විතරමද කීවේ කියා නෝනා ඇසුවාය.

වෙන කාට කියන්නද? ආරක්ෂක ඇමතිත් මම පොලිස් ඇමති මම කියා ජනාධිපතිතුමා කීවේය.

ඒත් මට නම් හිතෙන්නේ වෙන හේතුවක් කියා නෝනා කීවාය.

මොකක්ද ඔයා හිතන හේතුව කියා ජනාධිපතිතුමා ඇසුවේය.

ඔයාට කිව්වොත් මලාට වෙන කෙනෙකුට කියන්නේ නැහැ කියලා එයාලා දන්නවා කියා නෝනා කීවාය.

මෙදාපාර ඝාතන කුමන්ත්‍රණයට ගෝඨා සම්බන්ධ නැද්ද කියා නෝනා ජනාධිපතිතුමාගෙන් ඇසුවාය.

වෙලාව කියන්නේ මට විතරමයි තර්ජනය ජනාධිපතිතුමා කීවේය.

ගෝඨාටත් තර්ජනේ තිබුණ නම් ඔයාට ලොකු ප්‍රශ්නෙකට මුහුණ දෙන්න වෙනවා නේද කියා නෝනා ඇසුවාය.

මොන ප්‍රශ්නයක් ද? කියා ජනාධිපතිතුමා ඇසුවේය.

ඇයි එහෙම වුනොත් ආයේ වතාවක් මහින්ද අගමැති කරන්න වෙන්නෙ නැද්ද? කියා නෝනා ඇසුවාය.

මහින්ද අගමැති කලොත් විපක්ෂ නායක කෙනෙක් නැති වෙනවා කියා ජනාධිපතිතුමා කීවේය.

ගෝටාටත් මරණ තර්ජන තිබ්බනම් ඔයා මොකද කරන්නේ කියා නෝනා ඇසුවාය.

මේ මරණ තර්ජනය ගෝඨාට එන්නඑයාට කිසිම සුදුසුකමක් නැහැ කියා ජනාධිපතිතුමා කීවේය.

එහෙම කියන්නේ කොහොමද කියා නෝනා ඇසුවාය.

ගිය පාර එයාටත් මා එක්ක ඝාතන කුමන්ත්‍රණය ආවෙ අපි දෙන්නම එක වගේ රට ජාතිය ආගම බේරගන්න සටන් කරන නිසා. මේ පාර මට මරණ තර්ජන ආවෙ මත්ද්‍රව්‍ය ජාවාරමට විරුද්ධව සටන් කරන නිසා. ගෝඨා කවද්ද මත්ද්‍රව්‍ය වලට විරුද්ධ වුණේ කියා ජනාධිපතිතුමා ඇසුවේය.

ඇයි අනේ ගෝඨා වැලිකඩදී කරපු මත්ද්‍රව්‍ය විරෝධී සටන ඔයාට අමතක වුණා ද කියා නෝනා ඇසුවාය.

මේක ඒ වගේ ලුම්පන් සටනක් නෙමේ රම්බෝ පන්නයේ සටනක්. මගේ ජාතියේ සටන් කාරයෝ ඉන්නේ එක්කෙනයි රටේ නම මතක් වෙන්නේ නැහැ. ළඟදී ඒ රටට ගිහින් ආවත් වගේ මතක තියෙනවා කියා ජනාධිපතිතුමා කීවේය.

ඒ රටේ මරන්නේ විදුලිපුටුවේ තියලද? ගල් ගහලා ද? කියා නෝනා ඇසුවාය.

මොන විදුලිපුටු ද? මොන ගල් ද ? ඔළුවට ඩිෂුම් එච්චරයි. කියා ජනාධිපතිතුමා කීවේය.

ඒ කියන්නේ අපේ ගෝඨාගේ ක්‍රමය කියා නෝනා කීවාය.

ගෝඨා ඩිෂුම් කිව්වේ කොහෙද? ඇමරිකා ගියානේ කියා ජනාධිපතිතුමා කීවේය.

ඇයි වැලිකඩදී මත්ද්‍රව්‍ය කාරයින්ට ගෝඨා දුන්නේ ඩිෂුම් නෙමෙයි ද කියා නෝනා ඇසුවාය. ඒ අනුව බලපුවාම ඒ මරණ දඬුවමේ ක්‍රෙඩිට් එක යන්න ඕන ඔයාගෙ යාළුවට නෙමෙයි, ගෝඨාභයට කියා නෝනා කීවාය.

ඒකනේ මම එල්ලුම්ගහ ගේන්න යන්නේ. මත්ද්‍රව්‍ය සමානයි පෝරකය සමානයි මෛත්‍රී කියා ජනාධිපතිතුමා කීවේය.

පෝරකේට යැව්වාම මිනිස්සුන්ට වෙන්නේ මොකක්ද කියා නෝනා ඇසුවා ය.

වෙන මොනවා වෙන්නද. චූදිතයා මැරෙනවා කියා ජනාධිපතිතුමා කීවේය.

එතකොට ඩිෂුම් දුන්නම? කියා නෝනා ඇසුවාය.

ඒත් මැරෙනවා කියා ජනාධිපතිතුමා කීවේය.

බලාන ගියාම ගෝඨාත් එකයි, ඔයත් එකයි, ඔයාගේ යාලුවත් එකයි කියා නෝනා කීවාය.

එහෙම වෙන්නේ කොහොමද කියා ජනාධිපතිතුමා ඇසුවේය.

කෝක කලත් අන්තිමට මිනීමැරුමක් කියා නෝනා කීවාය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *